70 දශකයේ සිට කේමදාස මාස්ටර්ගෙ වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ අමරසිරි පීරිස්, ජෝතිපාලගෙ අභාවයට පෙර දවස ගැන ‘අද’ පුවත්පත සමගින් සංවාදයකට එක් විය.
“ එදා මට මතකයි කේමදාස මාස්ටර් කතා කරල කියනවා ජෝතිපාලගෙ සින්දු වගයක් තියෙනවා රෙකෝඩින් කරන්න කියල. එදා ජෝතිපාල සරමකුත් ඇඳගෙන ශබ්දාගාරයට ආවා, ‘අමරෙ අද මට හිටගෙන සින්ග් කරන්න බෑ - පුටුවක් තියපං’ කිව්ව.
හිටිය විදියට ජෝතිපාලට අමාරුයි කියල මට තේරුණා. ඒත් එක්කම හැමදාම බොන මල්පැණි වඩියත් ඔහු අසලින්ම තිබුණ. සින්දු කියන අතරතුර සරම කෙටි කරපු ජෝතිපාලයන්ගේ කලවා තද ලේ පාට වෙලා තිබුණ. මං නිකමට වගේ කලවාවලට ඇඟිල්ල තිබ්බ විතරයි ඇඟිල්ල යටට ගියා. ඒ අතරෙත් සෑහෙන්න අමාරු ගතියක් තමයි ජෝතිපාලගෙන් පෙනුණෙ. ඒ හින්දම මාස්ටරුත් කිව්ව මේ මනුස්සය වැඩි දවසක් ඉන්න එකක් නැහැ කියල. පටිගත කරන වෙලාවෙ ජෝතිපාල හරියට සින්දු කිව්වෙ නැහැ. මාස්ටරුත් කියනව මේකා අවුට් සින්ග් කරන්නෙ කියල එදා සින්දු දහයක් විතර පටිගත කළා. රෙකෝඩින් ඉවර වෙද්දි අපි හිතුවෙ මේවයින් එකක්කත් ගන්න පුළුවන් වෙයිද කියලයි.
හැබැයි පුදුමෙට රෙකෝඩින් එක බලද්දි කිසිම අවුට් සින්ග් එකක් නෑ. සේරම සින්දු හරියටම පටිගත වෙලා තිබුණා. ජෝතිපාලයන් සම්බන්ධව අදටත් මා පුදුම වෙන ඔහු සතුව තිබෙන අපටත් අදහගන්න බැරි දක්ෂතාව එයයි.”