අද නළුවා කියන කෙනාට රඟපානවද රිලව් නටනවද කියල හිතන්න වෙනවා
කුඩා කාලයේදී පල්ලිය ඇසුරු කරමින් සංගීතය කරන ඔහුගේ ඒ ගායන හැකියාව නිසාම 'මනමේ', 'සිංහබාහු', 'ලෝමහංස', 'මහාසාර' වැනි මහාචාර්ය සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය රැසකම රංගන දායකත්වය සැපයූ ඔහු මේ වන විට වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නිර්මාණ යන මාධ්‍ය තුනේම රංගනයෙන් දායක වන්නේය.
ඔහු රිචඩ් මානමුදලිය. පසුගිය කාලයේ ගීතිකා සංයුක්ත තැටියක් 'ප්රේමයාණෝ ඔබයි' යන නමින් සමාජගත කිරීමෙන් ටික කලක නිහැඬියාවකට පසුව ඔහුගේ නාට්‍ය ත්‍රිත්වයක් මෙම මසදී වේදිකා ගතවෙයි. මේ කතාබහ ඔහු සමගයි.
Q ඔබේ නාට්‍යය තුනක් මේ මසදී වේදිකාගත වෙන්න නියමිතව තියනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?
ඔව්. කොළඹ නව නගර ශාලාවේ මෙම මස හයවැනිදා 'නාරි' නාට්‍ය වේදිකාගත වෙනවා. හත්වනදා මීගමුව පුරහලේ 'ඇත්තටම බොරු' වේදිකා නාට්‍යය වේදිකාගත වෙනවා. මැයි 21 මීගමුව පුරහලේ 'මාලක්කාරී' නාට්‍යය වේදිකාගත වෙනවා. මේ නාට්‍යය තුන වේදිකාගත කිරීම සංවිධානය කරන්නේ වෙනත් පිරිසක් විසින්. මේ දිනවල නාට්‍ය වේදිකාගත වෙනවා අඩුයි.
පවතින ආර්ථික රටාවත් එක්ක මිනිසුන්ට විනෝදය සඳහා වියදම් කිරීමේ හැකියාවක් තියනවදෝ කියන කාරණය ගැන හිතන්න වෙලා. ඒ වගේම විනෝදය සඳහා වෙන්කර ගත හැකි මානසික තත්ත්වයක් තියෙනවාදෝ කියන ප්‍රශ්නයත් තියෙනවා. මේ පවතින තත්ත්වය තුළ මිනිසුන්ට රසවින්දනයක් ලැබිය හැකි මුදලක්, අවස්ථාවක් වැය කරන්න හැකියාව අඩුයි කියලා මට හිතෙන්නේ. මෙය කලාවට විතරක් නෙමෙයි අනෙකුත් ක්ෂේත්රවලටත් අදාළයි.
Q මේ නාට්‍ය තුන හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නා වූ කාරණා ගැන කතා කළොත්?
නාරි නාට්‍යයට පදනම වෙන්නේ පදමානවක ජාතකය. ඒ ජාතක කතාව ආශ්රයෙන් නිර්මාණය කළේ මාතෘත්වය පිළිබඳව ප්‍රේක්ෂකයාට වැඩියෙන් දනවන්න. මෙම නාට්‍යය රචනා කළේ සෝමපාල ගුණධීර මහත්මයා. මවක් තුළ තිබෙන ආදරය ඉතා ගැඹුරින් සාකච්ඡා කරනවා. අද සමාජය තුළ මානුෂීය ගුණදම් වැළලෙමින් පවතිනවා.
මෑතකම ඊට උදාහරණ රැසක් අහන්න දකින්න ලැබුණා. මේ තරම් මිනිසුන්ගෙන් මානුෂීය ගුණදම් ඈත්වෙන්නේ ඇයි කියන කාරණය ගැන අප නැවත සිතිය යුතු වෙනවා. මගේ 'නාරි' නාට්‍යය ඒ කතාබහට එක් ප්‍රවේශයක් ලබාදෙයි කියලා මම හිතනවා. මෙය සංගීතවත් කළේ නවරත්න ගමගේ. අංගරචනය, නර්තනය කරන්නේ නුවන් තිසේරා.
'ඇත්තටම බොරු' නාට්‍යය තමයි මගේ අනික් නාට්‍යය. විඩාබරව ඉන්න මිනිසුන්ට සිනාසී යමක් දැනගන්න ඕන කරන වාතාවරණයක් ඇතිවුණා. මේ නාට්‍යයේ අන්තර්ගත වෙන්නේ මිනිසුන් මිනිසුන්ටම රැවටෙන, රැවටි රැවටි හිනාවෙන හිනාවෙලා අපි අඬන කාරණාවක්. අපි අපිටම රැවටෙන යථාර්ථය පසක් කරන විනෝදාස්වාදය ගෙන දෙන නාට්‍යයක් ලෙස මෙම නාට්‍යය නිර්මාණය කළේ.
'මාලක්කාරී' කියන්නේ මගේ අලුත්ම නාට්‍ය නිර්මාණය. 'මාලක්කාරී' හි පාදක කරගත්තේ ජාතක කතා තුළ එන කණවේර ජාතකය. එහි අන්තර්ගත වන අභිසාරිකාවකගේ සරණින් එක් චෞරයෙක් නිදහස ලබාගන්නවා. ඒ කතාව පාදක කරගෙන ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මම මාලක්කාරී නාට්‍ය නිර්මාණය කළා. අපි දේශපාලනය එක්ක බැඳිලා ඉන්න ලෝකෙක ජීවත් වනවා නම් හුස්ම ගැනීම පවා දේශපාලනිකයි.
දේශපාලන සත්ත්වයන් ලෙස අපිට අත්විඳින්න සිදුවෙලා තියන දරිද්‍රතාවයන්, පීඩනයන්, ක්‍රමිකව වැඩි වෙනවා. ඒ විග්රහයත් එක්ක මිනිසුන්ට රසාස්වාදයක් ගෙනෙන නාට්‍යමය අවස්ථාවක් ගොඩනගන්න මම උත්සාහ කළේ. බයිබලයේ පුරාණ ගිවිසුමේ එදා තිබුණේ ඇසට ඇස කියන සංකල්පය. එය අදට ගැළපෙන්නේ නැහැ. අද තිබෙන්නේ ඔබට ප්‍රේම කරමින් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න කියන කාරණය. එය අපට කළ හැකිද කියලා හිතන්න වෙලා තියනවා.
එසේ නොමැතිව කටයුතු කිරීම තුළ අපි වැනසී යනවා. දේශපාලනික ප්රහසනයත් එක්ක පහත රට කෝලම් නාට්‍ය සම්ප්රදාය තුළ එන ලෙන්චිනා, අණබෙර කෝලම වැනි චරිත කිහිපයකුත් වේදිකාවට නිර්මාණාත්මකව ගේනවා. මේ සඳහා නිරෝෂන් විජේසිංහ, සමන් හේමරත්න මුණසිංහ, ලක්ෂ්මන් මානවඩු, ජූඩ් නුවන් තිසේරා, සුනිල් තිලකරත්න, රංගන ප්‍රේමරත්න සම්බන්ධ වෙලා ඉන්නවා.
Q ඔබ දීර්ඝ කාලයක් වේදිකා නාට්‍ය හා සම්බන්ධ වී සිටිනවා. මේ කාල පරාසය තුළ ප්‍රේක්ෂකාගාරය නාට්‍ය කියවන ආකාරය ගැන ඔබේ අදහස කෙබඳුද?
ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වසර විසිපහකට පසු සොක්රටීස් නාට්‍යය වේදිකාගත වුණා. ටවර්හෝල්හි නාට්‍ය දර්ශනයක් පැවැත්වුණා. ප්‍රේක්ෂකාගාරයක් තිබුණට මට මතකයි මීට වසර විසිපහකට පෙර තිබූ ප්‍රේක්ෂකාගාරය සොක්රටීස් විසින් ගෙන එන සියුම් උපහාසයන් ඔවුන් හොඳට විඳගත්තා. සුනන්ද මහේන්ද්‍රයන් රචනා කළ පෙළත් එක්ක එහි සියුම් උපහාසාත්මක බවක් තිබුණා.
පවතින පැලැන්තියට ඉතා සියුම් ලෙස අභියෝගකර තිබුණා. නාට්‍යමය අවස්ථා හා නාට්‍ය දෙබස් බොහෝ තිබුණා. ඒවා නිවැරදිව ග්‍රහණය කරගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට හැකියාව ලැබුණා. ටවර් හෝල්හි මෑතක පැවැත්වූ නාට්‍ය දර්ශන දෙකේම ඇල්මැරුණු ස්වභාවයක් තමයි ප්‍රේක්ෂකාගාරයට දකින්න පුළුවන් වුණේ. දැන් ප්‍රේක්ෂකාගාරය නාට්‍ය කියවන ආකාරය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ වගේම එවැනි නාට්‍ය නිෂ්පාදනය කරලා ප්‍රේක්ෂකාගාරයට ගෙන යන්නේ කොහොමද කියන ගැටලුව තියෙනවා.
මේ තත්ත්වය ඇති වුණේ කොහොමද කියලත් හිතන්න වෙලා තියෙනවා. 1977 පසු විවෘත ආර්ථිකයත් එක්ක වෙනස් වුණා සේ යුද්ධය තුළින් පීඩාවට පත්වීමෙන් අනතුරුව මිනිසුන් ප්රහසනයම සොයන්න උත්සාහ කළා. විශේෂයෙන්ම විජය නන්දසිරි රංගන ශිල්පියා හරහා වේදිකාවේ සම්පූර්ණයෙන්ම ප්රහාසනාත්මකම නාට්‍යය රැසක් ඇති වුණා. ඒ නාට්‍ය රැල්ලත් එක්ක තවම එතනම රැඳිලා ඉන්නවාදෝ කියන ප්රශ්නය තියෙනවා. ඒ වගේම මට අත්දැකීමක් තියෙනවා. මම ටෙලි නාට්‍යයවල, හාස්‍යය දනවන නාට්‍යයවල රංගනය සිදුකරනවා.
ප්‍රේක්ෂකයන් ඒවට විශාල මනාපයක් දක්වනවා. කලාත්මක වශයෙන් නාට්‍යයමය වශයෙන් ආලෝකය ගැන පවා අවධානය යොමු කරමින් රංගනයේ යෙදුණ නාට්‍ය, බහුතරයක් නරඹා නැහැ. ඔවුන්ගෙන් ඒ ගැන ඇහුවාම ඔවුන් කියන්නේ “ප්‍රශ්න ගොඩක් එක්ක නිවසට යන අපිට තවත් ප්‍රශ්න ගොඩක් ඔළුවට දාගන්න ඕන නැහැ. ඔයගොල්ලන් කරන හිනායන කෑල්ලක් බලලා හිනාවෙලා කාලා නිදාගන්න එක තමයි අපි කරන්නේ” එහෙම කියනවා. එහෙම කියද්දි කලාකරුවන් වන අපිට රිදෙනවා.
කලාකරුවෙක් ලෙස මිනිසුන් හිනස්සන එක පමණක්මද කරන්න ඕන කියන කාරණය අපිට හිතෙනවා. අලුත් ගීත කලාවේ තියෙන්නේ හඬා වැළපෙන දේවල්, වේදනාව. විඳින්න ගීත නෑ. ටෙලි නාට්‍යවලත් පවුල් ප්‍රශ්න, අඬන දේවල්, වෛරය වපුරන එක සමාජගත වෙන්නේ. එහෙම ප්‍රේක්ෂකාගාරයක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ. මිනිසුන්ගේ නිර්මාණ කියවීම පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා.
Q ඔබ නාට්‍ය පාසලක් පවත්වන, රංගනය උගන්වන ගුරුවරයෙක්. මේ අවකාශය ඇතුළේ තමයි හෙට දවසේ මේ ක්ෂේත්රයට එන ශිල්පීන්ටත් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ?
අමාරු තත්ත්වයක් තියෙන්නේ. හැත්තෑව දශකයේ අග භාගය සහ අසූව දශකයේ මුල් භාගය ගත්තාම මිනිසුන් පුද්ගලික විචාරයට ලක්කරන නිර්මාණ තමයි දැක්කේ. මුල් කාලයේ කේ.බී හේරත් මහත්තයා (දෝන කතරිනා, දෙවැනි මහින්ද) කපිල කුමාර කාලිංග (නෙළුම් පොකුණ) වැනි විදග්ධ ගණයේ ප්‍රවීණ නාට්‍යකරුවන් දැඩි ලෙස සමාජ විග්රහයට ලක් කළ හැකි, දේශපාලන විග්රහයට ලක් කළ හැකි නිර්මාණ කළා.
අද වන විට ඒ කලාකරුවන් හැමකෙනෙක්ම නිශ්ශබ්දයි. අද එන ප්‍රේක්ෂකාගාරයේ ඉන්න පරම්පරාව නාට්‍ය ලෙස දකින්නේ මේ වෙද්දි සිදුකරන ප්‍රහසන නාට්‍ය කිහිපය විතරයි. විශ්වවිද්‍යාලවල පරණ නාට්‍ය කරනවා. ඒත් ඒවත් විශ්වවිද්‍යාලයට සීමා වෙනවා. එතැනින් එහාට සමාජගත වන්නෙත් නැහැ.
ඒ තත්ත්වය තුළ අලුත් නිර්මාණකරුවන්ට පේන්න තියෙන දේවල් අඩුයි. ඔවුන් තෙවැනි ඇසක් ලබාගන්නේ කොතැනින්ද කියන ප්රශ්නය තියෙනවා. නමුත් මෙහෙම දේකුත් තියෙනවා. මිනිසා පරපීඩාවට ලක්වෙන්න වෙන්න නිර්මාණ බිහිවෙනවා. ඉතිහාසයේ උදාහරණ තියෙනවා. රුසියන් විප්ලවයෙන් පසු නිර්මාණය වූ නිර්මාණ රැසක් තිබෙනවා. වර්තමාන තරුණ පරපුර නම් තාම එහෙම නෑ. දුර බලන්නෑ. ළඟ විතරයි බලන්නේ. සමාජයේ හර පද්ධතීන් විනාශ වෙනවා.
Q මේ කාරණාවට ජනප්‍රිය මාධ්‍යයත් හවුල් වෙනවා නේද? රංගන ශිල්පියෙක් ලෙස ඒ තුළ වගකීමෙන් කටයුතු කරන්න හැකියාවක් ලැබිලා නැද්ද?
අපි රංගන ශිල්පීන් ලෙස කරන්නේ මොනවද කියලා දෙපාරක් හිතන්න වෙනවනේ. දැන් විශාල මාධ්‍යයන් ප්‍රමාණයක් තියෙනවා. ඒ එක්ක අද නළුවා කියන කෙනාට රඟපානවද රිලව් නටනවද කියලා හිතන්න වෙනවා. අපි නිර්මාණ කරනවට වඩා විවිධ නාළිකාවල න්‍යාය පත්‍ර අස්සට ගිහින් අපි මොකද කරන්නේ. අපි ඕප දූප කියන්නන්, නිවේදකයන්, විහිළු සපයන්නන් බවට පත්වෙලා. මුදල මුල් කර ගත්ත සමාජ ක්‍රමය තුළ සල්ලි හම්බෙනවා නම් ඕන දෙයක් කරනවා කියන තැනට පත්වෙලා.
මීට පෙර නළුවා කියපු කෙනාට ගෞරවයක් තිබ්බා. සමාජය ප්‍රඥාව කරා ගෙනයන්න උවමනාවක් තිබ්බා. එහෙම දැනුවත් වූ කලාකරුවන් නිශ්ශබ්දයි. මුළුගැන්විලාද ගන්වලාද දන්නෑ. වෙනත් දේවල් කර කර හිටපු අය රංගන ශිල්පීන් වෙලා. නළුවෙක් ලෙස මම මොකක්ද කරන්න ඕන කියන එක තෝරන්න වෙලා. හොඳ නිර්මාණ ගැන හිත හිතා ඉන්න කාලයක් නැහැ.
විකට නාට්‍ය කොමඩිවලට මාව ගන්නවා. පිටපතකුත් නෑ. විහිළු දෙක තුනක් කර ගන්නවා. ඒ ගෙදරට තුනපහ ටික ගන්න. මටත් පවුලක් ඉන්නවා. එහෙමයි කියලා අපේ වගකීම පැහැර හරින්නත් බෑ. ඒ වගේම මෙහිදී මගේ බිරිඳ සහ දරුවන් හතර දෙනා විශේෂයෙන් මතක් කළ යුතුයි. කලා කටයුතු වලට ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
077 3 555 830
(15 ඩී, කේ සී පුර, තිඹිරිගස්කටුව)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

