දුලීකා මාරපන යනු, පුංචි තිරයේ මෙන්ම වේදිකාවේද දස්කම් පාන චරිතාංග නිළියක් බව කොයි කවුරුත් දන්නා කාරණාවකි. පසුගියදා පැවති ජනතා සම්මාන උලෙළේදී SLIM Award සම්මානයද ඇයට හිමිකර ගැනීමට අවස්ථාව හිමි විය. මේ සම්මානය ලබාගැනීමට ඇයට පැමිණීමට නොහැකි වූ අතර, මෙම සම්මානය වෙනුවෙන් යම්කිසි මඩ ප්‍රහාරයක්ද ඇයට එල්ලවී ඇති බව සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන් දන්නා කරුණකි. ඒ පිළිබඳව සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට 'අද' සමග ඇය මෙලෙස එක්විය.
Q මේ දවස්වල වේදිකාවත් සමග හරියට කාර්යබහුල වෙලා නේද?
මේ දවස්වල සුපුරුදු විදියට 'ලෝරන්ස්ගේ මනමාලි' අතිසාර්ථක විදියට වේදිකාගත වෙනවා. පසුගිය දිනවල නුවරදී 4වැනි වතාවටත් එය වේදිකාගත කළා. නුවර ධර්මරාජ විද්‍යාලයේ HOUSE FULL දර්ශන දෙකක් ඉදිරිපත් කළා. තවමත් එම වේදිකා නාට්‍යයට අතිමහත් ජනප්‍රසාදයක් තිබෙනවා. පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හැම කෙනාටම මේ වේදිකා නාට්‍යය බලන්න පුළුවන්. හැමෝටම රසවිඳින්නට පුළුවන්.
බොහොම හැඟීම්බර කතාවක් තමයි මේ තුළ තියෙන්නේ. මේ නාට්‍යයට ඉදිරි දින වැඩකටයුතු පිරෙමින් තිබෙනවා. විදේශයන්හි දර්ශන වාර කිහිපයක් වේදිකාගත වීමට නියමිතව තිබෙනවා. ඒවා ඉදිරියේදී සිදුවේවි. ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් තවම අලුත් ටෙලිනාට්‍ය නම් භාරගත්තේ නැහැ. එහෙම භාරගන්න වෙනස් විදියේ පිටපතක් මෑතකදී ලැබුණෙ නැහැ.
ඉතින් ඒ හින්දා තමයි මම භාරගත්තේ නැත්තෙ. කෙනෙකුට කියන්න පුළුවන් දැන් නාට්‍ය කරන්නේ නෑ වගේ දෙයක්. නමුත් එහෙම එකක් නැහැ. මම කැමතියි ටිකක් වෙනස් විදියේ චරිතයක් එක්ක එන්න. චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපට දෙක වෙනුවෙන් මගේ ලොකු වෙනසක් සිදුවේවි.
Q පසුගිය දිනවල SLIM Award හිමිවුණා. ඒ පිළිබඳව ටිකක් කතා කරමු නේද?
මේ ඒ සම්මානය ලැබුණ දෙවැනි වතාව. ඊට කලින් අවුරුද්දෙත් එම සම්මානය ලැබුණා. ඊට පෙරත් කීප අවස්ථාවකම මාව SLIM AWARD සඳහා යෝජනා වෙලා තිබුණා. මම හිතන්නේ මේ රටේ ප්‍රේක්ෂකයෝ මම කරපු නිර්මාණ කොයිතරම් දුරට වැලඳ ගත්තාද කියන එකට ඒක හොඳ උදාහරණයක් වේවි.
97 වේදිකාවෙන් අරඹපු මගේ ගමනේදී මේ වෙනකම් සම්මාන රාශියක් ලබාගෙන තිබෙනවා. ඒ ලැබුණ හැම සම්මානයක්ම මට වටිනවා. ජීවිතයේ ඒ හැම සම්මානයක්ම මාව තෘප්තිමත් කරන්න හේතුවෙලා තියෙනවා. ඉතිං SLIM AWARD එකත් ඒ වගේම තමයි. තවමත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය, කැමැත්ත උපරිමයෙන් ලැබෙනවා කියන එකට හොඳ උදාහරණයක්. කෙසේ නමුත් ඒ දිනයේ මට සම්මානය ගන්න එන්න අවස්ථාව ලැබුණෙ නෑ.
මොකද මම කොළඹට පැමිණෙන විට ගොඩක් රෑ වෙලා තිබුණා. ඒකට හේතුව ගමේ ගොයම් කපපු දවස. ඒ නිසා මට එදා ගමට යන්න සිදුවුණා. මගේ අම්මට ගොඩක් අපහසුයි දැන් වත්තෙ පිටියෙ කුඹුරු වැඩ පිළිබඳව බලන්න. ඉතිං ඒ නිසා ඒවා මම කරනවා. එදා සම්මානය ගන්න එනවිට ගොඩක් රෑ වුණා. ඒ හේතුවෙන් මම සමාව ඉල්ලුවා. නමුත් මම හැමදාමත් ස්තූතිවන්ත වෙනවා. තවමත් මම ඒ තැන ඉන්නේ මේ රටේ ප්‍රේක්ෂකයන් නිසා. ඉතිං මේ වෙලාවේ ඒ ප්‍රේක්ෂකයන්ට හිස නමා ආදරය ගෞරවය ප්‍රකාශ කරනවා.
Q සම්මානය පිළිබඳව සමාජ ජාල තුළ කතිකාවක් ගොඩනැගිලා තිබුණා. මොකක්ද ඒ ගැටලුව?
මම හිතන්නේ ඒක නම් කතා කළයුතු කාරණාවක් නෙවෙයි. කියන්න තියෙන සරලම කාරණාව මම ඒ පුද්ගලයා දන්නෙ නැහැ. මම ඔහුව හඳුනන්නෙත් නෑ. ඔහුත් සමග සම්බන්ධකමක් ඇත්තෙත් නැහැ. ඉතිං එතකොට ඒක මට අදාළ කාරණාවක් නෙවෙයි. මම උසද, මම මහතද, කෙට්ටුද, මම කළුද, මම කැතද මේ කියන ඔක්කොම කාරණාවලට වඩා වටිනවා මම මේ සමාජය වෙනුවෙන් හෝ කලාව වෙනුවෙන් හෝ මොනවද කරන්නේ කියන කාරණාව.
ඉතිං මම මගේ කාර්යය එදා ඉඳන් හරියට කරනවා. දැන් මට අවුරුදු 40ක් වෙනවා. මේ අවුරුදු 40ක කාලයේදී මම අවුරුදු 20ක්ම මේ ක්ෂේත්රය තුළ වැඩකටයුතු කරනවා. ඒ වැඩ කරන හැම තත්ත්පරයකම මම ඊළඟට කුමක් කළ යුතුද කියන කාරණාව මත තමයි වෙහෙසෙන්නේ. මම ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම දිහා බලන්න කැමති ඔහු මේ භූමියට, මේ රටට හෝ කරන්නා වූ කාර්යභාරය හරහා ඔහුගේ වැදගත්කම වටිනාකම අවශ්‍යතාව හඳුනාගන්නයි.
එහෙම නැතිව පුද්ගලයෙකුගේ දිග පළලින් මම එයාව මනින්නට සූදානම් නැහැ. ඉතිං එච්චර ලොකු අදාළතාවයක් නෑ. ඕනෑම කෙනෙකුට ඕනෑම විදියක අදහසක් තියෙන්නට පුළුවන්. ඒ හැම අදහසක්ම පිළිගන්නවා කියන තැන මම නැහැ. අපි කියනවනේ මේක ප්රජාතන්ත්රවාදී රටක් කියලා. ඉතිං මේ ප්රජාතන්ත්රවාදී රට තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්නට හැකියාව තියෙනවා. මාධ්‍ය හරි දියුණුයි. හරිම වේගයෙන් මාධ්‍ය මිනිසුන් කරා ගමන් කරනවා.
විශේෂයෙන්ම ජනප්‍රිය මාධ්‍ය. ඉතිං මේ ජනප්‍රිය මාධ්‍යය ඇසුරු කරනකොට හරිම කල්පනාවෙන් ඇසුරු කරන්නට අවශ්‍යයයි. මම කුඹුරු වැඩ කරන්න ගිය නිසා සම්මානය ගැනීම මඟහැරුණා කියන එක ලැජ්ජාවට කාරණාවක් ලෙස මම හිතන්නේ නැහැ. තාමත් මෙය කෘෂිකර්මය මුල්කරගත් රටක්. කෙනෙක් කුඹුරු වැඩ කළොත් තව කෙනෙක්ගේ බඩ පිරෙයි. බත හැදෙයි.
මම ලෝකේ කොහේ ගියත් මොන නිර්මාණ කළත්, මම තවමත් කෑගල්ලේ, මීදෙනියේ, අතිශය පිටිසර ගමක ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට ඉගෙනීමට ඇවිත් අද මේ කලාව තරණය කරපු කෙනෙක්. ඉතිං ඒ ආව ගමනත් එක්ක හැරිලා බලනකොට මම අතිශය සාර්ථකයි. මට අතිශයින්ම ආඩම්බරයි මම ගැන. ඒ ආඩම්බර වෙන්න කාරණා මට තියෙනවා. මගේ ගෙදර පරිසරය, මගේ ගම, මම ලැබූ අධ්‍යාපනය මේ හැමදෙයක්ම ඒකට බලපානවා.
මේ කියන කාරණා එක්ක ඕනම කෙනෙකුට ඕනම ප්‍රකාශයක් කරන්න පුළුවන්නේ. කිසිම ප්‍රකාශයක් මට අදාළ වෙන්නෙ නෑ. මොකද මම මමමයි. මම ඕනෑම වෙලාවක ඒක කියනවා. ඒක මට එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා කොහෙවත් ඉන්න මනුස්සයෙකුට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍යතාවකුත් නැහැ.
Q ඔබ පුංචි තිරයේ චරිත තෝරා බේරාගෙන වැඩකටයුතු සඳහා දායකවීමේදී ඔබව දකින්න කැමති රසිකයන්ට, ඔබව මඟහැරීමක් සිදුවෙනවා නේද?
නැහැ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද පසුගිය කාලේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් මාව පුංචි තිරයෙන් දැක්කා. 'මලී', 'අත්තම්මා', 'ලොකු බබා' වගේ වෙනස් වෙනස් චරිතත් එක්ක මාව මුණගැහුණා. ඒත් එක්කම බොහොම විහිළු චරිතත් එක්ක මාව මුණගැහුණා. මම හිතන්නේ මම විවිධ රසයන් තියෙන චරිත තමයි කළේ.
මම අදටත් එළියට බැස්සාම, වේදිකා නාට්‍යයකදී වේදිකාවේදී මම ලබන ඒ අත්පොළසන් නාදය සහ මට ලැබෙන ඒ උණුසුම් ප්‍රතිචාරත් එක්ක මට හිතන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයෙන් මම දුරස් වෙලා නෑ කියන කාරණාවයි. ඒ හැම කෙනෙක්ම ආදරය කරන්නේ මම කරපු චරිත සහ දුලීකා මාරපන කියන අතිශය සාමාන්‍ය ගැහැනියට වන්නට පුළුවන්. හෙට දවසේදී මට හොඳට කරන්න පුළුවන් වෙනස්ම විදියේ නිර්මාණයක් එක්ක පිටපතක් ලැබුණොත් මම ඒ නිර්මාණය භාරගන්නවා.
නමුත් එය භාර නොගෙන ඉන්නට හේතු කාරණා වෙන්නේ තවමත් මට ආදරය කරන්නට පුළුවන් එවැනි පිටපතක් නොලැබීම. හැබැයි එවැනි සිනමා පිටපත් කිහිපයක් මට ලැබිලා තිබෙනවා. හෙට අනිද්දාම එහි රූගත කිරීම් ආරම්භ කරනවා. වෙනස්ම විදිහක අපූරු චරිතයක් එක්ක ජීවිතයේ කිසිම දවසක ප්‍රේක්ෂකයන් මගෙන් බලාපොරොත්තු නොවන ආකාරයේ චරිත කීපයක් එක්ක සිනමාව හරහා මම එළියට ඒවි.
Q අද ලංකාවේ බිහිවන නිර්මාණ පිළිබඳව ඔබේ මතය මොන වගේද?
ඒක මේ රටේ ස්වභාවය. කොහේ හරි පාචනය කියන රෝගය මතු වුණොත් ඉන්පසුව අහල ගම් හතකම පාචනය බෝ වෙලානේ නතර වෙන්නේ. පස්සෙ මුළු අහල ගං හතටම බඩ යනවා. ඉතිං ඒක මේ රටේ ස්වභාවය. අපේ රටේ පුරුද්දක් තියෙනවනේ එක ප්‍රේම කතාවක් ආවොත් ඒ විදිහේ කතා තමයි ඔක්කොම කරන්නේ. එහෙම නැත්නම් ඉලක්කමකින් වේදිකා නාට්‍යයක් ආවොත් තියෙන තරම් ඔක්කොම ඉලක්කම් දාලා වේදිකා නාට්‍යයක් කරනවා.
කවුරු හරි කෙනෙක් මහාංවශය හරි මොකක් හරි අරගෙන රජ කතාවක් කළොත් තියෙන තරම් රජ කතා කරනවා. මම හිතන්නේ ඒකට අපි දුක්වෙන්න ඕන නෑ. අපි දුක්වෙනවට වඩා හොඳයි අපි කොහොමද වෙනස් විදියේ දෙයක් කරන්නේ කියන කාරණාව ගැන හිතන එක. ඒ නිසා දොස් කියනවට වඩා මම උත්සාහ කරනවා වෙනස් විදියේ වැඩක් කළයුතුයි කියලා කියන්න.
වේදිකාවේ පසුගිය කාලය ගැන කතා කරන විට 'ලෝරන්ස්ගේ මනමාලි' කියන නිර්මාණය හරහා වෙනසක් ඇති කළා. ඉතිං ඒ වෙනස අද ඇත්තටම කොච්චර ජනප්‍රියද කියනවා නම් මම දකිනවා බොහෝදෙනෙක් ඒ නාට්‍ය හරහා පාසල් ළමුන්ට වැඩසටහන් තියන්නට උත්සාහ කරනවා. පසුගිය කාලෙ බොහෝ අවස්ථාවල අපි ඒ වගේ දේවල් කළා. පාසල් ළමයින්ට නොමිලේ අධ්‍යාපන වැඩසටහන්, සම්මානයට පාත්රවිය යුතු අපේ ප්‍රවීණයන්ට සම්මාන වැඩසටහන්, දරුවන්ට පාසල් උපකරණ පුළුවන් ප්‍රමාණයෙන් අරගෙන දුන්නා.
ඒ වගේ දේවල් වර්තමානයේ වේදිකාව හරහා වෙනවා. වේදිකා නාට්‍යයක් හරහා අපි මුදල් උපයනවනේ. ඒ ඉපයීමෙන් යම් කොටසක් සමාජ සේවය වෙනුවෙන් අපි කැප කළා. එක තැනක ඒවා හිරකරලා තියාගෙන හිටියෙ නැහැ. ඒක පසුගිය කාලේ හුඟක් අය ආසාවෙන් කැමැත්තෙන් කරනවා කියලා මට පෙනුණා. අපි ඒ වෙනස සිනමාව තුළත් කරන්න සූදානමින් ඉන්නවා.
අපි හොඳ සිනමා නිර්මාණයක් කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක වෙනස්ම විදියේ නිර්මාණයක් වෙයි. ඒක මෙපමණ කාලයකට ප්‍රේක්ෂකයන් නොදුටු විදියේ නිර්මාණයක් වෙයි. ඒක රජ කතාවක්, විහිළු කතාවක් හෝ සරල බොළඳ ප්‍රේම කතාවක් නෙවෙයි. ඊට වඩා වෙනස් විදියේ දෙයක්.
හැබැයි ඒ කියන හැම විදියෙම පුංචි පුංචි කොටස් මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ඒ විවිධ හැඩයන් තුළින්. ඉතිං මම කියන්නේ අපි දොස් කියනවට හෝ විවේචනය කරනවට වඩා යහපත්ම දේ වෙන්නේ අපි ක්‍රියාත්මක වීම සහ අපි වැඩ කිරීම කියන කාරණාව. ඔය කියන කාරණාවට දැන් මම සූදානම්.