ගලේවෙල දේවහුව ප්‍රදේශයේ මීට වසර හයකට ඉහතදී අඹු සැමි යුවලක් නිවස තුළින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පලි ගැනීමක් වෙනුවෙන් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට සිරුර පුළුස්සා වල දැමූ කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ සේවය කරන තරුණයෙකු 26 දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල මකුළුගස් වැව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල දේවහුව ප්‍රදේශයේම පදිංචි ඒ .ජි .විමලසේන පනස් නව හැවිරිදිම අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
පසුගිය 25 දා සිට මියගිය පුද්ගලයා අතුරුදහන් වී ඇති බවට මකුළුගස්වැව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව මියගිය අයගේ පිරිසක් සිදුකළ පැමිණිල්ලක් කඩිනමින් විභාග කළ පොලිසිය 26 දින පෙරවරුවේ සැකපිට නිවාඩු පැමිණ සිටි නාවික හමුදාවේ සෙබලෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකි වී තිබිණි.
2019 වසරේ අප්‍රේල් මස 16 වන දින දේවහුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටි අඹුසැමි යුවළක් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කොට තිබිණි ඝාතනයත් සමඟින් එම අඹුසැමි යුවළගේ පිරිමි දරුවන් දෙදෙනාම තනිවිය.
බාල පුතා එවකට නාවික හමුදාවට බැදී පුහුණු පාඨමාලා නිම කරමින් සිටියේය. මෙම අඹුසැමි යුවළ ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී තිබුණේ මියගිය කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකුටයෙ. ඉඩම් ආරවුලක් ඝාතනයට මුල්වී තිබුණු බව පොලිසිය කියයි.
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප ලබා ඇති අතර නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබිණි.
තම මව පියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන අධිකරණයෙන් ඇප ලබා සිටින මියගිය කාන්තාවගේ සහෝදරයෙකු මෙසේ ඝාතනය කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතාගේ නියෝගයක් අනුව දේවහුවවැව තාවුල්ලේ වල දමා තිබුණු මළ සිරුර 26 දින පස්වරුවේ ගොඩ ගැනීම සිදු කරන ලදී.
එම අවස්ථාවට අත්අඩංගුවේ පසුවන නාවික හමුදාවේ සෙබලාද ගෙන්වා තිබිණි.සැකකරුගෙන් එහිදී අනාවරණය වූයේ තම මව පියා ඝාතනය කිරීමේ සිද්දියට පළිගැනීමක් ලෙස මග රැක පහරදී ලොරි රථයක දමාගෙන දේවහුවවැව ඉස්මත්තට රැගෙන විත් පොල් අතු දමා ඔහුගේ සිරුර පුළුස්සා එම ස්ථානයේම වලක් කපා වළදමා තිබුණු බවය.
ඝාතනයට ලක් වූ පුද්ගලයා පැමිණි යතුරුපැදිය ද දඹුල්ල ඉබ්බංකටුව ජලාශයට ගෙනවිත් දැමූ බවත් පොලිසියට සැකකරු විසින් දන්වා තිබේ.



