අජිත් රූපසේන විසින් නිෂ්පාදනය කරනු ලැබූ මනමාලයා නාට්‍යය එළඹෙන 02 වැනිදා වේදිකාගත වීමට නියමිතය. එහෙයින් අපි ඒ පිළිබඳව කතාබස් කරනට ඔහුව 'අද' ට සම්බන්ධ කරගතිමු.
සොක්කාණු රජාණෝ
මම අජිත් රූපසේන. අලුතෙන්ම මම නිෂ්පාදය කරන නාට්‍යය තමයි 'මනමාලයා' කියන නාට්‍යය. 1983 දී 'සොක්කානු රජාණෝ' කියන නාට්‍යයෙන් වේදිකාවට ආපු පුංචි නළුවෙක්. එතනින් පටන්ගත් ගමන බොහෝදුරක් ආවෙ නෑ .කෙටි කාලයක් තමයි මට ලංකාවෙ ඉන්න වාසනාව ලැබුණෙ. ඒ කාලෙ ඇතුළත ලංකාවෙ ටවර් හෝල් පදනමට සම්බන්ධ වෙලා නාට්‍යකරණය පිළිබඳ උසස් පාඨමාලාවක් හදාරලා පසුව කෙටි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. එසේ නිෂ්පාදනය කරපු සමහර කෙටි නාට්‍යවලට සම්මාන පවා හිමිවුණා.
මට මගේ තාත්තා නැතිවුණේ අවුරුදු 06 දී. මට නාට්‍ය කලාව වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැරිවුණා. අද නාට්‍ය ක්ෂේත්රයේ ඉන්න බොහෝ ප්‍රවීණයන් මුල් කාලයේ වේදිකා නාට්‍ය වෙනුවෙන් බොහොම කැපකිරීමක් කළ අය. මට ඒ කැපකිරීම කරන්න බැරිවුණා මගේ පවුලේ ප්‍රශ්නත් එක්ක. එනිසාම මම ලංකාවෙන් පිට රැකියාවකට යන්න තීරණය කළා. මම මුලින්ම ගියේ කුවේට්වලට. එහි යද්දි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා කියනවා අද වගේ මතකයි'
දුර්භික්ෂ නාට්‍ය සමය
අජිත් රට ගියාට කමක් නෑ නාට්‍ය කලාව අමතක කරන්න එපා කියල එහෙ ගියාට පස්සේ එහේ ඉන්න නාට්‍ය කලාවට ළැදි නාට්‍ය කලාව උගත් පිරිසක් එකතු කරගෙන නාට්‍යයක් හැදුවා. එය තමයි ලංකාවෙන් පිට නිෂ්පාදනය වූ මුල්ම සිංහල නාට්‍යය. මෙහෙන් නාට්‍ය පිටරටට ගියාට පිටරට අපේ නාට්‍ය නිෂ්පාදනය වෙනවා අඩුයිනෙ. එයට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාත් සම්බන්ධ වුණා. කුවේට් යුද්දෙට අහුවුණා. අහුවෙලා එන්න බැරුව රැකියාවත් නැතිවෙලා ලංකාවට ආවාට පසු මම 'දඬු ගුරුළා' කියන නාට්‍යය ලංකාවෙ නිෂ්පාදනය කළා. එය නිෂ්පාදනය කරලා ලංකාවෙ හැමතැනම නාට්‍යයක් අරන් ගියා. ඔය වකවානුව වන විට ලංකාවෙ නාට්‍ය කලාව බින්දුවට වැටිල තිබුණු කාලයක්.
නාට්යාගාරවලට මිනිස්සු ගෙන්නගන්න බෑ. රූපවාහිනිය වටා මිනිස්සු රොක්වෙලා හිටියා. ඒ කාරණාව නිසාම එම නාට්‍යයත් මිනිස්සු අතරට ගෙනියන්න බැරිවුණා. කොළඹින් පිටදි විතරයි යම් තරමකට හෝ සාර්ථක වුණේ. යළිත් මට අවස්ථාවක් හිමිවුණා ඩුබායිවලට යන්න. මම ඩුබායි ගිහින් ඩුබායි ශ්‍රී ලංකා නාට්‍ය සංගමය නමින් සංගමයක් ආරම්භ කළා. ඒ සංගමයෙන් අපිට නාට්‍ය නිෂ්පාදනය කළා. කුවේට් වගේ නෙවෙයි ඩුබායිවල කලාකරුවන්ට වටිනාකමක් තිබෙනවා. දක්ෂයො නැත්තම් නාට්‍ය බලන්න එන්නෙ නෑ.
ඇලුම් කළ චරිත
මගේ ඊළඟ නාට්‍යය වුණේ 'ආතුරයෝ' නාට්‍යය. ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, රත්නශීලා පෙරේරා, අනුර වරාගොඩ යන අය මෙන්ම එහේ නාට්‍යයට සම්බන්ධ වෙලා ඉඳපු පිරිසක් එකතු කරගෙන නාට්‍යය එහේ පෙන්නුවා. කොච්චර අපි මහන්සි වුණත් ඒ රටේ එක වතාවක් පෙන්නුවම එතනින් ඉවරයි. මට එය එතරම් තදින් වැදුණෙ නෑ. මට තදබල උවමනාවක් තිබුණා කවදහරි 'සොක්කාණෝ රජාණෝ' නාට්‍යය නැවත නිෂ්පාදනය කරන්න ඕන කියලා. ඒ නාට්‍යයේ ඇතුළෙන් දෙන දේශපාලන පණිවිඩය අද කාලයට ගැළපෙනවා කියා හිතුණා. අනෙක් කාරණය තමයි මෙහි ප්‍රධාන චරිතය වුණු නරියගේ චරිතය ගොඩාක් ඇලුම් කළා සහ කවදහරි මේක කරන්න තිබුණනම් කියලත් හිතුණා. නමුත් අවස්ථාව ලැබුණෙ නෑ. එනිසාම මම සොක්කාණු රජාණෝ නාට්‍යය නිෂ්පාදනය කළත් එය පෙන්නන්න අවුරුද්දක් එකහමාරක් මහන්සි වෙන්න සිදුවුණා. සෙට් හදලා ඇඳුම් හදලා මහන්සි වෙලා පන්සියයකට වගේ පිරිසකට තමයි පෙන්නන්න පුළුවන් වුණේ.
මනමාලයා හැදුණු හැටි
මම කල්පනා කළා මම මේ වියදම් කරන මුදලින් මීට වැඩිය දෙයක් කරන්න පුළුවන් ලංකාවෙ නාට්‍යයක් නිෂ්පාදනය කළා නම් කියල. නිර්මාණයක් කරාටම සතුටු වෙන්න බෑ ඒක ජනතාව වැළඳගත්තෙ නැත්තම්. ජනතාව නැරඹුවාමනෙ අපිට සතුට තියෙන්නෙ. මම පස්සෙ තීරණය කළා ලංකාවෙ නාට්‍යයක් කරන්න ඕන කියල. මම කීර්ති රත්නායක මහතාට කියල ලියාගත්ත පිටපතක් තිබුණා. මීට කලිනුත් කීපවතාවක්ම නාට්‍යයේ වැඩකටයුතුවලට එන්න සිදු වුණා. ඇවිත් 'මනමාලයා' නාට්‍යයේ පුහුණුවීම් ඇරඹුවා.
දැන් මම නිවාඩුවට ඇවිත් මේ නාට්‍ය හදලා ලංකාවෙ පෙන්නලා මමත් ඒකෙ රඟපාලා නාට්‍යය පවත්වාගෙන යන්න සුසිල් වික්‍රමසිංහ නැමැති හිතවතාට තමයි බාර දුන්නෙ. ඔහු නාට්‍ය වෙනුවෙන් ඉතාම කැපවීමෙන් සංවිධානය කරන කෙනෙක්. ඔහු මගේ පරණ මිත්‍රයෙක්. මට ඔහුව මුණගැසුණේ අහම්බෙන්. එය ලොකු ශක්තියක් වුණා. නාට්‍ය හැදුවට පස්සෙ එය ජනතාව අතරට ගෙනයන බරපතළම කටයුත්ත තියෙන්නෙ නාට්‍ය සංවිධායකයා අතේ. ලංකාවෙ ඉන්න නාට්‍ය සංවිධායකයො අතරින් හොඳ සංවිධායකවරයෙක් තමයි සුසිල් වික්‍රමසිංහ කියන්නෙ.
මනමාලයා කියන නාට්‍යය ගැන කතා කරද්දි මම කියන්නෙ නෑ නාට්‍යකරුවා පණිවිඩකරුවෙක් විය යුතුමයි කියල. බොහෝ වෙලාවට සමාජ සංස්ථාවට පණිවිඩයක් අරන් යනවා. මෙය ගැමි ආරක නාට්‍යයක්. ගැමි සංගීතය ,ගැමි නැටුම ආභරණයක් කරගත්ත සංවාදශීලී නාට්‍යයක්. මම හිතනවා මිනිස්සු බොහොම කැමැත්තෙන් මෙය වැළඳගනීවි කියා. මෙහි අපේකම තිබෙනවා. අපි හිනාවෙනවා. පස්සෙ අපිටම තේරෙනවා අපි හිනාවෙන්නෙ අපිටම කියලා. මේ සඳහා ප්‍රවීණම ශිල්පීන් යොදාගත්තා.
රඟපෑමෙන් සම්බන්ධ වෙනවා මැණිකේ අත්තනායක , මාදනී මල්වත්ත, හෂිනිකා කරලියද්ද සහ නාට්‍ය ලියූ කීර්ති රත්නායකත් සහ මමත්. සංගීතය සැපයීම ශාන්ත පීරිස් සිදුකරන අතර, වේදිකා පසුතල ඇඳුම් සහ අංග රචනය හීනටිගල ප්‍රේමදාස මහතා විසිනුයි සිදුකරන්නෙ. වේදිකා පරිපාලනය අනුර වරාගොඩ සහ සුජිත් පෙරේරා විසින් සිදුකරනවා. මෙහි මංගල දර්ශනය ඔක්තෝබර් 02 වැනිදා කොළඹ නවනගර ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 සිදු කෙරෙනවා. මෙය ලංකාවේ මෙන්ම විදෙස් රටවලද ප්‍රදර්ශනය කිරීම අපේ අරමුණ වී තිබෙනවා. මෙවැනි දේවල් ලංකාවෙන් පිට ඉන්න අපේ දරුවන්ට දකින්න ලැබෙන්නෙ නෑ. එනිසා මෙය ඒ අය අතරත් ජනප්‍රිය වෙයි. ලංකාවේ වගේම විදෙස් රටවලත් පැවැත්වීමත් මෙහි එක් බලාපොරොත්තුවක්.
සේයාරූ චානුක කුලසේකර