මවකට මෙලොව ඇති වටිනාම සම්පත වන්නේ ඇයගේ දරුවායි. විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ සුළු අසනීපයක් පවා මහමෙරක් ලෙස ගෙන කටයුතු කරන්නේ දරුවාට ඇති අසීමිත ආදරය නිසාමය. කුඩා දරුවෙකුගේ ආහාරපාන වර්ධනය ආදී කරුණු ගැනද මවුවරු විශාල ලෙස අවධානය යොමුකරති. එවන් පසුබිමක සෑම කරුණක් ගැනම වෛද්‍යවරුන් මුණගැසී විමසිය නොහැකි හෙයින් බොහෝ මවුවරුන් දරුවාගේ පෝෂණය හා වර්ධනය පිළිබඳව සේම සුළු රෝගාබාධ ගැන පවා අතිශය ළතවෙනු දැකගත හැක.
මෙවන් පසුබිමක 'ආදරයේ පළමු පාඩම' නම් වැඩසටහන ශානක මාලියද්දගේඅධ්යක්ෂණයෙන් සෑම ඉරුදිනකම සවස 5.00 ට ස්වාධීන
රූපවාහිනිය ඔස්සේ විකාශය වන්නේ තම දරුවා ගැන ළතවෙමින් සිටින ඔබට අස්වැසිල්ලක් වීම උදෙසායි. මෙම වැඩසටහන සුවිශේෂී වන්නේ මෙරට ප්‍රකට චරිතයක් වන යෙහාලි සංගක්කාර එක්කරගෙන තිබීමය. මේ යෙහාලි සමග එම රූපවාහිනී අත්දැකීම ගැන සහ වැඩසටහන පිළිබඳව කළ සංවාදයකි.
-
ඔබගේ ටෙලිවිෂන් ආගමනය සිදුවුණේ මොන විදිහටද?
ශානක මට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න සම්බන්ධ වෙන්න කියල යෝජනාව ගෙනෙන විට මම කැමරාවට ලැජ්ජ කෙනෙක්. මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මුලින්ම කැමති වුණේ මේ වැඩසටහනේ ආකෘතිය නිසයි. මොකද මවුවරුන් ගැනයි මෙතනදි කතා කරන්නෙ. ඒකෙ ආසාවට තමයි මම ශානකට කිව්වෙ මම මේක කරන්නම් කියලා. එහෙම නැතුව ටෙලිවිෂන් ගැන අත්දැකීම් මට තිබුණෙ නැහැ. තිබුණේ එවැනි දෙයක් කරන්න බයක් විතරයි. මවුවරුන් පිළිබඳවත්, දරුවන් පිළිබඳවත් කරන වැඩසටහනක් නිසයි මම 'ආදරයේ පළමු පාඩම' සමග එක්වුණේ.
-
ඔබේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අද දැනෙන්නේ මොන විදිහටද?
මම මුලින්ම වැඩසටහන ඉදිරිපත් කරද්දි බයක් සහ සැකයක් එක්ක තමයි ඒ කටයුත්ත කළේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා තිබෙනවා. මේ වැඩසටහන හරහා අපි මවුවරුන් දැනුවත් කරනවා. මවුවරුන්ට සිය දරුවන් සම්බන්ධව විවිධ ප්‍රශ්න තිබෙනවා. ප්‍රායෝගිකව මටත් දරුවන් දෙදෙනා සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. මම හිතනවා අපි මවුවරුන්ගේ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදෙනවා කියලා. අපට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ බව පැහැදිලි වෙනවා. ඇත්තටම මම අද සතුටුවෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන.
-
මේ වැඩසටහන ඔබ මෙහෙයවන්නේ පිටපත අනුවද? නැත්නම් ඔබ ඇතුළාන්තයෙන් එන දේ අනුවද?
ශානක මාව මේ වැඩසටහනට තෝරාගන්න වෙලේ මට කිව්ව දේ තමයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නිරූපිකාවක් නෙවෙයි, ඔබ මවක් විදිහට ඔබේ අත්දැකීම් අන් අය සමග බෙදාහදාගැනීමයි කියන එක.
ශානක මාතෘකා ගෙන ආවම අපි මුලින් ඒ ගැන කතා කරනවා. ඉන්පස්සෙ මම ඒ ගැන අධ්‍යයනය කරනවා. ඒ වගේම ඊට අදාළව මට තිබුණු ප්‍රශ්න මොනවද කියන කාරණයත් මම අධ්‍යයනය කරනවා. මෙතනදි මම මගේ ඇතුළාන්තයේ තිබෙන ප්‍රශ්නත් වැඩසටහනට එක්කරනවා. ඒ හරහා මම හිතනවා මවුවරුන් සමග ගොඩක් සමීපවෙන්න අවස්ථාව ලැබෙනවා කියලා.
-
ඔබත් දරු දෙදෙනෙකුගේ මවක් සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් ලෙස පවතින කාර්යබහුලත්වය සමග මෙවන් වැඩසටහනකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
අපි ගැන දකින බොහෝදෙනෙක් හිතනවා ඇති අපට උදව් කරන්න සේවක සේවිකාවො ගොඩක් නිවසේ ඉන්නවා කියලා. මවක් ලෙස කොච්චර සේවක සේවිකාවො හිටියත් වැඩක් නැහැ, මගේ දරුවන්ගෙ කටයුතු මා අතින් සිදුවිය යුතුයි කියන තැන මා සිටිනවා. කොහොම වුණත් මේ වැඩසටහන කලින් පටිගතකර විකාශය කරන්නක් නිසා, මාසෙකට දින 03 ක් වැනි කාලයක් තමයි මේ වෙනුවෙන් කැප කළයුත්තේ. ඒ පසුබිම තුළ මට මගේ කාලය මගේ දරුවන් වෙනුවෙන් සහ සැමියා වෙනුවෙන් ලබාදෙන්න පුළුවන්. මෙතනදි මම හරිම වාසනාවන්තයි. මොකද මට මගේ මවගෙන්, පියාගෙන් මගේ සහෝදරයන්ගෙන් සහ කුමාගෙ පැත්තෙනුත් ලැබෙන සහය විශාලයි.
-
මේ වැඩසටහන් මාලාවේ මෙතෙක් පටිගත කළ වැඩසටහන් අතරින් ඔබව වඩාත් සංවේදී කළ වැඩසටහන මොකක්ද?
දැනට කරපු වැඩසටහන් අතරින් ගොඩක්ම හිතට දැනුණේ 'අබාධිත දරුවන්' සම්බන්ධව කළ වැඩසටහනයි. අපි හරි වාසනාවන්ත වෙලා තිබෙනවා නිරෝගී දරුවන් ලබන්න. නමුත් ආබාධිත දරුවනුත් මේ සමාජයේ සිටිනවා. ඒ දරුවන්ව මේ සමාජයට එකතු කරගන්නෙ කොහොමද කියන එක අපි ඒ වැඩසටහනෙන් කතා කළා. ඇත්තටම ඒ වැඩසටහන මාව ගොඩක් සංවේදී කළා.
ඡායාරූප - සමන් ජයතිලක