ලබන දෙසැම්බර් පස්වැනිදා තෙක් අප බලා සිටියේ සිරිත් පරිදි ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතාගේ සහ එම මැතිණියගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්නටය. නමුත් අකාරුණික වූ මරණය අද අපගෙන් ඔහු වෙන්කොට තිබේ. නමුත් වරින් වර පණ්ඩිත් අමරදේවයන් හමු වී කළ පටිගත කරගත් සම්මුඛ සාකච්ඡාවල ඔහු කී කතා කවදත් පරණ නොවන බැවින් ඒවා කිසිවිටක මකා දමන්නට 'අද' පුවත්පතේ අපි උත්සාහ නොකළෙමු. එහෙයින් ඔහුගේ ගීත මෙන්ම සර්වකාලීන වූ සංගීතය හා සංගීත ක්ෂේත්රය පිළිබඳ කතා පිළිබඳ මතකය අවදි කරන්නට අප අදහස් කළේ ඒ තුළින් මේ නිහතමානී, සොඳුරු වූ මිනිසා අදත් අප අතර ජීවත් කරන්නටය.
Q අමරදේව නම් අමරණීය කලාකරුවා ගැන අපි ඔහුටම කතාකරන්න ඉඩ සැලැස්සුවොත්.
මම මොරටු පුරවරයෙන් බිහිවුණ සාමාන්‍ය පවුලක දරුවෙක්. අපි මහා ධනවත් අය නෙවෙයි. මගේ දෙමවුපියන් ඉතාම සරල, දුප්පත්, අහිංසක නමුත් හොඳ මනුස්සයො. ඔවුන් අපට ඉගැන්වුවෙ අහස උසට ඉණිමං බැඳලා ලොක්කො වෙන්න නෙවෙයි. අපි තුළ තිබුණ සාමාන්‍ය ගති පැවතුම්වලින් මිනිසුන් සමග හොඳින් ජීවත්වීමේ කලාව. ඒක තමයි අපි දෙමවුපියන්ගෙන් ලබපු ලොකුම දායාදය.
අපි පුංචි කාලයෙත් යමක් කමක් තිබුණ පවුල්වල උපන්දින උත්සව පැවතුණා තමයි. නමුත් අපට ඒ වගේ දේවල් තිබුණෙ නැහැ. කුසගින්න, ආදරය, එකමුතුකම තුළ ජීවත්වෙන හැටි අපේ දෙමවුපියන් දිහා දැකලා ඉගෙනගත්තු දේවල්. මේ අතර මගේ අවුරුදු පහේ උපන් දිනයට තාත්තා මට සාමාන්‍ය වයලීනයක් තෑගි කළා. මේකට මම තදින්ම ඇලුණා. වයලීනය මිහිරියට වාදනය කරනවා අහන් ඉන්න තාත්තාගේ මූණ අදත් මට මතකයි. සාමාන්‍යයෙන් තාත්තා එක්ක පුතුන් වැඩිපුර ළඟ නැහැ කියලා තමයි මම අහල තියෙන්නේ.
නමුත් අපේ පවුලේ ඒ කතාව වෙනස්. මගේ තාත්තා නැති වුණේ මම සංගීතය ඉගෙනගන්න ඉන්දියාවේ ගිහින් හිටිකාලයේ. ඒ කාලේ එහෙම රටකින් රටකට යන්න ලැබෙන්නේ කලාතුරකින්. මේ අහඹු වාසනාව අපේ පවුල් අතර මට ලැබුණා. මම විශේෂ කෙනෙක් වුණා වගේ හැඟීමක් මගේ පවුලෙ අයටත් තියෙන්න ඇති. තාත්තා මියයන්න කලින් නිතරම මාව අහලා තිබුණා. ඔහුට මාව දැකගන්න උවමනා වෙන්න ඇති. නමුත් මට ගෙදරින් තාත්තාගේ මරණය දැන්වූයේ නැහැ. ඒ නිසා මට තාත්තාගේ මරණයට සහභාගි වෙන්න බැරි වුණා.
මේක මගේ හිතේ අදටත් කණස්සල්ලක් දනවන තැනක්. නමුත් මම සොඳුරු වූ මිනිසා ගීත එකතුවේ තාත්තා කෙනෙක් පුතෙකු ගැන කියන ගීතයක් ගැයුවා. ඒ ගැයුමෙදි ඔන්න මට දැනුණා මගේ තාත්තාට හිතෙන්න ඇති දේ. දන්නවද අපේ පරපුරේ අයගේ තිබුණු ගෞරවනීයම ගතිගුණය. තමන්ව මේ ලෝකෙට එක්ක ආව දෙමවුපියන් වගේම වැඩිහිටියන් කෙරෙහි තිබුණ ඇල්ම භක්තිය. ඒක තමයි පරණ ශිල්පීන් තුළ අදටත් පවතින සරලකම නිහතමානීකමට හේතුව. අලුත් පරපුර විවේචනය කිරීමක් නෙවෙයි. අපි ආදර්ශය තුළින් ඒ අය තුළ මේ ගුණාංග වර්ධනය කරන්න අතහිත දෙන්න ඕන.
Q මෑත කාලයේ ඔබ නව පරපුරේ ශිල්පීන් සමග නවතම ගීත නිර්මාණ කරන්න අතහිත දුන්නා. එහිදී ඔබ නවකයන් සමග වැඩ කළේ නවකයෙක් තරම්ම ආශාවෙන් කැපවීමෙන්
මම හිතනවා මම කළේ විය යුතු දේ කියලා. අරුණ ගුණවර්ධන කියන සංගීත නිර්මාණකරුවා තරුණයෙක්. ජානක සිරිවර්ධන කියන පද රචකයාත් තරුණයෙක්. නමුත් ඔවුන්ගේ ප්‍රතිභාව මුහුකුරා ගොස් ඇති බව මම තේරුම්ගත්තා. මගේ බිරිඳ විමලාත් උසස් රසඥතාවක් ඇති ස්ත්‍රී රත්නයක්. ඇය තමයි අදත් මගේ සෙවණැල්ල. ඇය මට හොඳ දරුවන් තිදෙනෙක් ලබාදුන්නා.
ඒ දරුවන් අද රටට, දැයට වැඩක් කළ හැකි උසස් ප්රතිභාවලින් යුක්තවීම මට සහනයක්. සුභානි මා අනුව ගයනවා. පුතා රංජන තබ්ලා විශාරදවරයෙක්. දුව ප්රියංවදාත් කලාව තුළ බොහෝ දේ ඉතාම ප්‍රශස්ථ මට්ටමකට ඉගෙනගත් කෙනෙක්. ඉතිං නව පරපුර මට මගේ දූ දරුවන් වගේ. නවකයන් අතින් වෙන වැරදි අපි නිවැරදි කරගන්න අතහිත දෙන්න ඕන. අපි ඔවුන් අතහැරියොත් කවරදාකවත් ඔවුන් අපි ආ මග, අපි ආ තැනට එන්නේ නැහැ.
ඒ නිසා දොස් පවරන්න කලින් ඒ අයගේ අඩුපාඩු ඉවසන්න ඕන. ඉන්පසුව හදාගන්න අත දෙන්න ඕන. එයින් පසුවත් ඔවුන් වැරදි පාරේ යනවා නම් ඒක ඔවුන්ගේ කිසියම් නොලැබීමක්. නමුත් ඒ නොලැබීම උරුම කරගත් අය අපි අතර තවම බිහිවෙලා නැහැ කියලා මම හිතනවා.
Q ඇයි කලාව හැමවෙලේම විවිධාකාර වූ දෝෂාරෝපණවලට බඳුන්වෙන්නේ..
එය අවබෝධය හා අනවබෝධය යන දෙකම නිසා වෙන්න පුළුවන්. අපේ අයට රසවිඳුම පිළිබඳ ගැටලු තියෙනවා. ඉස්සර අපේ කාලෙ අපි සාහිත්‍ය රසය ඉගෙනගත්තා, ඒක අපි හෙවුවා. හැමදේකම කලාත්මක හැඩයක් දකින්න පෙරුම් පිරුවා. තනුවක් නිර්මාණය කරලා, සංගීතය එකතු කරලා ගයන්න සැලැස්සුවාම, ඒ පද මාලාව සංගීතය රසවිඳුම අනුව ඒ ඒ ගායකයා ගායිකාව එයට තමන්ගේ හඬින් කළ හැකි කලාව එකතු කරනවා. ඒ තමයි හඬේ ඇති ලාලිත්‍යමය කොටස්. හඬේ ළෙලදීම් ඇති කරන්න කියලා කවුරුවත් කිවුවට කරනවා නෙවෙයි.
අපි අපේ මනස තුළ ඇඳගන්න චිත්තරූපය අනුව අපි ඒ තුළ ඒ අලංකාර මවනවා. ඒ අනුව පද පේළිය ලියන කෙනා ඒකට සාහිත්‍ය රසය කලතනවා. සංගීතය යොදන කෙනා ඒවට අලංකාර යොදනවා. ගයන තැනැත්තා එය තමන්ගේ හඬින් නිර්මාණය කරනවා. ඔහොමයි එදා ගීතවල නොනැසෙන රසයක් ආවේ. අපි සංගීතය රස විඳින්න එහෙම ඥානයක් පාවිච්චි නොකරනවා නම් ඒකෙ වරද ඒ කෙනා රසවිඳින්න දන්නෙ නැතිකම වෙන්න පුළුවන්. ඒක අනවබෝධය නිසා වෙන දෙයක් මිසක නිර්මාණය නරක නිසා වෙන දෙයක් නෙවෙයි. තව කෙනෙක් සාහිත්‍ය සංගීතය මේ හැමදෙයම අවබෝධයෙන් යුතුව රසවිඳිනවා. කෙනෙකුට රස දේ තව කෙනෙකුට නීරස වෙන්නේ එහෙමයි. කාව්‍ය කියන දේ තමයි මේකට බලපාන්නේ?
Q කාව්‍ය යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද.?
සකල කලාවම කවියක්, එහෙමත් නැත්නම් කාව්‍යයක්. අපි සංගීත සිම්ෆනියක් බලමු. එය ශ්‍රව්‍ය කාව්‍ය කියලයි හැඳින්වූයේ. හොඳයි අපි සංගීතය, නර්තනය හා රංගනය කැටි වූ නාට්‍යයක් ගනිමු. එය දෘශ්‍ය කාව්‍ය කියායි හැඳින්වූයේ. මම හිතනවා අපි පැරණි දේ තුළ දකින සුන්දරත්වය මැවුවේ සාහිත්‍ය. අද එහෙම සාහිත්‍යයක් අපි කාටවත් උගන්වන්නේ නැහැ. ඒ නිසා අපි අහනවා, දකිනවා. අපට ඒවා කාව්‍ය විදිහට තේරෙන්නෙ නැහැ. ඒ අපට ඒවා රසවිඳින්න ඉගැන්නුවේ නැති හින්දා.
Q ඔබතුමා එය චෝදනාවක් ලෙසද ඉදිරිපත් කරන්නේ?
චෝදනාවලින් අපට යමක් කරන්න බැහැ. යෝජනා සහ ක්‍රියාත්මක වීම් තුළිනුයි අපි අවශ්‍ය ඉලක්කයට යන්න ඕන. අපි පුංචි කාලෙ ගෙවල්වල ගුවන් විදුලියක්වත් තිබුණෙ නැහැ. අම්මලා දරුවො නළවන්න කවි කියනවා. නැළවිලි ගී කියනවා. දරුවා උකුළෙ තියාගෙන සෙමින් නළවනවා. අම්මා දරුවා උකුලෙ තියාගෙන තොටිල්ල වගේ පදවන අතර කියන කවි තුළ තියෙන්නෙ මොනවද දරුවාගේ මනසට සියුම්ව ගෝචර වෙන දෙයක්. 'මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ, මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නැළවෙන්නේ..' කීවම දරුවාගේ මනසට නිදි සුවය ළංවුණ බව අපි දන්නවා.
නමුත් අද එහෙම නැති බවයි පේන්නේ. අද මවක් නැළවිලි ගී කියන්නෙ නැතිව එය රූපවාහිනියට, රේඩියෝවට පවරනවා වෙන්න පුළුවන්. අම්මා වෙන අරමුණක ඉඳගෙන දරුවා නිදි කරනවා වෙන්න පුළුවන්. ඒකට දොසක් කියනවා නෙවෙයි. අද ඇත්තන්ගෙ කාර්යබහුලකම. ඒ වුණත් යමක් රහ විඳින්න අපි දරුවන්ට උගන්වන්න ඕන. රහවිඳින්න දරුවො ඉගෙනගන්නේ එතකොටයි. ඒ නිසා කවිය කියන දෙයින් අපට ලැබෙන අස්වැසිල්ල අපේ ජීවිතයම කවියක් කරනවා. එතකොට මිනිසුන්ගේ මනස සුන්දර වෙනවා.
Q ඔබතුමාගේ වර්තමාන තොරතුරු දැනගන්න අපේ රටේ රසික රසිකාවියන් බොහෝ කැමතියි
ඔව්. ඔවුන් තවමත් මට ආදරෙයි. ඒ වුණත් දැන් මම ඉන්නෙ අවසාන කාලෙ.
Q නැහැ, ඔබතුමා තවම තරුණයිනේ?
ඔවු. මම හදවතින් තවම තරුණයි වගේ. තාමත් තරුණ ගායිකාවන් එක්ක ගීත ගයනවා. දැන් මට අවුරුදු 87 ක්. ඒත් තවම මට ශ්‍රැතිය නොබිඳ ගයන්න පුළුවන්. මට ඕන මේ ඉන්න ටික කාලෙ මගේ රටේ සංගීතය හදාරන සිසු සිසුවියන්ට කිසියම් ආකාරයක සංගීත ඥානයක් රස විඳුමක් ලැබිය හැකි දෙයක් කරන්න. මගේ අතිජාත පුත්‍රයා මේ අරමුණට මට ගොඩක් අතහිත දෙනවා. රංජන මා වෙනුවෙන් අමරදේව පදනම වෙනුවෙන් ඉන්දියානු ශිල්පීන් මෙහි ගෙන්වා ඔවුන් ඇසුරේ අපේ සංගීත සිසු පරපුරට ඒ සේවය ලබාදෙන්න, ඔවුන්ගේ ගුරුහරුකම් ලබාදෙන්න බොහෝ දේ කරනවා. ඒක මට අගේ කළ නොහැකිව සිටිය නොහැකි තරම්.
Q ඔබතුමා වාසනාවන්තයෙක් නේද ?
ඇත්තෙන්ම මම වාසනාවන්තයෙක් කියලා හුඟ දෙනෙක් මට කියනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නත් මට එහෙම කිවුවා. ඇත්ත තමයි, මේ වෙනකොට මම මගේ රටෙන් ලබන්න තියෙන හැම සම්මානෙම ලබලා තියෙනවා. රටේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම සම්මානයට පාත්‍ර වෙලා තියෙවා. ස්ලිම් එවෝර්ඩ් එක වසරේ හොඳම ගායකයා සම්මානය හත් වතාවක් මට ලබා දී තිබෙනවා. මැග්සේසේ සහ ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයත් මට ලැබිලා තියෙනවා. ජනතා ආදරය කියන සම්මානය බුහුමන අහස තරම් මට ලැබිලා තියෙනවා. එය තරම් කලාකරුවෙකුට මොන සතුටක්ද?
Q ඔබට කිසියම් ආකාරයක සංගීත ක්ෂේත්රයේ ඉදිරිය ගැන යම් අදහසක් පවසනවා නම්?
අපි අතීතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා අලුත් මගක යන එක හොඳයි. නමුත් අපි අලුත් පාරට යන්න කලින් පරණ පාර වසා දැම්මොත් අපට මග සලකුණක්වත් දකින්න නැහැ. ඉස්සර අපි සින්දු ගැන දැනගත්තෙ ගුවන් විදුලියෙන්. ගීත ජනප්‍රිය කරවාගන්න වගේම ගීත අහන්න රසිකයන්ට සල්ලි දෙන තත්ත්වයක් තිබුණෙ නැහැ. මම දන්නෙ නැහැ ඒ ගැන මම යමක් කතා කරන්න ඕනද කියලා. අපට ඉස්සර ගීතයක් වෙනුවෙන් ලබාදුන් මුදල ගැන හිතුවොත් එක නිකම් සන්තෝසමක් වගේ. නමුත් අපි ලබපු සතුටට මිලක් තිබුණෙ නැහැ.
දැන් දැන් අපි ඒ සොච්චමක් අරන් කියපු සින්දු වෙන වෙන විදිහට ඇහෙනවා. ඒවට අති විශාල මුදලකුත් ගන්නවා කියලා ආරංචියි. නමුත් මම ඒවා ගැන හොයන්නෙ නැහැ. මේ ගීත අපි නිර්මාණය කළේ දරුවො වගේ. ඒ නිසා මම කැමතියි ගීතයකට යම් ප්‍රමිතියක් ඇති කර ඒවා අහන්න සලස්සනවා නම්. දැන් හොඳ ගීත හැදෙනවා නම් පරණ ගීත අලුතෙන් අය කියන්න ඕන වෙන්නෙත් නැහැ. පරණ දේ තිබුණාවෙ, අලුත් දේත් තිබුණාවේ. පරණ දේ අහන්න කැමති අය ඒවා අහවි. අලුත් දේ අහන්න කැමති අය ඒවා අහවි. පැවැත්මත් ඒ වගේ. අදටත් හැම වෙසක් එකටම මගේ ගීත හැම වෙසක් තොරණකම වාදනය කරනවා. නමුත් එයින් පස්සෙ ඒ වගේ ගීත නැත්තෙ ඇයි කියලා මමත් හිතනවා. දැන් ඉතිං අපි වයසයි. මේ වයසෙදිත් අපි සිංදු කියනවා. නමුත් අපට වඩා තරුණ දක්ෂ අය කොයිතරම්ද, අපට වඩා දක්ෂයන්ට දක්ෂකම් පෙන්වන්න ඉඩ සැලසෙනවා නම් ලොකු දෙයක්.
ඡායාරූප- චානුක කුලසේකර