කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිජීවක ඒකකයේ වෛද්‍ය කමල් ඒ. පෙරේරාගේ සිවුවන බෝල්පොයින්ට සිතුවම් දැක්ම %Spectrum^ අද (01දා) සිට 03 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙයි. බෝල්පොයින්ට් පෑනෙන් අඳින ලද සුවිශේෂී සිතුවම් දැක්ම පිළිබඳව වෛද්‍ය කමල් ඒ පෙරේරා 'අද' හා මෙසේ අදහස් දැක්වූවේය.
Q වෛද්‍යවරයෙක් වූ ඔබ කලාවට යොමු වෙන්නේ කොහොමද?
මම චිත්‍ර අඳින්න පටන්ගත්තේ පාසල් කාලෙ ඉඳන්. සාමාන්‍ය පෙළ විභාගය දක්වා සෞන්දර්ය විෂයයන් කරන්න තියෙද්දී මම තොරගත්තේ චිත්‍ර කලාව. නමුත් ඒක එතැනින් නතර වුණා. ඒත් ආසාව නම් අඩු වුණේ නෑ. දියසායම්, පාට පැන්සල් වලින් එක එක චිත්‍ර ඇන්දා. මේකට යොමු වුණේ වෛද්‍ය පීඨයට ගියාට පස්සෙ. වෛද්‍ය විද්‍යාලයේ අනූ ගණන්වල අන්තිම කාලේ හිටියා මංගල මදනායක කියලා බෝල්පොයින්ට් පෑන් වලින් චිත්‍ර අඳින කෙනෙක්. එයාගේ ප්‍රදර්ශනයක් දැකලා මටත් මේකට ආසාවක් ආවා.
ඒ දවස්වල මටත් හිතාගන්න බැරිවුණා බෝල්පොයින්ට් පෑනෙන් කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා. පොඩ්ඩක් උත්සාහ කරලා බැලුවා. අනිත් එක අපේ වැඩත් එක්ක මේක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. බෝල්පොයින්ට් පෑනක් හොයන්න අමුතුවෙන් යන්න ඕන නෑ. ඒක තමයි මෙච්චර දුරක් ආවේ. ඒ දවස්වල නම් ප්‍රදර්ශන තියන්න හිතුවෙ නෑ. ඉඩ තියෙන වෙලාවෙ නිදහස් වෙන්න චිත්‍ර ඇන්දා. එහෙම තමයි දැනුණේ මේක ටිකක් දුරට යන්න පුළුවන් දෙයක් කියලා. ශිල්පීය ක්‍රම ටිකෙන් ටික අත්හදා බලමින් තමයි මෙතෙනට ආවේ. 2001 තමයි පළමු ප්‍රදර්ශනය තිබ්බේ.
මේ මම පවත්වන හතරවන ප්‍රදර්ශනය
Q මේ තරම් දුරක් එන්න වෙනම හැදෑරීම් මොනවා හරි කළාද?
විශේෂයෙන් කියල නෑ. සාමාන්‍ය පෙළ වෙනකල් කරපු ටික කළා. ඒ හැරෙන්න හදාරන්න යන්න තරම් වෙලාවක් නෑ. දිගින් දිගටම තියෙන්නේ ස්වයං අධ්‍යයනය තමයි.
Q ඔබේ චිත්‍ර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මොනවාද?
සාමාන්‍ය‘යෙන් බෝල්පොයින්ට් පෑන තමයි. අපි ලියන්න ගන්න සාමාන්‍ය පෑනම තමයි භාවිත කරන්නේ. ඒ පෑන් වලින් නිල්, කළු, රතු කියන සාමාන්‍ය භාවිත වර්ණයන්ට අමතරව තැඹිලි, කොළ, දුඹුරු කියන වර්ණ තුනත් එක්ක පාට 6ක් තමයි මේ සඳහා භාවිතා කරන්නේ. චිත්‍ර අඳින්න ගන්නේ සාමාන්‍ය බොක්ස් බෝර්ඩ් කියන බෝර්ඩ් එකයි. ඊට අමතරව අත්හදාබැලීම් සඳහා අමුරෙද්ද, කැන්වස් එක භාවිත කළා.
Q චිත්රයක ඔබ මූලික රාමුව ඇඳීමක් කරනවද?
බෝල්පොයින්ට් පෑනෙන් ඇන්දොත් මකන්න බෑ. ඒ නිසා අවුට්ලයින් එකක් පැන්සලකින් ඇඳගෙන ඒක උඩ පෑනෙන් අඳිනවා. භූමි දර්ශනයක් වගේ නම් නිකන්ම අඳිනවා. නමුත් සතෙක්ව වගේ අඳිනවා නම් අවුට්ලයින් එක අඳිනවා. බෝල්පොයින්ට් පෑනක් කියන්නේ හීනි තනි ඉරක්. ඒක ලොකු චිත්‍රයක් දක්වා වර්ධනය කරනවා. පින්සල නම් විවිධ ප්‍රමාණවලින් ගන්න පුළුවන්. නමුත් පෑනක් එහෙම බෑ.
Q චිත්‍රයක් සඳහා අදහස් ලබාගන්නේ කොහොමද?
හුඟක් වෙලාවට මම ආස සොබාදහමට. ඡායාරූප ගන්න වගේම විනෝදයට නරඹන්නත් සොබාදහම එක්ක ඉන්න නිසා ඒක දැනෙනවා. ගහකොළ, සත්තු ඒවා තමයි මම යොදාගන්නේ. අපි දකින දේවල් මොකක් හරි වෙනසක් එක්ක අඳිනවා. ඒ වගේම ආලේඛ්‍ය චිත්‍ර වලිනුත් මුහුණුවල හැඟීම් ප්‍රකාශ වෙන්න අඳින්න පුළුවන්. ඊළඟට මොඩර්න් පේන්ට්ස් (නූතන චිත්‍ර කලාව) වලට අදාළ චිත්‍රත් මෙහි තියෙනවා. භූමි දර්ශනත් අඩංගුයි.
Q කොහොමද මේවට කාලය හොයාගන්නේ?
මේවා තනි පෑන් ඉරිවලින් අඳින නිසා ටිකක් වැඩි වෙලාවක් යනවා. එතනදි මම මේ හුඟක් චිත්‍ර එකදිගට ඇඳලා ඉවර කරන්නෙ නැහැ. එහෙම කළොත් දවසින් ඉවර කරන්න පුළුවන්. ඒත් එහෙම අඳින්න වෙලාවක් නෑ. ඒ හින්දා සතියක් දෙකක්, තුනක්, මාසයක් වුණත් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නවත්තපු තැන ඉඳන් අඳින්න පුළුවන්.
Q ඔබේ කාර්යබහුලත්වයත් එක්ක මේ සඳහා ලැබුණ අවකාශය කොහොමද?
ඇත්ත. මම ඉන්නේ හදිසි අනතුරු ඒකකයේ නිසා එන ලෙඩ්ඩු ප්‍රමාණය ටිකක් අවදානම්. ඒ නිසා අපේ මනසෙත් ආතතිය හුඟක් වෙලාවට තියෙනවා. ඒ පීඩනයට, ආතතියට විසඳුමක් විදියට තමයි මේක කරන්නේ. මනස ඉහිල් කරගන්න මේක හොද විසඳුමක්. මේකෙ නියැළෙන එකත් භාවනාවක්. පොඩ්ඩ පොඩ්ඩ තමයි මේක ගොඩනැගෙන්නේ. ඒ නිසා ඒක සිහියෙන්, ඉවසීමෙන් කරන්න ඕන. ඒකත් එක්ක මනසට ලොකු සැහැල්ලුවක් ලැබෙනවා.
Q ඔබේ ප්‍රදර්ශනය පිළිබඳව සඳහන් කළොත්?
අද (01දා) පටන් ගන්න මේ ප්‍රදර්ශනය හෙට (02දා) සහ අනිද්දා (03දා) කියන දවස් තුන පුරාවට ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වෙනවා ප්‍රදර්ශනය අද පෙ.ව. 10.30ට ඇරඹිලා රාත්‍රි 8.00 දක්වා පැවැත්වෙනවා. සෙසු දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. නොමිලේ පැවැත්වෙන ප්‍රදර්ශනයක් නිසා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඕන නම් චිත්‍ර මිලදී ගන්නත් පුළුවන්.
0756839820