ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නවවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහු සංගීතයෙන් දායක වූ චිත්‍රපට උලෙළක් අද (20දා) සිට ලබන 24 වැනිදා දක්වා සවස 2.30 සහ 6.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කේමදාස පදනම තීරණය කර තිබේ. ඒ අනුව අද (20දා) 'ගොළු හදවත' චිත්‍රපටයෙන් ඇරඹෙන මෙම උලෙළේදී 'වාසනා', 'නිධානය', 'ලොකුම හිනාව', 'සිරිමැදුර', 'බඹරු ඇවිත්' යන චිත්‍රපට තිරගත වන අතර, ලබන 24 වැනිදා තිරගත වන 'හංස විලක්' චිත්‍රපටයෙන් උලෙළ අවසන් වෙයි. මේ ඒ නිමිත්තෙන් ගයත්‍රි කේමදාස සමග කළ කතාබහකි.
Q ඇයි මෙවර සිනමා උලෙළක් පැවැත්වීමට තීරණය කළේ?
තාත්තා ලාංකේය සිනමා සංගීතය ඇතුළෙත් විශාල පෙරළියක් කළ කෙනෙක්. ඒ නිසා මෙවර ගුණානුස්මරණයේදී තාත්තාගේ තෝරාගත් චිත්‍රපට ඇතුළත් සිනමා උලෙළක් පැවැත්විය යුතුයි කියලා අපි හිතුවා. මොකද තාත්තාගේ සිනමා සංගීතයත් චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙනස්. මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස්. ඒ නිසා මේ පිළිබඳ කතිකාවතක් පැවැත්වීමේ අවශ්‍යතාවකුත් අපට තිබුණා. ඒ අනුව තමයි චිත්‍රපට පැවැත්වෙන වේලාවල් අතරතුර කාලය එම කතිකාව සඳහා විවෘත කරන්න අපි හිතුවේ. මේක විවෘත සංවාදයක්. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් එහිදී තාත්තාගේ සිනමා සංගීතය ගැන පළකරන්න පුළුවන්.
Q සිනමාව සහ සිනමාත්මක සංගීතඥයා පිළිබඳ ඔබේ අදහස කොයි වගේද?
රූප රාමුවෙන් පෙනෙන රූපයට එහා ගිය යමක් සංගීතය හරහා රසිකයාට මුසුකළ හැකි නම්, ඒක තමයි සංගීත සංරචකයාගේ ජයග්‍රහණය. ඒ නිසා වෙනමම ගෙන වුවත් කියවිය හැකි, කතාබහක් ඇති කළ හැකි සිනමා සංගීත සංරචනාවක් නිර්මාණය කිරීමයි වඩා වැදගත් වෙන්නේ. ඒ අනුවයි සාමාජීය වශයෙන් වෙනස් කළ හැකි වෙනස් අර්ථකථන සංගීතය හරහා ජනනය වෙන්නේ.
Q ඒත් ගෝලීය සමාජයක් ඇතුළෙත් තාමත් ලාංකේය සංගීතය ලෝක මට්ටමට ගිහින් නැහැ?
පොඩි දෙයක් කළාම අපි හිතන් ඉන්නේ අපි දන්නවා කියලයි. අපි මාර දෙයක් කළා කියලයි. නැතුව තවදුරටත් වෙනස් විදිහට හිතිය යුතුයි කියලා නෙමෙයි හිතන් ඉන්නේ. අනික අපි අද ඉන්නේ අනුකරණයක. ඒත් ලෝක මට්ටමේදී මෙය කලාකරුවන් සලකන්නේ නරක ප්‍රවණතාවක් විදිහටයි. අනික සංගීතමය අදහස් නිවැරදිව අනුගත වන ආකාරය හෝ කටහඬ හැසිර වීම හෝ නිවැරදිව වාද්‍ය භාණ්ඩයක් හසුරුවන ආකාරය ගැන හෝ අපේ වැඩි අවධානයක් නැහැ. මොකද අපි තාම ඉන්නේ ගීතය කියන තැන කොටුවෙලා. ඒ නිසා සන්නිවේදන දියුණුව හෝ එය නිවැරදිව හසුකර ගැනීමට තවමත් ලාංකේය සංගීතයට නොහැකි වෙලා. ඊට සංගීතය හැදෑරිය හැකි නිශ්චිත ආයතනයක් හෝ නොමැති වීමත් බලපා තියෙනවා. ඒ නිසා සංගීතඥයන්ගේම ගැටලුවක් තමයි මෙතැන අපට තියෙන්නේ. අනික සංරචනාව යන්න කාලයක් පුරා හැදෑරිය යුතු දෙයක්. ඒ අනුවයි එය මනස තුළ ගොඩ නැගෙන්නේ. ඒ අනුවයි ඔහුට හෝ ඇයට සංගීතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළ හැකි වෙන්නේ. අනික ලාංකේය සංගීතය අද රසවිඳින්න බැරි සාමාන්‍ය ජනතාවට නෙමෙයි, දන්නවා කියලා හිතාගෙන ඉන්න, ජනප්‍රිය වෙලා මිනිස්සුන්ටමයි. ඔවුන් තමයි මේ රස භාව හරියට විඳින්න දන්නේ නැත්තේ. ඒ නිසයි ඔවුන් හොඳ සංගීතමය නිර්මාණවලට ඉහළට එන්න ඉඩ දෙන්නෙ නැත්තේ.
Q වත්මන් ගීතය ගැන මොකද හිතන්නේ?
දශක ගණනාවක් ගිහිල්ලත් තවමත් අපි කවියයි, ගීතයයි පටලවාගෙන. අනික පද රචනාව හොඳ වූ පමණින් ගීතය හොඳ වෙන්නේ නැහැ. මොකද සංගීතය තුළ එම වචනයේ සංගීතමයභාවය සහ වාච්‍යාර්ථය කියන්නේ දෙකක්. ඒ වගේම ඊට ගායකයා හෝ ගායකයන් කටහඬ හසුරුවා එය සන්නිවේදනය කරන ආකාරය කියන්නෙත් තවත් කාරණයක්. ඒ නිසා මෙය සාමූහික කර්තව්‍යයක්.
Q ගීතයක් ප්‍රතිනිර්මාණය තුළින් එහි ජීවගුණයට නව අරුතක් එකතු වෙනවා නේද?
අපි ගීතයක් වෙනස් කරනවා හෝ ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ ඒ සෑම මොහොතකදීම එම වෙනස් කිරීම සඳහා හේතුවක් සොයාගත යුතු කාර්යයක්. මොකද එම පිළිතුර තාර්කික විය යුතුයි. අනික එම ගීතයේ පෙර පැවැති ස්ථරයෙන්, තවත් ස්ථරයකට එය ගෙන යන්න බැරි නම්, එවැනි ප්‍රතිනිර්මාණයකින් රසිකයන්ට වැඩක් නැහැ.
Q ලෝක මට්ටමෙන් ගත්තාම මොනවද අලුත්ම සංගීත ප්රවණතා?
සම්භාව්‍ය සංගීතය අද නොයෙකුත් ආකාරයෙන් වෙනස් වෙලා. වෙනස් වෙමින් පවතිනවා. ඔපෙරා, කැන්ටාටා වැනි සංගීත මාධ්‍යයන් නව ආකාරයෙන් රසිකයන් අතරට පැමිණෙමින් තියෙනවා. උදාහරණයකට අලුත් ඔපෙරාවක යෙදෙන චරිතයන් ගණන දෙකකට සීමාවෙලා. සංධ්වනි සංගීත කණ්ඩායමක ප්‍රමාණයත් කුඩා වෙලා. ඒ වගේම දැන් මේ සංධ්වනි රංග ශාලාවට සීමා වන ස්වභාවයකුත් නැහැ. මිනිසුන් අතර සංවාද ඇතිකර වන හැඩතලයකට තමයි සැකසෙමින් පවතින්නේ.
ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය යන්න තරාදියක දෙපැත්තේ තියන්න බැහැ නේද?
කොහෙත්ම බැහැ. ඒ නිසා දෙකොට්ඨාසයම අපට වැදගත්. ඒ නිසා අපට වෙලා තියෙන්නේ සියල්ලම එක් පැත්තකට තල්ලු කිරීමට පෙළැඹී තිබෙන ස්වභාවයක්. නැතුව විහිදී යෑමක් නෙමෙයි. එවැනි පෙළඹ වීමක් තාම නැහැ. ඒ නිසා රසිකයන් අද අතරමං වෙලා.
Q ඒත් අලුත් සංගීතඥයෙකුගේ කැන්ටාටාවකට හෝ වෙනත් සංධ්වනියකට ඔබට වගේ සැලකිය යුතු තරුණ රසික පිරිසක් ඉඳීවිද?
අපට එවැනි දෙගිඩියාවක ඉඳන් වැඩ කරන්න බැහැ. මොකද තාත්තා 'පිරිනිවන් මංගල්‍යය', 'මානස විල' කරද්දි වුණත් මුලදී විශාල ප්‍රේක්ෂකාගාරයක් හිටියේ නැහැ. කාලය විසින් තමයි එහි ගුණාත්මක බවට අගයක් ලබා දුන්නේ. ඒ නිසා සංගීතඥයා කළ යුත්තේ තමන්ගේ වගකීම ඉෂ්ට කිරීමයි. ඒ අනුව ඔවුන්ට තමන්ගේ වටිනාකම ලැබේවි. අනික නිව්යෝර්ක් වගේ අතිශයින් කාර්යබහුල නගරවල අදටත් පැය දෙක තුන වේදිකාගත වන ඔපෙරා නරඹන විශාල රසික පිරිසක් සිටිනවා. ඒ නිසා මේක රසිකයන්ගේ දැනුම පිළිබඳ ගැටලුවක්. එහෙම නැතුව වාණිජකරණය වීම හෝ කාලය පිළිබඳ ගැටලුවක් නෙමෙයි.
Q පියාගෙන් වියුක්ත වූ ගයත්‍රි කියන සංගීතඥවරිය ගැන ඔබ අද සෑහීමකට පත්වෙනවාද?
මම ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවා කියලා. මොකද මම එහෙම සෑහීමකට පත්වූ දවසට තමයි මගේ අවසානය. මොකද මට එහෙම සෑහීමකට පත්වෙන්න ඕන නම්, එදාට මම නවතිනවා.
Q සංගීතමය පුස්තකාලයක අඩුපාඩුවක් ගැනත් ඔබ දිගින් දිගටම කතා කළා?
ලංකාවේදී මට මුහුණපාන්න සිදුවූ බරපතළම ගැටලුව තමයි නිදහසේ පොතක්පතක් කියවන්න තැනක් නැතිවුණු එක. ඒ නිසා සංගීතමය පුස්තකාලයක් කෙසේ වෙතත් පුස්තකාලයක අඩුපාඩුව නම් මට තදින්ම දැනුණා. ඒ නිසා හොඳ පුස්තකාලයක් වගේම සංගීතය අහන්න පුළුවන් හොඳ තැනකුත් අද අපට අවශ්‍ය කරනවා.
Q සංගීතය පිළිබඳ සිදුකෙරෙන පර්යේෂණ පිළිබඳ අඩුපාඩුවක් ලාංකික වශයෙන් අද පවතිනවා නේද?
ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි ලෝක මට්ටමේදී නම් සංගීතය පිළිබඳ අපි නොසිතන පැතිකඩයන් ඔස්සේ පර්යේෂණ සිදුවෙනවා. නාද රටා, ශබ්ද ආදිය පිළිබඳ අදටත් ඔවුන් පර්යේෂණයේ යෙදෙනවා. සමහරු වාද්‍ය භාණ්ඩවල අලුව පිළිබඳ පමණක්ම පර්යේෂණයේ යෙදෙන අවස්ථා මම දැකලා තියෙනවා. සමහරු තමන්ගේ වාද්‍ය භාණ්ඩයේ වාදනය කරන එක් ස්වරයක් ගැන පමණක්ම පර්යේෂණ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා අද තත්ත්පරයෙන්, තත්ත්පරය පර්යේෂණ අංශය යාවත්කාලීන වෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නෙ.