රියලිටි කලාවෙන් බිහිව සංගීත ක්ෂේත්රය තුළ පෙරළිකාරයකු ලෙස
කටයුතු කරන නවපරපුරේ ගායකයකු ලෙස සංඛ දිනෙත්ව හඳුන්වන්නට පුළුවන. කාලයට ඔබින ගීත නිර්මාණ කරන බැවින් ඔහු නිරන්තර රසික ආකර්ෂණය දිනාගෙන සිටියි. ඔහු ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස පමණක් නොව සංගීත ආචාර්යවරයෙකු ලෙසද අද (12දා) සිට සිය කාර්යභාර්ය ඉටුකරන්නට සැරසේ.
අද (12දා) ඔහුට විශේෂ දිනයක්. ඒ ඔහුගේ උපන් දිනය අදට යෙදී තිබෙන බැවිනි. උපන්දිනයට ඔහු සිදුකරන්නට සැරසෙන කටයුත්ත පිළිබඳ අදට මෙසේ අදහස් දැක්වීය.
-
ඔබේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන තෑග්ග පිළිබඳව කතා කරමු?
අදට (12දා) මට අවුරුදු 28යි. මේ නිසාම මම හිතුවා විවිධ හඬවල් 28 ක් හොයාගෙන මට පුළුවන් ආකාරයෙන් වර්ධනය කරලා ගායකයො විසිඅට දෙනෙක් සමාජයට බිහිකරන්න ඕන කියලා. එහිදී ගීත 28 ක් සමග හඬවල් 28කුත් එළියට එනවා.
-
මෙම හඬවල් 28 තෝරාගන්නා ක්‍රමවේදය පැහැදිලි කළොත්?
අද ආරම්භ කරන මේ කාර්යයට අපි අයදුම්පත්‍ර කැඳවනවා. එයට දෙසැම්බර් 12 වැනිදා වනතුරු කාලය තිබෙනවා. ඊට පසු ඔවුන්ගේ හැකියාව, ඔවුන් ළඟ තිබෙන සම්පත් අනුව වර්ග කෙරෙනවා. පසුව ඔවුන්ව විෂයානුබද්ධ කාරණවේ සිට ප්‍රා‘යෝගික කාරණාව දක්වා කොහොමද ගායකයෙක් බිහිවෙන්නේ කියලා පුහුණුකරනවා.
ඒ කාලය තුළදී ප්‍රවීණයන් ලෙස රංග දසනායක මහතා, සුනිල් පෙරේරා මහතා ආදී පුද්ගලයන් අපට උදව් කරනවා. පසුගිය කාලය තුළදී මම සමීක්ෂණ කළා. ලංකාවේ තිබෙනවා සංගීතය උගන්වන තැන්, අධ්‍යාපන ආයතන, සංගීත පාසල් ආදිය. ඒක හොඳයි. නමුත් ඒ ආයතනවලින් එළියට එන සිසුන්ට ඊට පසුව මොකද කරන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ.
ඒකට හේතුව වෙන්නේ මේකයි. අපි ගායකයෙක්ව බිහිකරනවා නම් ඔහුට හෝ ඇයට විෂය ඉගැන්නුවත් ඔහුගේ ජීවිතය ඇත්තටම පටන්ගන්නේ පළවෙනි ගීතයෙන් නේ. එතන ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ මොකද මේ ආයතනවල ඉගෙන ගන්න අය පසුව වෙන රැකියාවක් තමයි කරන්නේ.
අන්න ඒ කාරණයත් අපි වෙනස් කරන්න ඕන. මොකද ඉගෙන ගන්න කාරණයේම ප්‍රා‘යෝගිකව යෙදෙන්නට අවශ්‍යයි කියන දේ තමයි මට පෙන්නන්න ඕන. ඒ නිසයි මම අලුත් ගීත 28 ක් නිර්මාණය කරන්න තීරණය කළේ.
විශේෂයෙන් මොවුන්ගෙන් සංගීතය පිළිබඳව කවුරුන් හෝ යමක් ඇසුවහොත් මොවුන්ට පිළිතුරු 28 ක් තිබිය යුතුයි. ඒකයි වෙනස. තමන්ගේ ප්රකාශනයත් සමගයි ගායකයකු නිර්මාණය විය යුත්තේ.
-
නමුත් අලුත් පරම්පරාවේ බොහෝමයකට අද චෝදනා එල්ල වෙනවා නේද?
මමත් අලුත් පරම්පරාවේ කෙනෙක්. අලුත් පරම්පාවට බොහොම චෝදනා එල්ල වෙනවා. ඔවුන්ට සංගීතය පිළිබඳව කිසිම අවබෝධයක් නැතැයි පවසනවා. මෙන්න මේ කාරණාවලට මට පුළුවන් ආකාරයේ පිළිතුරක් ලබාදෙන්නයි මම මේ වෙහෙසෙන්නේ. එය තමයි මගේ අවසාන අරමුණ.
-
මේ 28 දෙනාගේ ව්‍යාපෘතිය මූල්‍යමය ව්‍යාපෘතියක්ද?
ඇත්තටම මෙය බොහොම සද්භාවයෙන් සිදුකරන කාර්යයක්. නමුත් මේක නොමිලේ කරනවා කියල මම කියන්නෙ නැහැ. ඒකට හේතුව මේ තුළ අපිට මූලික පිරිවැයක් දරන්නට සිදුවෙනවා. සංගීතය කියන කාරණය බිත්ති හතරක් ඇතුළෙ කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සංගීතය ඇතුළෙ බොහෝ දේවල් අපිට සොයන්නට සිදුවෙලා තියෙනවා. එහෙම වෙද්දි අපිට තව තව දේවල් හොයාගෙන යන්න වෙනවා. විවිධ ස්ථානවලට යන්න වෙනවා. ඒවාට යම් පිරිවැයක් දරන්න සිදුවෙනවා. ඒ වගේම මේ 28 දෙනාට විවිධ පරිච්ඡේද අපි දැනටමත් සූදානම්කර තිබෙනවා. එහිදීත් යම් පිරිවැයක් දරන්න සිදුවෙනවා. මොකද ගීත 28 ක් නිර්මාණය කරනවා කියන්නේ බැරෑරුම් කාර්යයක්.
සාමාන්‍ය‘යෙන් මම සිංදුවක් හදන්න වැඩිපුර ගාණක් ගන්න කෙනෙක්. ඒ උනත් මේ වැඩේදි සතපහක මුදලක් අරගන්නෙ නැහැ. යමක් අයකරනවා නම් ඒ සමස්තයටම සුළු මුදලක් පමණයි. මේ සඳහා වැයවන පිරිවැය ඉතිරිකර ගැනීමටයි එසේ කරන්නේ.
ඒ වගේම මම මේ කාර්යය නොමිලේ කරනවා කියන කාරණය තුළ මට පොඩි සතුටක් තියෙනවා. මොකද මම අනිත් අයට ආදර්ශයක් වෙයි කියලා. ඒ මොකද සංගීතය කියන්නේ මිල කරන්න බැරි දෙයක්. සංගීතය තුළ අනිවාර්යයෙන් වටිනාකමක් කියන දේ තියෙන්න ඕන.
-
මේ වෙද්දි ලංකාවෙ බහුතරයක් ඉන්නෙ ගායක ගායිකාවෝ. මේ ගොන්නට තවත් 28 ක් එකතුකිරීම තුළ ඔවුන්ට කුමක් සිදුවේවිද?
මම මුලින්ම පැවසුවා වගේම මම ක්ෂේත්රයට පැමිණියෙත් රියලටි වැඩසටහනකින්. මම එලෙස ක්ෂේත්රයට පැමිණිලා දැන් අවුරුදු පහක් පමණ වෙනවා. මම මේ දේ කියන්නේ ඉතා නිහතමානීව. ආධුනික ගායකයකු ලෙස පැමිණි මට අද කෙසේ හෝ සංගීත අධ්‍යක්ෂකවරයා, සංගීත ආචාර්යවරයා, ගායකයා වගේ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරගන්න පුළුවන් වී තිබෙනවා. තරුවක් වෙන්න අවශ්‍ය දේවල් හැමතැනින්ම ලැබෙන්නෙ නැහැ.
සමහරු කරන්නේ මිනිස්සු ගොඩක් එකතු කරගෙන ඔවුන්ගේ වැඩ කරගත් පසුව ඔවුන් අත්හැරලා දැමීමයි. ඒක මට අනුමත කරන්න බැහැ. මට පුළුවන් විදියට ඒ තරුවලට මම උදව් කරනවා. මම ඒ වගේ පුංචි තැනකින් ආපු පුද්ගලයෙක්. ඒ නිසා මට අවශ්‍ය කර තිබෙන්නේ කාගෙන්වත් වචනයක් අහන්නෙ නැතුව මේ වැඩේට යන්න පුළුවන් පිරිසක් බිහිකරන එකයි.
-
ඔබ පැවසුවා තමන්ගේ කාර්ය කරගත් පසුව නවකයින්ව අතහැර දමන බව. මෙසේ කරන්නේ රූපවාහිනී නාමයද එසේ නැතිනම් පුද්ගලයන්ද?
සියලුමදෙනාට මෙය අදාළයි. සාමාන්‍ය විදිහට ගෙදර හිටපු මනුස්සයෙක්ව ඇඳුමක් අන්දවලා, ගව් ගාණක් උඩට අරගෙන ගිහිල්ලා උඩදි ඔහුට ඔටුන්නකුත් පලන්දලා මොහොතක් යන්නට පෙර ඒ ඔටුන්න ගැලෙව්වොත් ඔහුට මොකක් වේවිද? එහෙම අය මම දැකල තියෙනවා. මම ගොඩ ආවේ බොහොම අමාරුවෙන්. ඒක මම අත්විඳපු නිසා තමයි මට හිතුණේ හදපු ඔටුනු ගලවන්න බැරි කණ්ඩායමක් හදන්න ඕන කියලා. නමුත් මම දන්නෙ නැහැ මම කොතරම් සාර්ථක වෙයිද කියලා. මම ආවේ සිරස සුපර් ස්ටාර් තුළින්. ඒ පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. අද වෙනකොට මම ඉන්න තැන පිළිබඳව මට වගේම ඔවුන්ටත් සතුටු වෙන්න පුළුවන් ඇති. ඒ නිසා ඔවුන් ගරු නොකළත් මම ඔවුන්ට ගරු කරනවා.
-
ඇයි ඔබ එසේ පැවසුවේ? ඒ කියන්නේ ඔබ දැන් කැපී ගිය තරුවක්ද?
නැහැ. නැහැ. එහෙම දෙයක් නැහැ. එයාලට අමතක උනත් මට අමතක නැහැ කියලයි මම කිව්වේ.
වෙන දෙයක් නැහැ. මම දැනටත් සිරස TV, සිරස FM දෙගොල්ලොන් එක්කම වැඩ කරනවා. ඒ වගේම අනිකුත් නාලිකා සමගත් මම සුහදව කටයුතු කරනවා. අද මම බොහොම ස්වාධීන කෙනෙක්. මම හැමෝටම ගරු කරනවා. මට මෙතැනට එන්න සියලුදෙනාම උදව්කරලා තියෙනවා.
මොනතරම් දක්ෂතාවයක් තිබුණත් වර්තමානයේ තිබෙන පැකේජ් කලාව යටතේ ඔබේ 28 දෙනා ජනප්‍රිය කරන්නට ඔබ මොනවද කරන්නේ?
ලොකු චෝදනාවක් තිබෙනවා. රූපවාහිනී නාලිකා තුළින්, ගුවන් විදුලි නාලිකා තුළින් සල්ලි ගන්නවා කියන කාරණය. නමුත් මගේ ගීත නම් ඕනෑම නාලිකාවක ප්‍රචාරණය වෙනවා. මිනිස්සුත් ඒවට කැමතියි. මට කියන්න තියෙන්නේ මම නම් කිසිම නාලිකාවකට සතපහක්වත් දීලා නෑ කියල තමයි.
ඒ නිසා මම හිතනවා මම හදන මිනිස්සුන්ටත් එහෙම නොවේවි කියලා. අපි අපිට වටිනාකම් ටිකක් හදාගන්නවා නම් මිනිස්සු අපිට ඒ වටිනාකම ලබාදේවි. කොහොමත් නිර්මාණයක් මුදලින් ජනප්‍රිය කරන්න බැහැ. එහෙම පුළුවන්නම් කෙටි කාලයක් විතරයි.
-
මෙයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මේ කටයුත්තට කැමති අයට පුළුවන් sankadineth@yahoo.com කියන ඊමේල් ලිපිනයට ඔබේ විස්තර එවන්න. ඒ වගේම 0774172915 දුරකථන අංකයට කතා කරලා තිලිණි අමතා ඔබේ තොරතුරු ලබාදෙන්නත් පුළුවන්. ඒ වගේම sankadineth/facebook තුළිනුත් තොරතුරු එවන්න පුළුවන්. එමගින් අපි ඔබ අතරින් 28 දෙනෙකු තෝරාගන්න බලාපොරොත්තු වෙනවා.