මේ වනවිට හොලිවුඩයේ ඇති ආන්දෝලනාත්මක චිත්රපටය ලෙස The Legend of Tarzan චිත්රපටය හැඳින්විය හැක. මෙයට හේතු වී ඇත්තේ එය නවීන තාක්ෂණයෙන් නිර්මාණය කර තිබීම සහ මෙහි ප්රධාන නිළිය වන Margot Robbie පිළිබඳව ප්රචාරණය වන පුවත්ය. ඇය මෙම චිත්රපටයේ නිරුවත් දර්ශනයකට දායක වීමේදී අනතුරකට මුහුණ දුන් බවත්, ඉන්පසු එම කොටස මෙම චිත්රපටයෙන් ඉවත්කර ඇති බවටත් තොරතුරු වාර්තා වේ.
ඩේවිඩ් යැටස් විසින් අධ්යක්ෂණය කරනු ලැබූ The Legend of Tarzan චිත්රපටය සඳහා මාර්ගට් රොබී තෝරා ගැනීමට විශේෂිත වූ හේතු ඇතැයි සඳහන් වෙයි. මේ වන විට 26 වැනි වියේ පසුවන ඇය වෘත්තීමය වශයෙන් රංගන දිවියට ඇතුළු වූයේ 2007 වර්ෂයේදීය. නමුත් ඇයට චිත්රපටයක් සඳහා රංගන වරම් හිමි වූයේ 2008 වර්ෂයේදී තිරගත වූ Vigilante චිත්රපටය තුළිනි. එම චිත්රපටයත් සමගම ඇයට Review with Myles Barlow නම් රූපවාහිනී කතා මාලාවට දායක වීමට වරම් හිමි විය. මෙම රූපවාහිනී කතා මාලාවෙන් පසුව ඇයට 2008 වර්ෂයේදී තවත් කතා මාලාවන් තුනක් සඳහා දායක වීමට වරම් හිමි විය. ඒ The Elephant Princess, City Homicide සහ Neighbours කතා මාලාවන්ය. Neighbours කතා මාලාව 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා විකාශනය වුණි.
ඇය දෙවැනි චිත්රපටය ලෙස දායක වූයේ 2009 වර්ෂයේදී තිරගත වූ I.C.U. (Film) චිත්රපටය සඳහාය. ඉන්පසු ඇයට නැවතත් Pan Am නම් රූපවාහිනී කතා මාලාව සඳහා දායක වීමට අවස්ථාව හිමි විය. ඇය 2013 වර්ෂයේදී රංගනයෙන් දායක වූ About Time චිත්රපටය ආදායම් අතරට පැමිණි චිත්රපටයක් විය. The Wolf of Wall Street චිත්රපටය සඳහාද ඇය එම වර්ෂයේදීම දායක වූවාය.
2014 වර්ෂයේ පැවති Empire Awards හිදී හොඳම නවක නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තාය. ඒ ඇය විසින් ලබාගන්නා ලද පළමු සම්මානයයි.
Z for Zachariah නම් චිත්රපටය සඳහා 2015 වර්ෂයේදී දායක වූ ඇය එම වර්ෂයේදීම තිරගත වූ Focus චිත්රපටය හේතුවෙන් ඉහළ ජනප්රියත්වයක් හිමිකර ගනු ලැබීය. එහිදී විල් ස්මිත් සමග රංගනයෙන් දායක වූ හෙයින් එම චිත්රපටය ආදායම් වාර්තා අතරටද පැමිණි බව සඳහන් වෙයි. ඊට අමතරව එම වර්ෂයේදී තවත් චිත්රපට දෙකක් සඳහා ඇය දායක වූ අතර, ඒ Suite Française සහ The Big Short චිත්රපටයි.
පසුගිය මාර්තු මාසයේ එළිදැක්වූ Whiskey Tango Foxtrot චිත්රපටයේද ඇය රංගනයෙන් දායක වූ අතර, එය ආදායම් අතින් අසමත් විය. මෙම වර්ෂයට ඇය තවත් චිත්රපට දෙකක් සඳහා දායක වී ඇත. ඉන් එක් චිත්රපටයක් පසුගියදා එළිදැක් වූ අතර, අනෙක් චිත්රපටය අගෝස්තු මාසයේ එළිදැක්වීමට නියමිතය. ඊට අමතරව ඇය 2018 වර්ෂයේදී එළිදැක්වීමට නියමිත Larrikins චිත්රපටය සඳහාද රංගනයෙන් දායක වීමට නියමිතය.