ප්‍රේක්ෂකාගාරය සසල කළ හැකිව තිබුණු කාළ
'කාල' සිනමාපටයේ කතාව අධ්යක්ෂ සුජීව ගූණරත්න අතට පත්වීමත් සමග එය රූගත කිරීම සඳහා කැමරා ශිල්පියෙකු සහ රංගන ශිල්පීන් සොයා යෑමට ප්‍රථම එම කතා සංකල්පය හොඳ තිර නාටකයක් ලෙස සකස් කිරීමට සහ හොඳ රූප රචනයකට වෙහෙස වූවා නම් එම සිනමාපටය මීට වඩා ප්‍රේක්ෂකාගාරය සසල කරන සිනමා නිර්මාණයක් කරගැනීමට හැකිව තිබිණි යැයි සිතිය හැකිය.
'කාල' යනු මෙරට ජනතාවගේ සිත් තුළ තදින් බැඳී තිබෙන, අප ජාතියට අනන්‍ය වූ මෙරට වාරි කර්මාන්ත වටා ගෙතී ඇති කතාවකි. අප ඉතිහාසය පිළිබඳ පිරික්සීමේදී වෙනත් රටවල ජනතාව දිවි ගෙවූ ජනාවාස, ගම්මාන, ගංගා නිම්න ආශ්‍රිතව නිර්මාණය වෙද්දී
ශ්‍රී ලංකාවේ ජනාවාස බහුලව බිහිව ඇත්තේ වැසි දිය එක් රැස් කර නිර්මාණය කළ වැව් ආශ්‍රිතව බව හඳුනාගත හැකිය. එය මෙරටට බුදුදහම පැමිණීමත් සමග %වැවයි දාගැබයි^ ලෙස අප සංස්කෘතිය හා බද්ධ වන්නේ කෘෂිකාර්මික සමාජයක් හැදියාව සමග සමාජගත වීම විද්‍යමාන කරමිනි.
ශ්‍රී ලාංකිකයාගේ ඇට, මස්, මිඳුළු හා රුධිරය සමග බද්ධව පැවැති වාරි සංස්කෘතිය අලලා සිනමා නිර්මාණයක් කිරීමේදී අධ්යක්ෂ සුජීව ගුණරත්න මෙයට වඩා සැලකිලිමත් බවක් පළ කළේ නම්, මෙම විෂය අලලා සදා නොමියෙන සිනමා නිර්මාණයක් බවට පත් කර ගැනීමේ හැකියාව තිබූ බව ගම්‍ය වන්නේ, කහ චීවරය හැඳි භික්ෂූන් පවා සිනමා ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටි නිසාම නොව, අපගේ හෘද ස්පන්දනය හඳුනාගත් කතා සංකල්පයක් ඊට වස්තු බීජය කරගෙන සිටි නිසාවෙනි.
'කාල' සිනමාපටය ආරම්භයේදී සිය මස්සිනා සහ නෑනා ගැබ්ගත් බිරිඳක් සිටින පවුලක සුවදුක් බැලීමට පැමිණෙන අවස්ථාවේදී අප තුළ මෙය ඓතිහාසික කතාවක් පසුබිමි කරගත් සිනමාපටයක් බවට හැඟීමක් ඇති නොවේ. ඒ එහිදී භාවිත කළ බස් වහර හේතුවෙනි. ඓතිහාසික සිනමාපටයක් නිර්මාණය කිරීමේදී අවම වශයෙන් අප ඓතිහාසික නවකතාවක හෝ වේදිකා නාට්‍යයක ශ්‍රවණය කර තිබූ වාග් විලාසයක් හෝ භාවිත කළේ නම් ප්‍රේක්ෂකාගාරය මනසින් අතීතය කරා රැගෙන යෑමට මෙහි අධ්යක්ෂවරයාට හැකියාව තිබිණි. එම නිවස අනුරාධපුර යුගය තරම් ඈත ඉතිහාසයකට අයත් නිවසක් ලෙස ඉදිරිපත් කිරීමටද මෙහිදී කලා අධ්යක්ෂවරයා අසමත් වී තිබේ. එම කුඩා පැල්පතේ එහි පැමිණෙන්නවුන්ට හිඳ ගැනීමට ආසන නොතිබූ පමණින් එය දුගී පැලක් බව පළ කරනවා විනා එය අතීත යුගයේ නිවසක් බව ඉන් පළ නොකෙරේ.
අනුරාධපුර යුගයේ නටබුන් බවට පත්ව තිබියදී අද අපට දක්නට ලැබෙන දුටුගැමුණු මාලිගයේ දියුණු ජල සංස්කෘතියක් පෙන්වන එහි කැසිකිලි පද්ධතියට අනුව එම යුගයට පසුව ඇති වූ ධාතුසේන යුගයේ තිබෙන ගැමි දුගී නිවෙසක හෝ මෙයට වඩා ප්‍රසන්න තත්ත්වයක් දැකිය හැකිව තිබිණි. මෙහි ගෙහිමියා කිසිදු වෘත්තියක නියැළීමකින් තොර අලස පුද්ගලයෙකු වුවද, ගැබිනියක සිටින නිවසක තිබිය යුතු සෞඛ්‍ය සම්පන්න බවක් හෝ ඉන් පළ නොවේ. මෙය ඓතිහාසික කතාවක විශ්වසනීයත්වය බිඳ ගැනීමක් ලෙසද හැඳින්විය හැකය. අතීතයේ ගැබිනියක සිටි නිවසක වැදුම් ගෙයක් සූදානම් කර තිබිණි. එහි වහලේ පරාලයක දිගු කඹයක් ගැටගසා තිබුණේ දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාවට ගැබිනියට එය අල්ලාගැනීමට පහසුව පිණිසය. මෙහි කතා අධ්යක්ෂවරයාට පැරණි 'වැදුමි ගෙය' පිළිබඳ හෝ අවබෝධයක් නොතිබූ බවක් මින් පළ වේ.
එසේම වනගත නිරුවත් මිනිසෙකු පිළිබඳ ගැමි කාන්තාවන් කතා කරන අවස්ථාවෙන් පසුව තිරය මත පෙන්වන ඩබ්ලිව්. ජයසිරිගේ අඩනිරුවත් ඇඳුමද කියාපාන්නේ අනුරාධපුර යුගයේ සිදුවීමක් නොව කොළඹ යුගයේ සිදුවීමකි. ඓතිහාසික සිනමාපටයකදී තිර නාටකය සාර්ථකව නිර්මාණය වීමෙන් පසු අවධානය යොමු විය යුත්තේ එහි ඓතිහාසික බව මතු කරන කලා අධ්‍යක්ෂණය පිළිබඳවය. එහිදී කලා අධ්යක්ෂවරයා මෙම වස්තු බීජය මෙරට පළමු රාජ යුගය එනම් අනුරාධපුර යුගයේ වූ සිදුවීමක් බව බව අමතක කර ඇති සෙයක් පෙනේ. අනුරාධපුර යුගය සහ නුවර යුගය අතර ඇති විශේෂත්වය කලා අධ්යක්ෂවරයා හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. එහිදී ඓතිහාසික නිර්මාණයකදී කලා අධ්යක්ෂවරයාගෙන් විය යුතු මෙහෙය පිළිබඳ අධ්යක්ෂවරයාට අවබෝධයක් තිබූ බවක් පළ නොවේ. සිනමාපටයට අයත් යුගය සහ වාරි විෂය පිළිබඳ අධ්යක්ෂ සුජීව ගුණරත්න දැනුවත් බවකින් යුතුව සිනමා නිර්මාණයට එළඹි බවක් 'කාල' සිනමාපටයෙන් විද්‍යමාන නොවේ.
එදා පැවැති සිංහල බෞද්ධ සමාජයේ භික්ෂුවට තිබුණේ ගෞරවනීය පිළිගැනීමකි. සමාජ වැදගත්කමකි. විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක ලෙස දිවිය ගතකර, පසුව උපැවිදිව සිහසුනට පත් ධාතුසේන වැනි රජෙකුගේ පාලනය යටතේ බෞද්ධ භික්ෂුවකට ගෞරවනීය තත්ත්වයක් තිබිය යුතු වුවද, එවන් තත්ත්වයක් මෙහි බෞද්ධ භික්ෂුව වෙතින් පළ නොවේ. මෙහි බොදු භික්ෂුව වෙතින් පළවනුයේ වළගම්බා රාජ යුගයේ බැමිණිතියාසායට ගොදුරු වූ භික්ෂු වේශයකි. කලට වැසි නොලැබී නියඟයක සිරිය පළ කිරීමට මෙහිදී අධ්යක්ෂවරයාට අවශ්‍ය වී තිබුණා විය යුතුය. එහෙත් එය ප්‍රේක්ෂකාගාරයට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීමට අසමත් වූ බවක් පෙනේ.
එය හොඳින්ම කැපී පෙනෙනුයේ මෙහි ප්‍රධාන චරිතය වූ %කාල^ අතුරුදන් වීමෙන් පසු, එනම් %කාල^ මියගිය ආකාරය බෞද්ධ භික්ෂුවගේ මුවින් පළමු වරට හෙළි කරන අවස්ථාව ප්‍රේක්ෂකාගාරයට කිසිදු කම්පනයක් ඇති නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීමය. මෙයට සමාන කතාවක් මුහුදු මට්ටමින් පහත පිහිටි රටක් ලෙස පිළිගැනෙණ ඕලන්දයේ සිදුව තිබෙන අතර, එම රට වටා ඉදිකළ තාප්පයෙන් ජලය කාන්දු වෙද්දී එය රාත්‍රී කාලයක දුටු එරට පාසල් සිසුවෙකු එම ජල කාන්දුව නැවැත්වීම සඳහා එම තාප්පයට පිට තබාගෙන රාත්‍රිය පහන් කළ කතාවක් යුරෝපය පුරා පැතිර තිබේ. එම කතාව අසන විට අප තුළ ඇතිවන කම්පනය වැනි කම්පනයක් හෝ %කාල^ සිනමාපටයේ %කාල^ වැවේ ජල කාන්දුව දැක එය නැවැත්වීම සඳහා පාසල් වියේ දරුවෙකු ලෙස සිය සිරුරෙන් එම සිදුර වසා තබන ආකාරය ඉදිරිපත් කිරීමට මෙහි අධ්යක්ෂවරයා දිය යට දර්ශන පවා යොදාගෙන ඇතත් අසාර්ථක වී ඇත. මෙම සිදුවීම හද කම්පා වන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අධ්යක්ෂවරයා සමත් වූයේ නම් එම සිදුවීමම මෙම සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා තබන, ආදායමක් උපයන සිනමා පටයක් බවට පත් කිරීමට සමත් වනු ඇත. මෙහි අධ්යක්ෂවරයා ප්‍රේක්ෂකයාගේ හැඟීම් අවදි කිරීමට තිබූ කදිම අවස්ථාවක් සාර්ථක තිර නාටකයක් රචනා නොකිරීමේ වරදින් පැහැරහැර ඇති බවක් පෙනේ.
ඒ ඉතා විශ්ෂ්ට කතා සංකල්පයකට හොඳ තිර නාටකයක් රචනා නොවීමේ ආදීනව ලෙස සඳහන් කළ හැකි. සිනමාව පිළිබඳ හදාරන්නෙකුට සාර්ථක තිර නාටකයක් රචනා නොවීමේ දුර්විපාකය ලෙස උදාහරණයකට මෙම සිනමාපටය පෙන්විය හැකිය. එදා අසූව දශකයේදී මාදුරු ඔය යෝජනා ක්‍රමයේදී හමු වූ පැරණි වැව් සොරොව්වේ නිමාව පිළිබඳ එකල යුරෝපීය ජාතීන් පවා කතා කළේ ශ්‍රී ලංකාවේ තිබූ වාරි සංස්කෘතියේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳවය. එවන් තත්ත්වයක් යටතේ මෙහි තිර නාටකයට අප වැවක් නිර්මාණය කිරීමේදී භාවිත කළ විස්මිත වාරි තාක්ෂණයේ අංගයන්ද එක් කර නිර්මාණය වූයේ නම් මෙම සිනමාපටයට පහසුවෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදය පවා දිනාගැනීමට හැකියාව තිබිණි. එහෙත් කැලණිය සරසවියෙන් බිහි වූ උපාධිධරයෙකු වන සුජීව ගුණරත්නගේ අවධානයට එය යොමු නොවීම සිංහල සිනමාවේ පාප කර්මයක් විය යුතුය.
එදා ගජබා රජුගේ යුගයේදී සොලී රටින් මෙරටට පැමිණ අපගේ ජනතාව දොළොස් දහසක් රැගෙන සොලී රට ගියේ එරට ජනතාව පෙළූ ජල ගැටලුවට විසඳුමක් ලෙස සිංහලයන් ලවා වැව් ඉදිකිරීමට බව කියන පුවත හෝ මෙහි අධ්යක්ෂවරයා අවබෝධ කර ගෙන තිබුණේ නම්, මෙම විනාශය 'කාල' සිනමාපටයට සිදු නොවන්නට ඉඩ තිබිණි.
ඓතිහාසික සිනමා නිර්මාණයක් කිරීමට ප්‍රථම අවම වශයෙන් ඉතිහාසඥයෙකුගේ ඇසුර ලැබීමට අධ්යක්ෂවරයා පෙළඹුණේ නම් 'කාල' සිනමා නිර්මාණය මෙරට ජනතාව පමණක් නොව අවම වශයෙන් අප අවට පිහිටි %සාක්& රාජ්‍යයන්හි ජනතාව හෝ සසල කරවන සිනමා නිර්මාණයක් බවට පත් කිරීමට ඉඩ තිබිණි.
මෙහි වනය බව හැඟවීමට එකම කුරුල්ලෙකගේ හඬ කිහිප වරක් යෙදීම නිසාම එහි කෘත්‍රිම බවක් ඇතිව තිබෙනු දක්නට ලැබිණි. සංගීතයේ, සංස්කරණයේ හෝ කැමරාකරණයේ විශේෂයෙන් සඳහන් කළ යුතු ගුණාංගයක් කාල සිනමාපටයෙන් දක්නට නොතිබිණි. එහෙත් දක්ෂ රංගන ශිල්පීන් රැසක් යොදාගෙන තිබුණද ඔවුන්ගෙන් උපරිම ඵල නෙළා නොගත් බව නම් කැපීපෙනුණි.
සිනමා නිර්මාණයකදී නළු නිළියන් රඟපාන්නේ නම්, කැමරා ශිල්පියා එය රූපගත කරන්නේ නම්, සංගීත අධ්යක්ෂවරයා, සංගීත අධ්යක්ෂවරයා සංගීතය සපයන්නේ නම්, සංස්කාරකවරයා එහි දර්ශන කපා සකස් කරන්නේ නම් සිනමාපටයකදී අධ්යක්ෂවරයාගේ කාර්යය කුමක් විය යුතුද? යන බටහිර සිනමාවේ ප්‍රකට ප්‍රශ්නයට 'කාල' සිනමාපටය හොඳ උදාහරණයකි.
ගාමිණී සරත් ගුණවර්ධන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





