2004 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය, සහාය නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබූ 'දාස මල්ලිගේ බංගලාව' නාට්‍යය ලබන 23 සහ 24යන දෙදින තුළ සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වසර දහයකට පසු නැවත වේදිකාගතවීමට නියමිතය. රුවන් මලිත් පීරීස්ගේ සහ කළණ ගුණසේකරගේ අධ්‍යක්ෂණයෙන් රංගගත වන මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජයන්ත මුතුතන්ත්රි, ධර්මප්‍රිය ඩයස්, නිල්මිණි බුවනෙක, රවිනි අනුරාධා සහ හේමන්ත ඊරියගම සෙසු චරිත නිරූපණය කරති. මේ 'දාස මල්ලිගේ බංගලාව' හි සම අධ්යක්ෂ රුවන් මලික් පීරිස් සමග කළ පිළිසඳරකි.
Q 'දාස මල්ලිගේ බංගලාව' තුළ ඇත්තටම මොනවද සිද්ධ වෙන්නේ?
මේක දාසගේ මුඩුක්කුව. දාස කියන්නෙ මාළු වෙළෙන්ඳෙක්. හැබැයි ඔහු ජීවත් වෙන්නෙ බිරින්ඳෑවරුන් අටදෙනෙක් සමග. දාසියන් වගේ තමයි ඔවුන් මේ මුඩුක්කුවෙ ජීවත් වෙන්නෙ. ඔවුන්ට නිවසින් එළියට යාම පවා තහනම්. ඒත් දාසට මේක රජ දහනක්. ඔහුට හැමදාම රෑ හතට කෑම ලෑස්ති වෙන්න ඕනේ. කෑම කාලා ඉවර වුණාම සලීම් බාවා එක්ක එකතු වෙලා ඩොල්කි ගහලා සින්දු කියන්න ඕනේ. ඉන්පස්සෙ නිදාගන්න යනකොට කකුල් මිරිකන්න ඕනේ. ඒක තමයි දාසගේ දින චර්යාව. ඒත් ඔහු ලබාගන්නා අටවැනි ගැහැනිය වන ලිච්ඡමි ඔහුව වෙනස් කරනවා. ඒ අනුව කිසිදිනෙක වෙනස් කළ නොහැකි දාස, ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒත් ඉන්පස්සෙ සිදුවෙන්නෙ අනපේක්ෂිත සිදුවීම් පෙළක්. ඒක දැනගන්න නම් නාට්‍යය නරඹන්නම වෙනවා.
Q වසර දහයකට පසුවයි නැවතත් මේ නාට්‍යය වේදිකාගත වෙන්නේ ?
අපි වරින් වර මේ නාට්‍යය රංගගත කරන්න උත්සාහ දැරුවා. ඒත් නිෂ්පාදකවරයෙක් නොමැති වීම නිසා ඒක යථාර්ථයක් කරගන්න බැරි වුණා. නමුත් නාට්‍යයක් නිෂ්පාදනය කළාට පසුව දිගින් දිගටම වේදිකාගත කළ හැකි තත්ත්වයක් නාට්‍ය කලාව තුළ ඇතිවෙන්න ඕනි. මොකද සර්වකාලීන නාට්‍යය තමයි නාට්‍ය කලාවේ රඳාපැවැත්ම තීරණය කරන්නෙ.
Q 'දාස මල්ලිගේ බංගලාව' මීට පෙර වේදිකාගත වීමේදි යම් බලපෑමකට ලක්වුණා නේද ?
ඔව්. ඒත් මේක ඉන්දියාව තුළත් ඇති වුණු තත්ත්වයක්. ඉන්දීය නිෂ්පාදනයේදී ප්‍රබල ලෙස මීට බලපෑම් ඇවිත් තිබෙනවා. ඒකට හේතුව මේ කතාවේ තිබෙන පෙළ. ඒක ආන්දෝලනාත්මකයි. මනුෂ්‍ය සිත තුළ තිබෙන ජඩ කුහකකම් තමයි මේ හරහා එළියට එන්නේ. හැබැයි උපහාසය, හාස්‍යය මතු කරමින් මේ නාට්‍යය ඉතා සාර්ථකව ඒ කාලෙ වේදිකාගත වුණා. විශේෂයෙන්ම මෙහි ඇතුළත් ධර්මප්‍රිය ඩයස් ගායනා කරන 'කෙවිලියෝ එනවා යනවා' ගීතය හුඟක් ජනප්‍රිය වුණා. අනික ගයාන් ගණකාධාරගේ සංගීතයත් විශේෂයි.
Q සංස්කෘතිය අතින් සමානකම් තිබුණත් ඉන්දීය නාට්‍යයක් ශ්‍රී ලංකාවට අනුවර්තනය වන අවස්ථා දුර්ලභයි?
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය සමානකම් තිබෙන බව ඇත්ත. ඒත් ඒ වගේම අපි සංස්කෘතිකමය වශයෙන් හුඟක් පරස්පර බවත් අමතක නොකළ යුතුයි. ඉන්දියාව තුළ භාෂා රාශියක් පවතිනවා. ජාතීන් රාශියක් ජීවත් වෙනවා. සංස්කෘතීන් රාශියක් පවතිනවා. ඔවුන්ගේ නාට්‍ය සංස්කෘතිය පවා වෙනස්. අවුරුද්දේ ග්‍රීස්ම සෘතුවේදී එක දිගට නාට්‍ය පෙන්වන සමාජයක් තමයි එහි තිබෙන්නේ. එක දවසට නාට්‍ය සියයක් වේදිකාගත වන අවස්ථා පවා තිබෙනවා. ඒ සඳහා හොඳ ප්රේක්ෂකාගාරයකුත් තිබෙනවා.
අනික ඔවුන්ගේ නාට්‍ය පැය කිහිපයකින් අවසන් වෙන්නේ නැහැ. අපට වුණත් මේ නාට්‍යයේ ඇතැම් පරිච්ඡේද එහෙම පිටින් ඉවත් කිරීමට සිදුවුණේ මේ හින්දයි. අපේ ප්‍රේක්ෂකාගාරය, ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරයට වඩා හුඟක් වෙනස්. බොහොමයක් නාට්‍ය නිෂ්පාදනය වෙන්නේත් නාට්‍යධර්මී ආකෘතියෙන්. හැබැයි ඒක තමයි ඔවුන්ගේ සංස්කෘතියත්. ඔවුන්ගේ නාට්‍ය සමාජය හා බැඳී තිබෙන්නේ එහෙමයි. හැබැයි ඉන්දියානු නාට්‍යය පරිවර්තනය වෙන්නේ කෙසේද, එහෙම නැත්නම් අනුවර්තනය වෙන්නේ කෙසේද, අධ්‍යක්ෂණය වෙන්නේ කෙසේද යන්න මත ඉන්දියානු නාට්‍යයක් අපටත් සාර්ථක කරගන්න බැරි නැහැ.
.