බණට ආරාධනා කළාම හාමුදුරුවොත් 'සම්තිං' ඉල්ලන කාලයක්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් නිෂ්පාදිත ප්‍රථම ටෙලිනාට්‍ය වන 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍ය වෙනුවෙන් සෝමවීර සේනානායක සූරීන් විසින් රචනා කරන ලද එහි තිරනාටකය සරසවි ප්‍රකාශයක් ලෙස පසුගියදා (03දා) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත විය. එය අධ්‍යක්ෂණය කළ අප අතරින් වියෝවූ ධම්ම ජාගොඩ කලාකරුවා පිළිබඳව ඇගයීමක්ද කළ එම උත්සවයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් කළ දේශනය පහත සටහන් කරමු.
''අද අප රටේ භාවිත වන මාධ්‍ය සංස්කෘතිය හරහා මේ රට යන්නේ කොයි දිශාවටද යන අර්බුදකාරී අවස්ථාවක අප පසුවන්නෙ. අද මාධ්‍ය තුළ ඇතිවී ඇති තාක්ෂණික දියුණුවත් සමගම යම් විනාශකාරී ප්රවාහයකට එම මාධ්‍ය ගොදුරුවෙලා. ඒ තාක්ෂණික දියුණුව තුළින් අැතිවී ඇති විනාශකාරී ප්‍රවාහය තුළම සිටිමින් තමයි අද මේ විනාශයට එරෙහිව අපට සටන් කිරීමට සිදුවී තිබෙන්නේ.
අපි පොඩි කාලේ බුදුදහමින් පෝෂණය වූ අපේ ගැමි සමාජයේ මාධ්‍යට එරෙහි විවිධ විරෝධතා පැනනැගුණා. ඒ කාලේ රේඩියෝවක් ශ්‍රවණය කිරීම හාමුදුරුවන්ට තහනම්. ඒ තුළින් සංඝයා වහන්සේලා නොමග යනවා කියන මතයක් එදා ගැමි සමාජයේ තිබුණා. ඒ අතින් බලනකොට මම වගේ රටේ වගකිවයුතු යතිවරයෙක් ටෙලිනාට්‍ය ගැන විවාද කිරීමත්, අපට අකැප වස්තූන් ගැන කතා කිරීමක් වෙනවා.
මේ රටේ පහළ වුණු ඉතාම කපටිම, ශූරම, දේශපාලනඥයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ආයෙ ඒකෙ දෙකක් නැහැ. ඔහු විසින් අපේ රටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය තවත් මෙවලමක් ලෙසටයි එදා රූපවාහිනිය අපේ රටට හඳුන්වා දුන්නෙ. එහෙම නැතිව රූපවාහිනිය හඳුන්වාදීම රටේ ජනතාවට ආදරේට කරපු දෙයක් නොවේ. එදා ජේ.ආර්. ජයවර්ධන ගහපු ගැටත් එක්ක තමයි මේ රට අවුල් වියවුල් තත්ත්වයට පත්වුණේ.
අපේ සංස්කෘතික අනන්‍යතාව වගේම සියලු සාරධර්ම රකින මෙවලමක් බවටත් අපි අපේ රූපවාහිනිය පත්කර ගත යුතුයි. එවිටයි එය අපේම වන්නේ.
අපි ඉබේ පහළවුණු ජාතියක් නොවේ. ලෝකයේ ඇතැම් ජාතීන්වල ඉතිහාසය පවතින්නේ අවුරුදු 200ක සිටයි. ඒ රටවලට කරගහගෙන ඉදිරියට ගෙනියන්න සංස්කෘතියක් නැහැ. ඉන්දියාව ළඟ තිබුණට, අපේ මේ දිවයිනටම අනන්‍ය වූ ආවේණික ලක්ෂණ සහිත සංස්කෘතියක් අතීත මුතුන්මිත්තන්ගෙන් අපට උරුම වෙලා තියෙනවා.
දශක තුනකට අධික කාලයක් රූපවාහිනිය පැමිණි ගමන්මගත්, එය අද පවතින අවස්ථාවත්, ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ සංස්කෘතිය පවත්වාගෙන යෑමට එය ලබාදෙන අත්වැල පිළිබඳවත් කතිකාවක් ආරම්භ කිරීමට අද අවශ්‍ය වෙලා තියෙනවා.
මේ රටේ දේශපාලනඥයාට ගුවන් විදුලිය හා රූපවාහිනිය අවශ්‍ය වන්නේ බලය ලබැගැනීම සහ එය පවත්වා ගෙනයාම සඳහා පමණයි. එහෙම නැතුව මේවායේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව හිතන්න ඒ අයට වෙලාවක් ඇති බවක් මට නම් හැඟෙන්නේ නෑ. ඒ හේතුව නිසයි මේ පිරිහීමට එරෙහිව අපේ රටේ කලාකරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ හඬක් අවශ්‍ය වී තිබෙන්නෙ.
අප රටේ සමාජය පිරිහීමට හෝ ඉදිරියට ගෙන යෑමට මේ මාධ්‍ය දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනවා. අපේ හැසිරීම් රටාව මේ මාධ්‍ය පාලනය කරනවා. 'පළිඟු මැණිකේ' ටෙලි නාට්‍යයේම වචනයක් වන 'පට්පට් ගාලා සම්තිං' යන්න සමාජගත වීම එයට එක උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.
අද ලංකාවේ මාධ්‍ය පවත්වාගෙන යන්නේ තනිකරම වෙළෙඳ ව්‍යාපාර හැටියටයි. රූපවාහිනිය කරන්නෙත් මේකමයි. එක කාලෙක සභාපතිවරයෙක් කිව්වා ලංකාවේ රූපවාහිනිය, ගුවන් විදුලිය බී.බී.සී. තත්ත්වයට පත් කරනවා කියලා. අද බී.බී.සී. එකේ රූපවාහිනී නාළිකාවක් තියෙනවා 'බීබීසී වන්' (BBC ONE) කියලා. එහි කිසිම වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වෙන්නේ නැහැ. එය පවත්වා ගෙන යන්නේ රජයේ වියදමින්. ඒවා නඩත්තු වන්නේ, එහි බලපත්‍ර ලියාපදිංචි කිරීමෙන් ලැබෙන මුදලින්.
නාට්‍යයක් නැරඹීමට වඩා අද ජනතාවට සිදුවෙලා තිබෙන්නෙ වෙළෙඳ දැන්වීම් දැකීමටයි. එම දැන්වීම්වලින් වන තර්ජනය ඉවසාගෙන අද රූපවාහිනී නාළිකා දිහා අපට බලන්න සිදුවෙලා. ඉතාම සංවේදී කතාවක් අතරතුර වේලාව බලන්න නැවැත්වීම තුළින් කීයක් හරි හම්බ කර ගැනීමේ පහළම තත්ත්වයකට අද මාධ්‍ය වැටිලා. ඇයි මේවාට විරුද්ධව කතා කරන්න බැරි? ටෙලිවිෂන් කර්මාන්තය ව්‍යාපාරයක් නිසා අද අපේ සියලුම සාරධර්ම එම මාධ්‍යවලට පාවාදීලා.
සමාජයේ උසස් රසවින්දනයක් ඇතිකිරීම, අප අවට ලෝකයේ සිදුවන සිද්ධීන් නිවැරදිව වාර්තා කිරීම, අධ්‍යාපනික අවබෝධය, දරුවන් වෙනුවෙන් දැනුම වැඩි කිරීම යනාදී දේයි මාධ්‍යවලින් කරන්න ඕන. ඒත් අද මාධ්‍ය කරන්නේ ඔවුන්ට අයිති නැති වැඩයි. ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන ඒවා මාධ්‍යයට අයිතිද? ධාතූන් වහන්සේලා මාධ්‍ය ආයතන මගින් විකුණන එක බුදුන්වහන්සේට කරන බරපතළ අගෞරවයක්.
බුදුන්වහන්සේගේ ධාතු පවතින්නේ විකිණීම සඳහා නොවෙයි. අපේ ස්වාමීන් වහන්සේලාත් මීට සම්බන්ධවීම කනගාටුදායක කරුණක්. එක නාළිකාවක් එම වැරදි වැඩේ පටන්ගත්තාම තරගයට වගේ තව නාළිකාවකුත් මේදේ පටන්ගත්තා. මේවා ඔවුන්ට අදාළ දේ නොවෙයි.
අද මාධ්‍ය තුළින් ජනතාව අන්ධභක්තිකයන් බවට පත්කරලා. බුදුදහම කියන්නෙ, අන්ධභක්තියෙන් ඇදහිය යුතු ධර්මයක් නොවේ. අද නාළිකා බණක් විකාශය කරන්න මුදලක් පොරොන්දු වෙනවා. පස්සේ එම ධර්ම දේශනාව විකුණනවා. ඉස්සර ගුවන් විදුලිය පමණයි බණ විකාශය කළේ.
ඒ කාලේ හිටපු සියලුම පණ්ඩිත හාමුදුරුවරු ඇතුළු සංඝයා වහන්සේලා ගුවන් විදුලියේ බණ කියන්න යන්න අකමැති වුණා, ධර්මය හෑල්ලු වෙනවා කියලා. පළමුවෙන්ම පැයකට බණ හදල ගුවන් විදුලියේ ධර්ම දේශනා කළේ පැලෑනේ වජිරඥාන හිමියන්.
අද හාමුදුරුවන්ට බණක් කියන්න ආරාධනා කරන්න ගියහම බණටත් සම්තිං ඉල්ලන කාලයක්. ගමන් ගාස්තුව මෙච්චරයි, මගේ ගාස්තුව මෙච්චරයි, සවුන්ඩ් සිස්ටම් එකේ ගාස්තුව මෙච්චරයි කියලා ඒ අය කියනවා. ඒ හාමුදුරුවො කියන සවුන්ඩ් සිස්ටම් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒ අය කියන්නේ වෙන තැන්වලින් ගන්න සවුන්ඩ් සිස්ටම්වලින් ඒ හාමුදුරුවන්ගේ කටහඬ හරියටම එන්නේ නැති බවයි.
මෙවැනි තත්ත්වයක් අද ඇති වෙලා තියෙන්නේත්, අප ලැබූ විවෘත ආර්ථිකය නිසාමයි. අද එළිදැක්වූ සෝමවීර සේනානායකයන් රචිත මෙම 'පළිඟු මැණිකේ' ටෙලි තිරරචනයත්, එහි ප්රස්ථාවනාවත් රංග කලා විෂය හදාරන දරුවන්ට ඉදිරියේදී මහා අත්වැලක් සපයන ග්රන්ථයක් වේවි කියලා මම විශ්වාස කරනවා.''
සටහන - පද්මකුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

