කලාකරුවා සහ කලා කම්කරුවා
බාෙහා් කලාකරුවන් සිය දිවියේ අගභාගයේ අසරණව සිටින බව මාධ්‍ය හරහා නිතර අසන්නට දකින්නට ලැබේ. පසුගිය දිනෙක සමාජ වෙබ් අඩවියක කලාකරුවන් පිළිබඳ පළ කළ අදහසක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිණ.
'කලාකාරයො ලොකුද' යන්න මෙහි සිරස්තලය විණි. 'අනේ මම අවුරුදු ගාණක් සින්දු කිව්වා. මට තාම ගෙයක් නෑ.', 'මං චිත්‍රපටි ගොඩක රඟපෑවා. ඒත් දැන් මට සලකන්න කවුරුත් නෑ.', 'අහවල් නාට්‍යය කළා. අහවල් සින්දුව ලිව්වා. මේ රටේ කලාකාරයන්ට සලකන්නෙ නෑ.', 'අනේ මට ඉන්න ගෙයක් නෑ. රටට කොච්චර රඟපෑවත් අපි කුලියට ඉන්නෙ. ගමටම ණයයි ලොකු අම්මේ' ආදී මෙවැනි අඳෝනා නගන ඇතැම් කලාකරුවන්ට දැන් අත්වී ඇත්තේ අවාසනාවන්ත ඉරණමක් බැව් අපට පසක් වී ඇත. එහෙත් මෙම ප්‍රශ්න කිරීම කොතරම් සාධාරණද? මෙවර සටහන මේ පිළිබඳවයි.
මෙහිදී පළමුව අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ බහුතරයකට සිය වෘත්තිය තුළ පවතින සුරක්ෂිතභාවය කුමක්ද යන්නයි. එය මෙහි එක් පැතිකඩකි. එසේම පවත්නා ආණ්ඩු විසින් තමාට රැකවරණයක් ලබාදේවි යන යැපීම් මානසිකත්වයෙන් කටයුතු කිරීම කලාකරුෙවකුට තරම් නොවනා වගද මෙහි තවත් පැතිකඩකි. එනම් දේශපාලකයාට වඩා සිය මට්ටමින් පහළට වැටීම කොහෙත්ම කලාකරුවන්ට සුදුසු නැත. ඒ ඔවුන් රටේ ජීවනාලිය බඳු මහා දාර්ශනිකයන් විය යුතු බැවිනි.
එබැවින් අසරණ මිනිසෙකුට නිවසක් තනාදීම, ඖෂධ ලබාදීම වැරැද්දක් නොවුණද කලාකරුවකු එතරම් අසරණභාවයකට පත්වීම පිළිබඳ පළමුව ඇඟිල්ල දිගු කරගත යුත්තේ තමාට බැව් කොඳු නාරටිය සවිමත් කලාකරුවන් වටහා ගත යුතුය. නොඑසේ නම් සියලු කෘතහස්ත ලෝකවාසී ජනයාට අයත් පොදු වස්තුවක් කලාවෙන් කලාකරුවා ගැලවී ගොස් දේශපාලනය විසින් නිර්මාණය කරනු ලබන කලා කම්කරුවා මතුවීම කිසිසේත්ම වළක්වාලිය නොහැකිය.
උදාහරණයක් ලෙස අසල්වැසි ඉන්දියාව ගත් කල බොලිවුඩය, කොලිවුඩය ආදී සිනමා කර්මාන්ත හේතුවෙන් කලාකරුවා සිය වෘත්තීමය ගරුත්වය මෙන්ම ඉහළ ප්‍රසාදයක්ද ලබාගෙන ඇතිවා සේම සම්භාව්‍ය ශාස්ත්‍රීය සංගීතය, සම්භාව්‍ය චිත්‍රපට කලාවට නිසි ගරුත්වයක් ලැබී ඇත්තේ එවන් රසවින්දනයක් සහිත උගත් රසිකයන් පිරිසක් ඒ වටා බැඳී ඇති බැවිනි.
ඔවුන් එම කලාවේ අමිල බව හොඳින් වටහාගෙන ඇති බැවිනි. එබැවින් එවැනි මුදුන් මුලක් සහිත සම්භාව්‍ය කලාවක් රැක ගැනීමට රජයට වුවද පෙළඹවීමක් ඇතිවන්නේ එම කලාකරුවන් විසින්ම එය ඔප්පු කර ඇති බැවිනි. එසේ නොමැතිව දේශපාලන වන්දිභට්ටකම් කිරීමෙන් නොවන වගද මෙහිලා සටහන් කරන්නේ, සිය වෘත්තීයමය ගරුත්වයේම පිහිටා ඔවුන් දිගින් දිගටම කටයුතු කරන බැවිනි.
සම්භාව්‍ය කලාව සහ ජනප්‍රිය කලාව පටලවා ගනිමින් දේශීයත්වය, ගෝලීයකරණය යනාදී සංකල්ප අච්චාරු කර නොගත් බැවිනි. මෙය හොලිවුඩ් සිනමාව ගත්තද එසේමය. විශේෂයෙන්ම මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නැවත නැවතත් වේදිකාගත වන තරම් රාජකීය බවක් රාජකීය නාට්‍ය පාසල හරහා බ්‍රිතාන්‍ය රජයන් පවා නාට්‍ය කලාව වෙත ලබාදීමද මීට තවත් උදාහරණයකි.
එබැවින් මේ හරහා පැහැදිලි වන්නේ මෑත දශක කිහිපය තුළ සිදුවූ සමාජ පරිවර්තනවලදී කලාකරුවා කලාවට තරම් නොවන අයුරින් හැසිර තිබීම, කලාව කියා අනවශ්‍ය ලෙස පුම්බා ගැනීමට උත්සාහ කිරීම සහ එතුළින් කලාවට නොමනා වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම, කලාව රසවින්දනයට තරම් අධ්‍යාපනයක් ලද රසිකයන් පිරිසක් ලංකාවේ නිර්මාණය නොවීම, යටත් විජිත රටක් ලෙස එයින් අත්මිදුණද අපේ යැයි කියා ලෝකයා වෙත ගෙන යා හැකි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවක් සහිත කලාවක් හෝ කලාකරුවන් ලොවට සර්වකාලීන කිරීමට තරම් තවමත් අප අපොහොසත් වීමයි.
එබැවින් කලාව වෙනුවෙන් කළ සේවය සලකා තමා වෙනුවෙන් උදව් උපකාර කිරීමට තරම් ලෝකවාසීන් පිරිසක් තමන්ට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බැව් සිතීමම හිතලුවකි. ඒ එවන් තත්ත්වයක් උදාකර ගැනීමට සමස්ත ශ්‍රී ලාංකිකයෝම තවමත් අපොහොසත් වීම හේතුවෙනි.
කෙසේවෙතත් කලාකරුවා යනු කුලීකාරයකු නොවේ. ඔහු/ඇය එතැනින් එහාට ගිය අධ්යාත්මිකයෙකි. විශිෂ්ට පරිකල්පන ශක්තියක් හිමි නිර්මාපකයෙකි. එහෙත් අප වටහාගත යුත්තේ ඕනෑම පුද්ගලයකු සතුව කලාකාමීත්වය තිබෙනා බවය. එබැවින් වෘත්තීයමය තලයේදී වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, ඉංජිනේරුෙවකු, ගණකාධිකාරීවරයෙකු යන වෘත්තියන්ගෙන් වෙනස් වෘත්තියක් වූ කලාකරුවා ඉහළ මිලක් යටතේ ධනේෂ්වර ක්‍රමය තුළ අලෙවිවන්නකි.
එහෙයින් කලාව කෑම, කලාවෙන් කෑම යන්න පැහැදිලිවම අප විභේදනය කර ගත යුත්තකි. එසේම කලාව වෘත්තියක් ලෙස තෝරා ගැනීමේදීද පැහැදිලි ගරුත්වයක් සහිතව ධනේෂ්වර ආර්ථිකයක් තුළ තමාට වටිනාකමක් ඇතිකර ගැනීම තමා විසින්ම ඇතිකර ගත යුත්තකි. එනම් දේශපාලනය, ආර්ථික යනාදී සාධකවලට යට වී කලා කම්කරුවකු වීමම කලාකරුවා සහ එම කලාකරුවාගේ කලාව මිය යාම බවද, එතැන් සිට ඔහුට ලැබෙන රැකවරණය අහිමි වන බවද අප පැහැදිලිවම වටහාගත යුතුය.
එබැවින් වැඩවසම්, ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිය යුතු කලාකරුවන්, පළමුව කළ යුත්තේ තමාගේ කලාවට හිමිවිය යුතු පූජනීයත්වය හිමිකර ගැනීම දෙවනුවට තබා එවන් පූජනීයත්වයකට පත්විය හැකි ලෝ තලය දෙවනත් වන කලාකරුවන් බවට පත්වීමයි. එවන් කලාවක් අද පවත්නා ප්‍රබල සන්නිවේදන තාක්ෂණ ජාලයද යොදා ගනිමින් සකලවිධ ලෝකවාසීන්ට ඔප්පු කර පෙන්වීමයි. ඔවුන්ට අදාළ වටිනාකම ඔවුන්ට ලැබෙනුයේ මේ අනුවයි.
එනම් තමන් තෝරාගත් වෘත්තිය කලාව නම්, කලාව පිළිබඳ නගන අවලාද පසෙක තිබියදී පළමුව එයින් යමක් උපයා ගනිමින් තමන්ගේ විශ්‍රාම ජීවිතය සකසා ගැනීම සහ මුදල් ඉතිරි කර ගනිමින් අනාගතය සැලසුම් කර ගත යුතු අතර, එවන් කලාකරුවන් වත්මන් ශ්‍රී ලංකාවේද සිටිනා බවට ඕනෑතරම් උදාහරණද අප සතුව ඇත.
එසේම සම්භාව්‍ය කලාව හරහාද තමාගේ වටිනාකම රජයට දැනෙන අයුරින් සන්නිවේදනය කර ඊට අදාළ ප්‍රතිපත්ති කරා පෙළඹවීමකට ගරුත්වයක් ඇතිව කලාව තුළම හැසිරීමද කළ යුතුය. එවිට සම්භාව්‍ය සාහිත්‍යයද සදාකල් වැජඹෙනු ඇත.
එසේ නොමැතිව ලාංකික දේශපාලුවන් විසින් කලාකාරයන් සතුව පවත්නා ජනප්‍රියත්වය භාවිත කර ගනිමින් එය වේදිකාවට ගෙන, එයින් ඡන්ද කඩාගැනීමට උත්සාහ කරද්දී, එහිදී නිහඬව සිට උපදේශක පට්ටම්ද ලබමින්, වාහනද ලබා ගනිමින්, ගෙවල්ද ලබා ගනිමින් පසුව අඳෝනා තැබීම හාස්‍යයට කාරණයකි.
ඒ මන්ද කුමන තරාතිරමක කෙනෙකු වුවද රටේ ජනප්‍රියතම චරිතයක් නම්, එය ඡන්ද මැෂිමක් නම් ඔහුට වුවද නිවසක්, උපදේශක පට්ටමක්, වාහනයක් ලබාදෙන රටක අප අද ජීවත්වන අප වටහාගත යුතු බැවිනි. එබැවින් එවැනි තත්ත්වයකට දියුණු කලා සංස්කෘතියක් සහිත රටවල්ද පත්ව නොමැති බැව්ද අප වටහාගත යුතුය.
කෙසේ වෙතත් එසේ කියා මෙයින් රජයකට ගැලවිය නොහැකිය. කලාකරුවන් සහ කලාව රැකෙන දීර්ඝකාලීන වැඩපිළිවෙළක්ද මීට අවශ්‍යය. එහෙත් එය හුදු යැපීමක් ලෙස භාවිත කිරීම කලාකරුවාට නොමනාය. ඒ මන්ද කලාව සහ කලාකරුවා යනු සදාතනික වටිනාකමක් ඇති අමිල සම්පතක් බැවිනි. කලාවේ නියැළිය යුත්තේ එවන් පූජනීය අරමුණු ඇතුවය.
එයින් ඇතැම් විට තමාට අත්වන ලාභ ප්‍රයෝජනයක් නොමැති වන්නට පුළුවන. පොදු මහජනයාට සදාතනික යුතුකමක් සහ වගකීමක් ඉටුවන්නට පුළුවන. සැබෑ කලාකරුවා කටයුතු කළ යුත්තේ ඒ වෙනුවෙනි. එසේ නොමැතිව තමා කළ මෙහෙය වෙනුවෙන් අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් නොවේ. ඒ මන්ද කලාව සහ කලාකරුවාට පොදු මහජනයා විසින් වැළඳගත් යුගයකදී, ඔවුන් විසින්ම එම කලාව සහ කලාකරුවා අදාළ අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් සහ ගරුත්වය ලබාදෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

