මේ දිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් අතරින් විශේෂ පුවතක් වන්නේ හැරී කුමරුගේ විවාහය පිළිබඳවයි. ජනප්‍රිය නිළි මේගන් මාකල් සහ හැරී කුමරුගේ විවාහය අනිද්දා (19දා) සිදුවීමට නියමිතව තිබේ. ඒ ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථානයේදීය. දේවස්ථානයේ සිදුවන චාරිත්‍රවලට පසුව සවස් යාමයේ සාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ ෆ්‍රොග්මෝර් හවුස් නම් විවාහ උත්සව ශාලාවේදීය. මෙම විවාහය සඳහා දළ වශයෙන් වියදම පවුම් 500,000ක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. රාජකීය විවාහය වෙනුවෙන් මංගල ඇඳුම් නිර්මාණ කිරීමට ඊශ්‍රායල් ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන ඉන්බාල් ඩෝර් ඉල්ලීමක් කර තිබේ. නමුත් 2018 ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍ය ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන ස්ටුවර්ට් පාවින් හට ඇඳුම් නිර්මාණය කිරීම සඳහා බාර දී තිබේ.
හැරී කුමරු හා මේගන්ගේ විවාහයට මේගන්ගේ පියා වන තෝමස් මාර්කල් සහභාගී නොවන බව වාර්තා වන අතර, 73 වැනි වියේ පසුවන ඔහුට හෘදයාබාධයක් වැළඳී තිබේ. ඒ හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂණ සඳහ යොමු කර ඇති අතර, ඉන්පසුව ඔහුට ඒ සම්බන්ධව සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මේ කාරණා හේතුවෙන් ඔහු තම දියණියගේ විවාහ උත්සවයට සහභාගී වී ඔවුන් අපහසුතාවට පත් කිරීමට අකමැති බව ප්‍රකාශ කර තිබේ.
රාජකීය විවාහය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වීමත් සමගින් ඇතැම් ගොසිප් වෙබ් අඩවි ඔස්සේ හැරී කුමරු අත ගැනීමට සැරසෙන මේගන් පිළිබඳව විවිධ තොරතුරු පළකරයි. ඒ අතරින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්වන්නේ මේගන්ගේ පැරණි පෙම්වතුන් පිළිබඳ පළවන පුවත්ය.
ද සන් නම් වෙබ් අඩවියක් ඔස්සේ ඇයගේ පැරණි පෙම්වතුන් හයදෙනෙකුගේ නම් ප්‍රසිද්ධ කර තිබේ. එම පෙම්වතුන් අතරට ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් සයිමන් රෙක්ස්ද ඇතුළත් බව සඳහන් වෙයි. මේ කාරණා හේතුවෙන් ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මේගන්, රජ පවුලට එකතු වීම හරහා රජ පවුලේ කිර්ති නාමයට හානියක් සිදුවන බවයි. මෙම කාරණාවත් සමගින් අනිද්දා සිදුවීමට නියමිත විශේෂිත කටයුත්තක් පිළිබඳවද විදෙස් මාධ්‍ය අනාවරණය කරනු ලබයි. ඒ හැරී කුමරුගේ සහ මේගන්ගේ රුවට සමාන ඉටිරුවක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමයි. හැරී කුමරුගේ ඉටිරුව මීට වසර 04කට පෙර නිර්මාණය කර තිබේ. ඒ 2014 වසරේදීය. ඔහුගේ 30 වැනි උපන්දිනය වෙනුවෙන් නිර්මාණය වූ එම ඉටිරුව නැවත වැඩිදියුණු කර තිබේ. ඒ ඔහුගේ නව පෙනුම ඊට එකතු කරමිනි. එහිදී ඔහුගේ මුහුණට මේ වනවිට ඇති රැවුල් විලාසිතාව එක්කර ඇති බවයි සඳහන් වෙන්නේ. හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ ගිවිස ගැනීමේදී ඔවුන් දෙදෙනා ඇඳ පැලඳ සිටි ඇඳුම්වලට සමාන ඇඳුම් මෙම ඉටිපිළිම සඳහා යොදා තිබේ. ඊට අමතරව මොවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේදී හැරී කුමරා විසින් මේගන් වෙත පැලඳූ දියමන්ති මංගල මුදුවට සමාන මුදුවක්ද යොදා තිබේ. හැරී කුමරුගේ ඉටිරුව නැවත වැඩිදියුණු කිරීමට සහ මේගන්ගේ ඉටිරුව අලුතින්ම නිර්මාණය කිරීමට ඇමෙරිකානු ඩොලර් 204,000ක මුදලක් වැයවී තිබේ. මෙම රුව ලන්ඩනයේ සහ නිව්යෝර්ක්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
මේගන් සහ හැරීගේ මෙම සම්බන්ධය ආරම්භ වූයේ 2016 ඔක්තෝබර් මාසයේදීය. මේ බව මාධ්‍ය විසින් අනාවරණය කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේදීය. ඉන්පසු 2017 පෙබරවාරි මාසයේ හැරී විසින් මේගන්ගේ සහ තමාගේ ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබේ. ව්‍යාපාරික කාන්තාවක් වූ මේගන් 2016 වසර තෙක් රංගන කටයුතු සඳහා දායක වූවාය.
මෙම විවාහය පිළිබඳව විදෙස් මාධ්‍ය මෙන්ම ඉන්දියානු මාධ්‍යද වැඩි අවධානයක් යොමුකර තිබේ. ඒ රාජකීය ආරාධනාවක් ලැබූ එකම ඉන්දියානු නිළිය ප්‍රියංකා චොප්රා නිසාය. ප්‍රියංකා චොප්රා, මේගන්ගේ හොඳම යෙහෙළියක් වීම ඉතාමත් ගෞරවයක් බවයි ප්‍රියංකා චොප්රා පවසන්නේ. මේගන්ගේ විවාහය වෙනුවෙන් සිය ඇඳුම නිර්මාණය කිරීමට ප්‍රියංකා ඇඳුම් නිර්මාණ කණ්ඩායමක් පත්කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මෙම විවාහ උත්සවය වෙනුවෙන් ඇයට නිර්මාණය කරන ඇඳුම පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇති බවත්, ඇඳුම් නිර්මාණ කණ්ඩායම එම කටයුත්ත සාර්ථකව සිදුකරන බවත් ඇය පවසා තිබේ.
මේගන් සහ හැරී යුවළ පිළිබඳ විවිධ පුවත් මැවුණද, අද වන විට ඇය හා හැරී කුමරු අතිනත ගෙන හමාරය. හැරී කුමරුගේ මෙම විවාහ මංගල්‍යය සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක් වේවිද යන්න ලොව පුරා මාධ්‍යවලට ප්‍රශ්නාර්ථයක් වී තිබේ. එංගලන්ත රජ පවුලේ අයෙක් ඇමෙරිකානු සිනමා නිළියක් හා විවාහ වීමෙන් රජ පවුලේ සංස්කෘතියට යම් හානියක් වේද, ඇමෙරිකානු නිළිය සැබැවින්ම 'බ්‍රිතාන්‍ය කුමරියක්' බවට පත්වේද යන්න එංගලන්තය පුරාවටම කතාබහට ලක් වී ඇති ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.