මෙවර දෙරණ 'ඩ්‍රීම් ස්ටාර්' කිරුළ දිනා ගැනීමට සමත් වූයේඇඹිලිපිටියෙන් තරග බිමට පිවිසි එම්.ජී.ධනුෂ්කය. වැඩි පිරිසකගේ කතාබහට ලක්වූ යොවුන් තරගකරුවෙකු වූ ඔහු අවසන් මහා තරගයේදී ජනතා මනාපයෙන් සිය කිරුළ දිනා ගැනීමට සමත් විය. තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායන කරමින් රසික හදවත් වලට ළං වන්නට සමත් වූ ධනුෂ්ක මේ වනවිට බොහෝ දෙනාගේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියි.
-
සිහින තරුව ඔබ වෙයි කියල හිතුවද?
අවසන් තරගකරුවන් තිදෙනා අතරට යනකොට ලොකු විශ්වාසයක් තිබුණා මෙවර කිරුළ අනිවාර්යයෙන්ම හිමිවෙන්නේ මට කියලා. මොකද, එදා තරගය නරඹන්න ඇවිල්ලා හිටිය පිරිස ලබාදුන් ප්‍රතිචාර මත මට ඒ බව තරගය අතරතුරදී දැනුණා. නමුත්, තෙවැනියා වුණ ළහිරුගේ ඉවත් වීමත් එක්ක ටිකක් බය හිතුණා අවසන් තීරණය ගැන. ඒත්, රසිකයින් කෙරෙහි මා තබා තිබුණ විශ්වාසය ඒ ආකාරයෙන්ම අවසන් මොහොතේදී ඉටුවුණා.
-
ගමේ හිටිය දුප්පත් කොල්ලද අදත් මේ ඉන්නේ?
මුදල් අතින් අද මම තරමක ධනපතියෙක්. නමුත්, මගේ තිබුණ මනුස්සකම, ගතිගුණ එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා. ඒක ඉදිරියටත් එහෙමයි. සල්ලි ලැබුණ පලියට මම මුල අමතක කරන්නෙ නැහැ.
-
සිහින කිරුළේ හිමිකාරයා ඔබ වුණත්, තාත්තා තමයි ඔබ මේ තැනට ගෙනාවේ?
තාත්තගේ බලවත් ඉල්ලීම මත මේ තරගයට මා නැවත වරක් ඉල්ලුම් කළා. දෙරණින් මෙවර 'ඩ්‍රීම් ස්ටාර්' තරගයට එන්න කියල දීපූ දිනයේදී මා අලුත් රැකියාවකට එකතු වෙන්න සම්මුඛ පරීක්ෂණයකට යන්න සූදානම් වෙලා හිටියේ. තාත්තත්, නංගිත් කිව්වා තාම රැකියාව ලැබිල නැති නිසා මේ තරගයට යමු කියලා. මගේ තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මමත් නොකරපු රැකියාවක් නැහැ. රැකියාවක් නැති දවස්වල මම බුලත්,පුවක් කඩාගෙන විකුණුවා. එවැනි වටපිටාවක ඉඳලා තමයි මම මේ තරගයට ආවේ. අද තාත්තට මා ලැබූ තැන ගැන මටත් වඩා ගොඩක් සතුටුයි. ඒක ආඩම්බර සතුටක් නෙවෙයි, නිහතමානී හැඟුම්බර සතුටක්.
-
තරගය අවසන් වෙද්දිම ඔබ හැමෝම අතරින් තාත්තා සොයා දිව යනවා.. ඒ බැඳීම ඇත්තම එකක්ද?
තාත්ත කියන්නෙ මගේ ආත්ම විශ්වාසය. මගේ හැමදේම .. ඒ නිසයි මේ ගමන ආවෙ. මගේ තිබුණ දැඩි මතයක්. තාත්තව මෙතනින් ගොඩදාන්න ඕන කියල. කොහොමහරි එයාව උපරිම තැනක තියන්න ඕන කියල. පුතෙක් විදියට මං ඒ දේ කළා මට හරි ආඩම්බරයි ඒකට.
පොඩි කාලෙ තාත්ත නංගිල දෙන්නට තමයි ආදරේ කළේ.මම සාමාන්‍ය පෙළ කරන්න හදන කාලෙ වගේ තමයි තාත්තව මට ගොඩක්ම දැනෙන්න ගන්නෙ. සමහර වෙලාවට ඔහු මට සින්දු පොත් ගෙනත් දෙනවා හැම ගායකගෙක්ගෙම. සමහර වෙලාවට එකම පොත තමයි ආයිමත් ගේන්නෙ. දන්නැතුව.තරගවලට යද්දි පොල් කඩලා විකුණලා රුපියල් දාහක් හදල දෙනවා යන්න. නැත්තම් අපි දෙන්නා එකට වැඩකරලා සල්ලි හොයාගන්නව.තාත්තා ගැන කියන්න වචන නෑ.
එක බෑග් එකක් එල්ලන් ආපු මට ගමට අරන් යන්න ගොඩක් දේවල් තියෙනවා දැන්. එක කලිසමයි ටී ෂර්ට් දෙකයි අරන් ආවෙ.. මේක තාත්ත ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගේම ජයග්‍රහණයක් මේක.
-
මෙතැනින් එහාට ධනුෂ්කගේ ගමන් මඟ කොහොමද?
ලබන ඉරිදා (ජූලි 13 වැනිදා) මගේ ගම ඇඹිලිපිටියට මම යනවා. ඉන්පසුව දෙරණ නාලිකාවේ වැඩ කිහිපයකටම දායක වෙන්න සැලසුම් කරලා තියෙනවා. මේ වැඩකටයුතු ටික අවසන් වුණාම තමයි මං ගැන හිතන්නේ. මම කැමතියි ලංකාවේ දක්ෂ ගායකයෙක් වෙන්න. අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන ජෝතිපාල මහත්මයා වගේ ආදරණීය චරිතයක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ජෝතිපාල මහත්මයා වගේ දක්ෂයෙක් වෙන්න බැරි වුණත්, ඒ ආසන්නයට හෝ යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
-
තාත්තා වගේම ඔබට අතහිත දුන් තවත් කෙනෙක් ඉන්නවා නේද?
ඉන්නවා. ඒ මගේ පෙම්වතිය. ඇය මට මේ තරගය පුරාවටම උදව් උපකාර කළා. ඇත්තටම, ඇය මාව ගොඩක් හොඳින් තේරුම් ගත් තැනැත්තියක්. පසුගිය කාලයේදී මම හිතුවටත් වඩා කාර්යබහුල වුණා. නමුත්, ඒ හැම අවස්ථාවකදීම මාව දිරිගැන්වුවා.
-
මේ තරගයේදී ඔබ වටා පිරිසක් එකතු වෙලා හිටියා. කොහොමද තරගයෙන් පස්සෙ ඔවුන්ගෙන් ලද ප්‍රතිචාර?
ඒකනම් වචනයෙන් කියන්න අමාරුයි. මොකද, මේ ජයග්‍රහණය මගේ වුණාට ඔවුන් හිතන්නේ මේක ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලා. ඇත්තටම, ඒක නිවැරදියි. ඔවුන් මනාප ලබා නොදෙන්න මට මේ කිරුළ අද හිමිවෙන්නේ නැහැ. මේ හැම කෙනාටම මගේ නිහතමානී කෘතවේදීත්වය මේ මොහොතේදී පිරිමනවා. ඒ වගේම තමයි අද මාව මේ තැනට ගෙනාපු දෙරණ ආයතනය. ඔවුන්ට වගේම මාව ඉහළට ඔසවා තැබූ සියලුම මුද්‍රිත මාධ්යයන්ටත් ස්තුති කරන්න මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා.
සම්බන්ධතා ගිලිහුණු යුගයක පිය පුතු සබැඳියාවක තතු කියාදුන් එම් ජීගේ පියා සමගිනුත් කතා බස් කරන්නට අපි අමතක කළේ නෑ. එම් ජීගේ පියා වන මහගමගේ දයානන්ද මහතාද පැවසුවේ මෙවන් අදහසක්.
"මම අවුරුදු තුනක් තිස්සේ ඉඳලා පුතත් එක්ක හැමදාම පුදුම මහන්සියක් දැරුවා. කුලී වැඩ කරගෙන තමයි දරුවා මේ තත්ත්වෙට ගෙනාවේ. මට දැනෙන්නේ හිතාගන්න බැරි සතුටක්. පොඩි කාලෙ අවුරුදු පහේ ඉඳල පුතාට සංගීතය පිළිබඳ පුදුම හැකියාවක් තිබුණා. මුලදි මහණවෙන්නත් අදහසක් තිබුණා. මෙයාට කවිබණ හොඳට කියන්නත් පුළුවන්. මෑතක සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලත් හිටියා. ඩ්‍රීම්ස්ටාර් ආපු හතරවෙනි වතාව තමයි මේ.
මගේ පුතා නොකරපු දෙයක් නෑ.. ගොවිතැන්, කුලී වැඩ ,නියරවල් බඳිනෙක, ගොයම් පාගන එකට අමතරව තමයි සංගීතය හැදෑරුවේ. මුලදි මහණවෙන්න ඇහුවට පස්සෙකාලෙක සිවුරු ඇරියොත් ඒකත් ප්‍රශ්නයක් නිසා පස්සෙ සංගීතයට මෙයාගෙ තිබුණු ආසාවත් වැඩි නිසා මං කිව්වා පුතාගෙ ආසාවනෙ සංගීතය ඒක කරන්න කියල. එතනින් එහාට මං කුලී වැඩ කරල ඒ වෙනුවෙන් උදවු කළා".
-
මං පුතාගෙන් අබමල් රේණුවක දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
"එයාටම හිතිලා තමයි මේ ගමන ආවේ.. මමත් ඉතින් එයට උදවු කළා. අම්ම අවුරුදු 12 ක් රට හිටියේ . අවසාන මහා තරගෙට තමයි ආවේ.අවුරුදු 12 ක්ම මේ තුන්දෙනාව හදාගත්තා. මෙයා වැඩිමලා. දූල දෙන්නා. දූවල දෙන්නාම විවාහකයි.. ගමේ අය, මගේ මල්ලි, ලසන්ත මන්ත්‍රීතුමා ආදී සියලු දෙනාම නොසෑහෙන්න උදවු කරලා තමයි මේ තත්ත්වෙට ගෙනාවෙ. මගේ බලාපොරොත්තුව තිබුණෙ අවසාන දහදෙනාට ගේන්න.
පුතාගෙන්නං දැන්මං මුකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. මගේ අතපය හතර හයිය තියෙනවනෙ තාම. පුතාගෙන් මං අබමල් රේණුවක දෙයක්කත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මට ජීවත් වෙන්න පුළුවන්. මට නෙවෙයි රටට යමකුයි ඔහු කරන්න ඕන.. ඔහු හොඳ නිර්මාණ කරන්න ඕන .ඒක තමයි මගේ බලාපොරොත්තුව".
කතාබහ- බුද්ධික සේනාධීර / ඉඳුනිල් සින්දු / ඡායාරූප - චානුක කුලසේකර