රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන 'හිම තාරකා', අද (16දා) සිට කළුතර 'චිත්‍රා' සිනමා ශාලාවේදී තිරගත වේ. ජගත් චමිල, අමරිසිරි කලංසූරිය, නදී චන්ද්‍රසේකර, විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.
මීට පෙර රොඩ්නි අධ්‍යක්ෂණය කරනු ලැබූවේ 'ඉර සේවය' චිත්‍රපටයයි. සිය අලුත්ම චිත්‍රපටය වන 'හිම තාරකා' චිත්‍රපටයේ පවතිනු විශේෂත්වයන් මොනවාද? අපි රොඩ්නිගෙන්ම විමසුවෙමු.
Q 'හිම තාරකා' තිරගත වෙන්නේ ගැප් චිත්‍රපටයක් විදිහට?
ඔව්. අපි දන්නවා ගැප් චිත්‍රපටයක් කියන්නේ චිත්‍රපට දෙකක් අතර ඇති වන කාලය යොදාගෙන තිරගත කරනු ලබන චිත්‍රපටයකටයි. පසුගිය කාලයේ මෙවැනි චිත්‍රපට කීපයක්ම තිරගත වුණා. 'ඉර සේවය' චිත්‍රපටය වුණත් තිරගත වුණේ ඒ විදිහටයි.
Q ඇයි ගැප් චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටය තිරගත කරන්නේ?
සිනමාවේ අද පවතින තත්ත්වය අනුවයි එහෙම කරන්න වෙලා තියෙන්නේ. චිත්‍රපටයක් තිරගත කිරීමට දිගු කාලයක් බලා ඉන්න සිද්ධවෙනවා. ඒක නිෂ්පාදකවරයාගේ පැත්තෙන් අවාසියි. බොහෝ කාලයක් මුදල් හිරකරගෙන බලා ඉන්න සිද්ධවෙනවා. එහෙම බලා ඉඳලා තිරගත කළත් ඇතැම් විට ඒ චිත්‍රපටයට ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබුණොත් තවත් පාඩු වෙනවා.
අපි කොච්චර කෑ ගැහුවත් අද ලංකාවේ චිත්‍රපටවලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට ගෙන්වා ගැනීම. ඔවුන් ඇත්තටම සිනමාහල්වලට ඇදෙනවා අඩුයි. ඉස්සර නම් චිත්‍රපටයක් සාමාන්‍ය සාර්ථකත්වයන් ලැබුවත් නිෂ්පාදකට තමන්ගේ මුදලවත් බේරාගන්න පුළුවන්. ඒත් දැන් ඒ තත්ත්වය ඉතාම බරපතළයි.
'හිම තාරකා' මම ගැප් චිත්‍රපටයක් හැටියට ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසයි. නිර්මාණකරුවෝ හැටියට අපිට යමක් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒත් අපට මුහුණපාන්න තියෙන අභියෝග නිසා ඒ අවශ්‍යතාවට විවිධාකාරයෙන් සීමා පැනවෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන වියදම්. විශාල ගණන් වියදම් කරලා චිත්‍රපට නිෂ්පාදනය කළාට, එම චිත්‍රපට විශාල ආදායම් ලැබුවට ඒ වියදමේ හැටියට ලාබ ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ආදායම් වාර්තා තැබූ චිත්‍රපට නිෂ්පාදකවරු පවා ආපහු චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට කලින් දෙපාරක් හිතන්නේ.
Q 'හිම තාරකා' නිෂ්පාදනය වෙන්නේ කොහොමද?
'හිම තාරකා' අඩු වියදමකින් නිපද වූ චිත්‍රපටයක්. විශාල ලාභයක් ලැබීමේ අරමුණක් නැහැ. කාලයක් තිස්සේ තමයි රූපගත කිරිම් කෙරුණේ. අධ්යක්ෂවරයෙක් හැටියට 'හිම තාරකා' රූපගත කරද්දී හැමවිටම ප්‍රබල සිදුවීම් රැගත් අවස්ථාඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තා. මේ චිත්‍රපටය පුරාම දිවයන්නේ කුතුහලය. ඇතැම් විට ප්‍රේක්ෂකයාට එය විවිධාකාරයෙන් දැනෙන්නට පුළුවන්. එය ඔස්සේ ප්‍රේක්ෂකයා චිත්‍රපටය කෙරේ ඇදබැඳ තබා ගන්නයි අපි උත්සාහ කළේ.
Q කතන්දර සිනමාවද ලාංකේය සිනමාවට ගෝචර වෙන්නේ?
තිස්ස අබේසේකරයන් වරක් සඳහන් කළ පරිදි තවමත් අපේ ප්‍රේක්ෂකයන් කැමති කතන්දර සිනමාවකට. ඒ නිසා කුතුහලය තබා ගනිමින් කිසියම් කතාන්දරයක් කීමේ අවශ්‍යතාවයි මට තිබුණෙත්. එය ඔස්සේ චරිත ගොඩනගන්නටයි මම උත්සාහ ගත්තෙත්.
Q ඔබේ නිර්මාණ බොහොමයකටම ජගත් චමිල සම්බන්ධ වෙනවා?
ඔව්. ජගත් චමිල ගැන නම් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඔහු මගේ මුල්ම ටෙලි නිර්මාණ කිහිපයකම රඟපෑවා. 'හතේ වසම' ටෙලිනාට්‍යයේදී ඔහු ප්‍රථම වතාවට නැගී එන නළුවා සම්මානයටත් නිර්දේශ වුණා. ඇත්තෙන්ම ජගත් දක්ෂයෙක්.
එදා ඔහුට සම්මානය නොලැබුණාට පසුකාලයක නිව්යෝර්ක් සම්මාන උලෙළේ හොඳම නළු සම්මානය ලැබීමෙන් ඔහු දක්ෂයෙක් වග මුළු ලොවටම ප්‍රකට වුණා. 'හිම තාරකා' හි ඔහුට මුල් ජවනිකා සඳහා රඟපාන්න තිබුණේ වියපත් චරිතයක්. එහිදී ඔහු එම චරිතයට කළ කැපවීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම සෙසු රංගන ශිල්පීන් ශිල්පිනියන් දුන් සහයෝගයත් වැදගත් වෙනවා.
Q ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ටෙලිනාට්‍ය කලාවෙන් ඈත්වෙලා නේද?
ඇත්තටම දැන් ටෙලිනාට්‍ය කලාවෙන් තෘප්තියක් ලබන්න බැහැ. එය බරපතළ ලෙස වාණිජකරණය වෙලා. ඒ කාලේ ටෙලිනාට්‍යයක් කළහම ප්‍රේක්ෂකයන්ට මතකයි. දැන් දවසකට නාළිකාවල විකාශය වන ටෙලිනාට්‍ය ප්‍රමාණය බැලුවහම ඒවා මතක තියාගන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. ඒවා මතකයේ රැඳෙන්නෙත් නැහැ. අපි ඒ කාලේ ටෙලිනාට්‍ය හැදුවේ සල්ලි හොයන්න නෙමෙයි. නිර්මාණ ශිල්පියාට තෘප්තියක් ලැබෙන විදිහටයි. අද අඩුම තරමේ ඇතැම් ටෙලිනාට්‍ය විකාශය කිරීමේදී නාමාවලියවත් දකින්න නැහැ.
ඒ කාලයත් දැන්වීම්වලට වෙන් කරලා සල්ලි හොයන්නයි බලන්නේ. එක් ටෙලිනාට්‍යයක් අවසන් වී ඊළඟ ටෙලිනාට්‍යය ආරම්භ කිරීම දැනගන්න වෙන්නෙත් ටෙලිනාට්‍යයේ නම කොණක දැම්මට පස්සෙයි. ටෙලිනාට්‍යයට සම්බන්ධ ශිල්පීන්ගේ නමවත් නැති ටෙලිනාට්‍ය හදලා නිර්මාණකරුවෙකුට තෘප්තියක් ලබන්න පුළුවන්ද?
Q වත්මන් බොහෝ විචාරකයන්ගේ මතය ලාංකේය සිනමාව කලාත්මක භාවිතයට වැඩි නැඹුරුතාවක් දක්වන බවයි?
අපි ඒ කාලේ වාණිජ සිනමාව කිව්වේ එකම අච්චුවේ කතාවක් සහ වෙනත් විවිධාංග රැගත් සිනමාවකට. ඒවායේ වීරයා, වීරවරිය, දුෂ්ටයා, නැටුම් ගැයුම් තිබුණා. ජනප්‍රිය නළු නිළියන් හිටියා. අද ලංකාවේ සිනමාවේ විතරක් නෙමෙයි. හින්දි වාණිජ සිනමාවේ පවා ඒ රටාව දැන් වෙනස් වෙලා.
දැන් පෙන්වන බොහෝ හින්දි චිත්‍රපටි අරගෙන බැලුවොත් හදවතට ස්පර්ශ වන ආකාරයේ රටාවක් තමයි දකින්න ලැබෙන්නේ. ඇතැම් විට එදා සිටි ප්‍රේක්ෂකයන් නෙමෙයි අද චිත්‍රපට නරඹන්නේ. අධ්‍යාපනය, තාක්ෂණයේ දියුණුව එක්ක අලුත් පරපුරේ රසිකත්වය වෙනස් වෙලා. ඒකයි කලාත්මක සිනමාවකට නැඹුරුවක් දකින්න ලැබෙන්නේ.
Q පරිකල්පනයක් ඇති වාණිජ සිනමාකරුවන්ගේ අර්බුදයකුත් අද පවතිනවාලු නේද?
කිසිම චිත්‍රපටයක් වාණිජ මට්ටමකින් තොරව තිරගත කරන්න බැහැ. සිනමාව කියන්නේ විශාල මුදලක් වැය වන කර්මාන්තයක්. ඒ නිසා මොන චිත්‍රපටය හැදුවත් එයින් අඩුම තරමේ ගිය මුදලවත් පියවාගත යුතුයි. එහෙම නැත්නම් ආපහු ඒ වගේ චිත්‍රපට හදන්න නිෂ්පාදකවරු නොඑන්න පුළුවන්.
හැබැයි ඒ කාලේ බොහෝ නිෂ්පාදකවරුන් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගත හැකි චිත්‍රපට නිෂ්පාදනය කර අතරමැදට කලාත්මක යැයි කියන සිනමා නිර්මාණත් ඉදිරිපත් කළා. ඒ නිසා ඔවුන්ගේ එම කලාත්මක යැයි කියන චිත්‍රපට අසාර්ථක වුණත් ඔවුන් යළිත් එම කර්මාන්තයේ නිරත වුණා. පරිකල්පනයක් ඇති වාණිජ චිත්‍රපට අධ්යක්ෂවරුන් බිහිනොවෙනවා යන චෝදනාව එල්ලවෙන්නේ චිත්‍රපට කර්මාන්තය කඩා වැටී ඇති නිසයි.
පාඩු ලබන, ප්‍රේක්ෂකයන් සහභාගී නොවන, කඩාවැටුණු සිනමාවකට වාණිජ චිත්‍රපට අධ්යක්ෂවරුන් එයි කියලා හිතන්න පුළුවන්ද? ඒ කාලේ චිත්‍රපට මුදල් සෙවූ නිසා කර්මාන්තයක් හැටියට සිනමාවට විශාල පිරිසක් එකතු වුණා. ඔවුන් අතරින් බොහෝ සාර්ථක වාණිජ චිත්‍රපට අධ්යක්ෂවරුන් බිහිවුණා. අද චිත්‍රපට හදන්නේ චිත්‍රපටවලට දිවි හිමියෙන් ආදරය කරන, නිර්මාණයක් නොකර සිටින්නට බැරි තරුණ පිරිසක්. ඔවුන් නොහිටින්නට ලංකාවේ සිනමාවේ මේ ටිකවත් ඉතුරු නොවෙන්න තිබුණා.
Q නව තාක්ෂණයේ ආගමනයත් සමග සිනමා ශාලාවට පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩුවෙලාද?
හොඳ අධ්යක්ෂවරයෙකුගේ දක්ෂකම මනින්නට තියෙන හොඳ අවස්ථාවක් තමයි මේ. මේ තියෙන අභියෝග මැදින් සිනමාකරුවෙකුට පුළුවන් නම් සිනමාහල්වලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්නා සිනමා කෘති නිර්මාණය කරන්න, ඔහු සැබෑම දක්ෂයෙක්.
Q සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ඔබේ අදහස මොන වගේද?
අනිවාර්යයෙන්ම සිනමා ශාලා ඩිජිටල්කරණය විය යුතුයි. එහෙම නොවුණොත් එම සිනමා ශාලා කාලයකදී ඉබේම වැසී යාවි. ඒ පැරණි රීල් ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කිරීමක් දැනට ලෝකයේ නොවෙන නිසයි.
ඉන්දියාවේ සුප්‍රකට චිත්රාගාරවල දැන් රීල් ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කිරීම නවත්වා දමලා. මුම්බායිහි මා දන්නා තරමින් එකම එක චිත්‍රාගාරයක පමණක් පැරණි ක්‍රමයට චිත්‍රපට මුද්‍රණය කෙරෙන්නේ. එයත් වැසී ගිය පසු අපට ඉදිරියේදී එම ක්‍රමයට චිත්‍රපට නිෂ්පාදනය කිරීමට නොහැකි වේවි.
Q සිනමා පුවත්පත් කලාවේ ඇදවැටීමක් ඇති බවට මත පළ වෙනවා?
සිනමාවේ කඩා වැටීමත් සමග සිනමා පුවත්පත්වලටත් නරක දසාවක් එළැඹුණා. ඒ සමගම බොහෝ සිනමා පුවත්පත් කලාවේදීන්ට තම රැකියා නැතිවුණා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග බොහෝ තරුණ පිරිස් ඒ ඔස්සේ සිනමා තොරතුරු ලබාගන්නවා. ඉතින් සිනමාවටම වෙන් වූ පුවත්පත් කලාවක අවශ්‍යතාව දැන් අඩුවෙලා. ඔය කියනා සිනමා පුවත්පත් සංස්කෘතිය දැන් නැති බවට චෝදනා නගන්නේ ඔවැනි තත්ත්වයක් මතයි.