ළමා පරපුර අතර අතිශය ජනප්‍රිය නිර්මාණකාරිනියක වන ජානකී සූරියාරච්චි මීට පෙර නිර්මාණය කළ පිංචි සිංහල භාෂා අධ්‍යාපනික කාටුනයේ දෙවැන්න 'පිංචි 2' සෙල්ලම් පිල්ලම් නමින් එළිදැක්වීමට සූදානමින් සිටියි. පිංචි පළමුවැන්න ළමා පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, 'පිංචි 2' පිළිබඳව ඇය හා සිදුකළ සංවාදයකි මේ.
Q අලුතෙන් කළ 'සෙල්ලම් පිල්ලම්' ගැන කතා කරමු?
'සෙල්ලම් පිල්ලම්' ගොඩක් කල් ඉඳන් පොඩිත්තන් දෙමවුපිය ගුරුවරුන් ඇඟිලි ගැන ගැන මග බලා හිටි නිර්මාණයක්. ඒත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා හිතුවාට වඩා කල්ගතවුණා. පිංචි 01 දි වගේම මෙහිදීත් සිදුවෙන්නෙ සාම්ප්‍රදායික ඉගෙනුම් ක්රමශිල්පවලින් තරමක් වෙනස්ව බහුමාධ්‍ය (මල්ටිමීඩියා) තාක්ෂණය බොහොම පරිස්සමින් භාවිත කරමින්, පුංචි දරුවන්ගෙ හිත් ලස්සන හීන ලෝකෙකට ගෙනිහින්, ආදරයෙන් සතුටින් සැහැල්ලුවෙන් ඉගැන්වීමයි.
ඒ අතරෙ දරුවෙකුගේ තිබිය යුතු බොහෝ ගුණාංගයන් මේ නිර්මාණයට හානි නොවෙන විදියට පුළුවන් තරම් ඔබ්බනවා. අනිත් නිර්මාණ වගේම සෙල්ලම් පිල්ලම්වලත් මම සැහැල්ලු, සංගීතමය, විනෝදාත්මක ඉගැන්වීම් කලාවක් භාවිත කරනවා. පුංචි දරුවන්ගේ තියෙන ප්‍රභාෂ්වර බව, දඟකාරකම්, වීරත්වය, ස්ථානෝවිත ප්‍රඥාව, සංවේදීබව, ඉදිරිපත්වීම, අනුනට උපකාර කිරීම, නොපසුබට උත්සාහය, වගකීම් දැරීම වගේ යහගුණ ගොඩක්, ඒ වගේම පෞරුෂ වර්ධන සංකල්ප ගොඩක් එකතු කරලා තමයි නිර්මාණය කර තියෙන්නේ.
Q පිල්ලම් වගේ දෙයක් මේ විදියට ඉගැන්විය හැකිද?
ඉතා හොඳින් පුළුවන්. ඇත්තටම පිල්ලම් කියන්නෙ ඒ තරම් ආස හිතෙන හෝ පහසුවෙන් කියාදෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ එක්කම තරමක් පැටළිලි සහගතයි. විශේෂයෙන්ම පුංචි දරුවෙකුට. බොහෝ වැඩිහිටියනුත් ඒවා නිවැරදිව යොදන හැටි දන්නෙ නෑ. ඒ වගේම සමහර අකුරු ලියන විදි, හැඩයනුත් කලින් කලට වෙනස්කම්වලට භාජනය වෙනවා. ඒවායේ 2016 අලුතින්ම නිර්දේශිත හැඩයන් තමයි මෙවර යොදාගෙන තියෙන්නේ. මේ ඔක්කොම හරහා දරුවාට අකුරු ඉගෙනීම වෙහෙසකර කටයුත්තක් නොවී ඉතා විනෝදජනක කටයුත්තක් බවට පත් කරවීමට තමයි මම උත්සාහ කරන්නේ.
Q වර්තමානයේ හැදෙන වැඩෙන පුංචි පරම්පරාව සිංහල භාෂාවට දක්වන ප්‍රතිචාර ?
ඒ ගැන තමයි ගොඩක්ම සතුටු. ඉස්සර සිංහල මට බෑ, එපා, මම ආස නෑ කියපු ජාත්‍යන්තර පාසල්වල පුංචි දරුවනුත් දැන් පිංචි නිසා බොහොම ආසාවෙන් සිංහල ඉගෙනගන්නවා. සිංහල භාෂාවට වර්තමාන දරුවා තුළ ලොකු තැනක් ලැබෙනවා. තවදුරටත් එය ගමේ භාෂාවක් හෝ අභාවයට යන භාෂාවක් නෙමෙයි. ඉස්සර 'මට එච්චර සිංහල බෑ' කියලා ආඩම්බරෙන් කිව් අය “දැන් මට හොඳට සිංහල පුළුවන්* කියලා ආඩම්බරෙන් කියනවා. මේ තමයි භාෂාවක් යම් සමාජයක ස්ථානගත වන ආකාරය.
ඒක බොහොම සියුම්ව තමයි කළ යුත්තේ. ඒ වගේම ඉංග්‍රීසි හෝඩිය කට පාඩමින් කිව්වට සිංහල හෝඩිය කියාගන්න බැරුව සමහර විට පැකිළෙන වැඩිහිටි අප අතරේ, යන්තමින් බහ තෝරන පොඩිත්තන් පවා සිංහල හෝඩිය කටපාඩමින් එක හුස්මට කියනවා දැකීම මට ලොකු සතුටක්. සමහර පුංචි බබාලා අවුරුදු එක හමාරක් වෙන්නත් කලින් හෝඩිය කියනවා. හරි පුදුමයි තමයි. පිල්ලම් ගැනත් එහෙමයි. පාසල් අධ්‍යාපනය හමාර කළ වැඩිහිටි අපෙන් බොහෝ දෙනෙක් හරියට පිල්ලම් ගැන දන්නෙ නෑ. ඒත් මට සතුටුයි, ඉදිරියට බිහිවෙන දරුවන් ඉතා හොඳින් පිල්ලම් දැනගනීවි.
Q පිංචි පළමු නිර්මාණය දරුවන් අතර මෙතරම් ජනප්‍රිය වෙලත් දෙවැනි කොටස නිමකරන්න මෙතරම් කාලයක් ගතවුණේ ඇයි?
ඇත්තටම 'සෙල්ලම් පිල්ලම්' අවසන් කරන්න යෙදී තිබුණෙ 2015 දී. ඒත් මම 2015 මුලදි හදිසියේ සිදු වූ අනතුරකින් අවුරුදු එකහමාරක විතර කාලයක් අසනීපයෙන් හිටියා. කවුරුවත් දන්නෙ නෑ ඒ ගැන. දවසම වැඩ කරලා පුරුදු මට නිකම් ඉන්න බෑනෙ. ඉතින් මම වෛද්‍ය උපදෙස්වලට පිටින් පුළුවන් හැටියට 'සෙල්ලම් පිල්ලම්' වල වැඩ කටයුතු කළා. ඉන් ඇති වූ සංකූලතා මත සෞඛ්‍ය තත්ත්වය තවත් අයහපත් වුණා.
ඒ නිසා 'සෙල්ලම් පිල්ලම්' තවත් කල්ගියා. ගොඩක් දෙනා ගොඩක් කල් ඉඳන් 'සෙල්ලම් පිල්ලම්' එනකල් මග බලා හිටි බව මම දන්නවා. සමහරු ටිකිරි කාර්යාලයට දොස් කියලත් තිබුණා 'සෙල්ලම් පිල්ලම්' ඉක්මනට කරන්නෙ නෑ කියලා. ඉතින් ඒ හැමෝටම හේතුව කියන්නත් බෑනෙ. කොහොම හරි ඒකෙ ඉතිරි වැඩ ටික කරන්න තමයි මම ලංකාවට ආවෙ. වැඩ ඉවර වුණාම ආපහු යනවා.
Q සාම්ප්‍රදායික අධ්‍යපන ක්‍රමයේත්, ඔබේ නිර්මාණාත්මක ක්‍රමයේත් වෙනස කුමක්ද?
මම කවදත් හරි ඉක්මනින් දේවල් ඉගෙනගන්න කෙනෙක්. මම ඉගෙනගන්න හැටියට තමයි මම කියාදෙන්නෙ. මම හැමදාම හිතපු දෙයක් තමයි මේ ලංකාවෙ ඉගෙනුම් ක්‍රමයේදී ගතවන කාලය, ඒ සමහර දේවල් උගන්නන්න සහ තේරුම්ගන්න ගන්නා වෙහෙස. ඒ වගේම සුළුවෙන් සරලව කියාදෙන්න පුළුවන් සමහර දේවලට සංකීර්ණ වචන යොදාගෙන බරපතළ විදියට කියාදෙන්න උත්සාහ කරනවා. ඒ බොහොමයක් දේවල් ඊට සරලව කියාදෙන්න පුළුවන්. ඊට යොදාගන්නා වචන, ක්‍රම ශිල්ප, නිර්මාණාත්මක බව ආදී දේ තමයි ඊට මූලික වෙන්නෙ. ඒක කොයිතරම් සාර්ථකද කියන එක 'පිංචි 1' තුළින් ඉතා හොඳින් ප්රත්යක්ෂ වුණා.
Q ඔබේ නිර්මාණවලට රටේ ඇති ජනප්‍රියත්වය හා නිර්මාණ ගුණය දැක දැකත් ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඒවා අගයනවා දකින්න නෑ නේද ?
ඒක සාමාන්‍ය දෙයක්. කවුරුවත් මගේ නිර්මාණ ඇගයිය යුතුයි කියලා මම හිතන්නෙ නෑ. කොහොමටත් මම බොහොම නිහඬව පාඩුවේ වැඩ කරන කෙනෙක්. ක්ෂේත්‍ර කිහිපයකම නියැළුණත් එක ක්ෂේත්රයකවත් එතරම් ගැවසෙන කෙනෙක් නෙමෙයි. අනික් අය කරන්නෙ මොනවාද කියන්න මම දන්නෙත් නෑ, හොයන්නෙත් නෑ. මගේ වගකීම මට උපතින් ලැබී තිබෙන හැකියාවන් යොදා හැකිතාක් දරුවන් වෙනුවෙන් නිර්මාණ බිහි කිරීමයි. ඒකට මට පුංචිම ස්තුතියක්වත් අවශ්‍ය නෑ. බලාපොරොත්තුත් නෑ. ඒවා බලාපොරොත්තු වුණොත් හිත කිළිටි වෙනවා. ප්‍රශංසා අගය කිරීම් කියන්නෙ මට කවදත් පුරුදු ඒවා නොවෙයි. මෙච්චර දුර ආවෙ ප්‍රශංසා ලැබිලා නෙමෙයිනෙ. කවුරුත් එහෙම කළයුතුත් නෑ.
මම මේ නිර්මාණ කරන්නෙ ඉන් දරු පරපුරට ලැබෙන යහපත දකින නිසයි. නැත්නම් මට ලංකාවට ඇවිත් මෙතරම් කරදර වෙලා, නිදි වරාගෙන දුක් විඳගෙන අසනීපත් වෙවී වැඩ කරන්න ඕනෙ නෑ, ඇමෙරිකාවට වෙලා සතුටින් විවේකයෙන් ඉන්න පුළුවන්. ඒත් මට එහෙම ඉන්න බෑ. එහෙ ගියත් වැඩ කරන්නමයි හිත.
Q එතකොට සම්මාන?
හොඳ නිර්මාණ සම්මානවලින් ප්‍රතික්ෂේප වෙන එක හැම ක්ෂේත්රයකම වගේ වෙනවා. පිංචි, සිංදුපීඩියා, ටිකිරි ගී, දොයි අම්මා, සමනලුන්ට ටිකක් තියා, දැනුම මිනුම මේ සියල්ල සම්මානවලින් ප්‍රතික්ෂේප වුණු නිර්මාණ. මුලදි නම් දුක හිතුණා. ඒත් දැන් එහෙම නෑ. මගේ හිත ඊට ගොඩාක් ඈත තියෙන්නෙ. මගේ හිත අහස වගේ. මගේ නිර්මාණ බාහිර අනික් හැමදේකටම නිරපේක්ෂයි.
ස්තුති, ප්‍රශංසා, සම්මාන නිර්මාණකරුවෙකුට පෞද්ගලිකයි. ලැබුණොත් සතුටක්, නොලැබුණත් කමක් නෑ. ඇත්තටම සිදුවිය යුත්තේ මම පුද්ගලයෙකු වශයෙන් සම්මාන දිනීම නෙමෙයි, සම්මාන දිනිය හැකි දක්ෂ වීර සංවේදී දරු පරපුරක් නිර්මාණය කිරීමයි. ඒකට මට සම්මාන උපහාර කොහෙත්ම අවශ්‍ය නෑ. මගේ සිංහල පොත් දෙසිය ගණනටම සම්මාන ලැබිලා තියෙන්නෙ දෙකකටයි. ඒත් මම හැමදාම ලිව්වනේ.
ඇත්තටම සම්මානයක් කියන්නෙ මේ වෙහෙසකර ගමනේ අතරමගදි ලැබෙන පුංචි බීම වීදුරුවක් විතරයි. ඒවා නොලැබුණාට ගමන අඩපණ වෙන්නෙ නෑ. මම මට හැකි පමණින් මට ලැබී තියෙන හැකියාවන් සියල්ලෙන්ම දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. මම මෙතෙක් දුර ආවෙ මොනවත් ලැබිලා නෙමෙයි. කලාව තුළින් මම ලැබූ දේට වඩා මට නැති වූ දේ වැඩියි. මට තියෙන්නෙ එක අරමුණයි. ඒ දරු පරපුරේ යහපත. මට පුළුවන් තරම් කල් කරනවා, ඇති කියලා හිතුණු දාට නවත්වනවා.
Q කාටූන් වගේම ගීතත් දරුවන් අතර බොහොම ජනප්‍රියයි නේද?
මම කරන නිර්මාණවලදී මම සීමාවන් තියාගන්නෙ නෑ. තනුව, සංගීතය යෙදීමේදීත් මම ඒ ඒ සංකල්පනාව අනුව දරුවාගේ සිතට ලැබිය යුතු භාවය හෝ චමත්කාරය තීරණය කරනවා. මම හිතන්නෙ ඉස්සර කරුණාරත්න අබේසේකරයන්ගේ කාලයේ ළමා ගීතවල ඒ ප්‍රභාෂ්වර ලක්ෂණය තිබුණා. පසුකාලීන ළමා ගීතවල තිබුණේ වැඩිපුර වැඩිහිටි බවක්, වැඩිහිටි අදහස්. ඒවා දරුවන් තුළට කාවද්දන්න ආයාසයක් ගන්න වෙනවා. ඒ නිසා වෙන්න ඇති තවමත් කරුණාරත්න අබේසේකරයන්ගේ ගීත අද දරුවන් අතරේ පවා ජනප්‍රිය. ඒ ගීතවල 'ළමාකම' තියෙනවා.
Q ඔබේ නිර්මාණවලින් දරුවන්ගේ අධ්‍යාපනයට විශාල රුකුලක් ලැබෙනවා. මේ සඳහා රටෙන් හා බලධාරීන්ගෙන් ලැබුණු සහාය මොන වගේද ?
දන්නා තරමින් නම් නෑ. සහාය අවශ්‍ය වූ අවස්ථාවල නොලැබීත් තියෙනවා. ඒ ගැන කනගාටුයි. පුංචි ළමයි කොහොමහරි ඉක්මනින් ඉගෙනගන්නවාට සමහරු කැමති නෑ වගේ මට දැනිලා තියෙනවා. ඒකට කමක් නෑ. චුට්ටක් දුක හිතුණා විතරයි. 'පිංචි 1' හදද්දි මම අසරණ වුණු අවස්ථා බොහොමයි. ඇඬූ අවස්ථා බොහොමයි. ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ. හොඳ වෙලාවට මම වැඩ කරන්නෙ බොහොම ස්වාධීනව. ඉස්සර පුංචි කාලෙට වඩා මම දැන් ශක්තිමත්. අවශ්‍ය වන සියලුම සහායට මගේ කාර්යමණ්ඩලය, මගේ පවුලේ අය, යාළු හිතවතුන් මගේ ළඟම ඉන්නවා. මට වචනයෙන් හෝ පුංචිම උදව්වක් හෝ කළ සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
Q මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවාද?
එහෙම දෙයක් නම් ලැබිලා නෑ. ඒකට කමක් නෑ.
Q ලංකාවේ කාටුන් නිර්මාණ බිහිවෙනවා දකින්න අඩුයි නේද?
කාටූන් තාක්ෂණය ඉගෙනගන්නා හැමෝටම කාටූන් කරන්න පුළුවන් තමයි. ඒත් රසවත්ව සාර්ථකව කරන එක ගොඩක් අමාරුයි. උදාහරණයකට කිව්වොත් ලංකාවෙ වසරකට සජීවීකරණ පාඨමාලා අවසන් කරන ඇනිමේටර්වරුන් දහසක් පමණ පිටවෙනවා. ඒත් ඒ තරමට නිර්මාණ බිහිවෙන්නෙ නෑනෙ. තාක්ෂණය ඉගෙනගත් පමණින් කරන්න බෑ. විශේෂයෙන්ම අධ්‍යාපනික නිර්මාණ බොහොම නීරසයි. ඒවා රසවත් කරන්න ගොඩක් අමාරුයි. රසවත් නොවුණොත් දරුවන් බලන්නේ නෑ. එතකොට අපි හදන එක නිෂ්ඵලයි.
Qකවදාද මේ 'සෙල්ලම් පිල්ලම්' එළිදකින්නෙ?
අද (16දා) තමයි එළිදක්වන්න හිටියෙ. ඒත් ඩිවීඩි තැටි ලංකාවට එන්න ටිකක් පරක්කු වුණා. ඒ නිසා තව දවස් දෙක තුනක් පහුවෙයි. කොළඹ පොත් ප්‍රදර්ශනයේ ඩී-172 කුටියේදී තමයි එළිදකින්නෙ. මේ නිර්මාණවලට පුංචිම දෙයකින් හෝ දායක වුණු හැමෝටමත්, මාව නිරතුරුවම ධෛර්යමත් කරන ප්‍රේක්ෂක දෙමවුපියන්ටත් බෙහෙවින් ස්තුතියි.
සිතුකි ඉහන්සා