සඳුන් පෙරේරා යනු මේ වන විට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු බවට පත්ව හමාරය. පසුගියදා එළිදැක්වූ ඔහුගේ නවතම ගීතය වන වරද පිළිගන්නවා ගීතය මේ වන විට විශාල රසික ප්‍රතිචාර සහිතව ජනප්‍රියත්වයට පත්ව ඇත. එම ගීතයේ ඕඩියෝව පමණක් මේ වන විට එළිදක්වා ඇති අතර, ඒ පිළිබඳ සහ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඔහු මෙලෙස %අද^ට සම්බන්ධ කර ගතිමු.
Q ‘වරද පිළිගන්නවා’ ගීතය ගැන මුලින්ම කතා කළොත්
‘වරද පිළිගන්නවා’ කියන ගීතය තමයි මගේ අලුත්ම ගීතය. මම ගොඩක් කාලයකට පස්සේ කරපු මේ ගීතය එළිදක්වලා තියෙනවා. ගොඩක් ආසාවෙන් කරපු ගීතයක්. මගේ ජීවිතේ වෙනස් කරපු ‘ආයෙත් වරක්’ ගීතය වගේම, මාව රසික රසිකාවියන් අතර රැන්ඳූ ගීතයක් වන ‘පූජා කරන්නම්’ ගීතය වගේ ගීතවලින් ඔබ අතර ඉන්න ගමන් මට ආසාවක් ආවා වෙනස් ගීතයක් කරන්න. ගොඩක් කාලයක් මහන්සි වුණා අලුත්ම ගීතයක් ඔයාලට ලබා දෙන්න.
Q ඇයි කාලයක් වැය වුණේ නැවත ගීතයක් කරන්න
මෙහෙමයි, ගීත කිහිපයක්ම කරන්න අදහස් තිබුණා. ගොඩක් ගීත අත්හදා බැලුවා මොන ගීතයද දාන්නේ කියලා. ඒ ගීත මගේ රසිකයන්ට දෙන්න සුදුසු නැහැ කියන මට්ටමක මම හිටියා. මම වගේම මාත් එක්ක එදා ඉඳන්ම මගේ පිටිපස්සේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඒ අය තමයි මාව මැනේජ් කරගෙන මේ ගමන යන්න උදවු කළේ. ලහිරු අයියා, සජිත් අයියා, ප්‍රිහාන් ඇතුළු ඒ පිරිස තමයි මගේ හැම වැඩකටයුත්තක් සඳහාම සහයෝගය දෙන්නේ. ඒ අයගෙත් අනුදැනුම ඇතුව තමයි මේ ගීතය නිර්මාණය කළේ සහ එළිදක්වන්න හිතුවේ.
Q ඔබගේ ගීත ඇයි විරහවට පමණක් සීමා වෙන්නේ
මගේ ගීත විරහවට පමණක් සීමා වෙන්නේ නැහැ. සමහර කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන් මේ දක්වා නිර්මාණය කරලා තියෙන ගීත නිසා. බොහෝම සාධාරණයි එහෙම හිතෙනවා නම්. ඉතින් මම මේ ක්ෂේත්රයට එන්න කලින් කොහොමද රසිකයන් අතරට යන්නේ, ඔවුන්ගේ ආදරය ලබන්නේ සහ ඔවුන් අතර ඉන්නේ කියන කාරණා ගැන හොයලා බලපු කෙනෙක්. එහෙම දේවල් ගැන හොයද්දි තමයි හිතුණේ රසිකයන් ආදරය කරන සහ ඔවුන් කැමැති දේ දුන්නොත් තමයි ගොඩාක් ඉක්මනට ඒ අය අතරට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ හින්දා විරහ ගීතයකින් මම ක්ෂේත්රයට එනවා. ඊට පස්සේ විරහ ගීතවලින් මම මේ ක්ෂේත්රයේ රැඳී ඉන්නවා. දැන් ගොඩක් දෙනෙක් සඳුන් පෙරේරාව දන්නවා. ඉතින් මම හිතනවා දැන් නිදහසේ ගීත නිර්මාණය කරන්න අවශ්‍ය වටපිටාව හැදිලා තියෙන්නෙ කියලා. මම දැන් සූදානම් ඔයාලා ආදරය කරන විදියේ වෙනස්ම ගීත කිහිපයක් ඔයාලා වෙනුවෙන් දෙන්න.
Q රැල්ලට පමණක් ඔබ ගීත නිර්මාණය කරනවා කියලා කවුරු හරි චෝදනා කළොත්
නැහැ. මම රැල්ලක් පස්සේ දුවන්නේ නැහැ. හැබැයි ගොඩක් අය මට ඒ චෝදනාව කරන්න පුළුවන්. ඒ දෙයට මට කියන්න තියෙන්නේ මිනිස්සු ඉල්ලන දේ අපි දෙන තරමට තමයි ඒ අය අපට ආදරය කරන්නේ, අපිත් එක්ක රැඳිලා ඉන්නේ. මිනිස්සු විරහ ගීත ඉල්ලන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒ ලොකු බොරුවක් වෙනවා. මොකද එහෙම වුණා නම් මම වගේ සාමාන්‍ය කෙනෙක් ඔයාල අතරට ඇවිත් මෙහෙම රැඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ ගීත මේ තරම් ආදරයෙන් වැලඳ ගන්නෙත් නැහැ කියලා. සමාජ මාධ්‍යවල, මගේ ගීතවලට තියෙන නැරඹුම් ප්‍රමාණයත් ඒ දේවල්වලට සාක්ෂි වෙනවා. ඒ නිසා ඒ ආදරය කරන පිරිස ඉල්ලන ගීත සපයන එක ගායකයාගේ යුතුකමක්. ඒ දේ මම කරනවා.
Q ඔබ වේදිකාව තුළ මාර්කට් වෙලාද දැන්
ඇත්තටම මම ඒක ගැන කියන්න දන්නේ නැහැ. තමන්ට කියලා යම්කිසි දෙයක් කරගන්න එකම මාර්ගය වේදිකාව තමයි. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක්, ලෝයර් කෙනෙක් රස්සාවක් කරලා තමන්ට පඩියක් හම්බවෙනවා වගේ ගායකයෙක් තමන්ගේ කාර්යය කරලා ලබා ගන්නා දේ තමයි වේදිකාවෙන් අපට හම්බවෙන්නෙ. වේදිකාව කියන දේ ගායකයාගේ ජීවිතය සවිකර ගන්න අත්‍යවශ්‍ය දෙයක්. වේදිකාවේද, රූපවාහිනියේද, ගුවන්විදුලියේද මගේ වටිනාකම තියෙන්නෙ කියලා දන්නේ මගේ රසිකයන් තමයි.
Q වේදිකාව ඉලක්ක කරගෙනද ගීත නිර්මාණය කරන්නේ
නැහැ. මම කවදාවත් වේදිකාව ඉලක්ක කරගෙන ගීත නිර්මාණය කරන්නේ නැහැ. රසිකයන් මගෙන් ඉල්ලන විදියේ ගීත තමයි මම නිර්මාණය කළේ. මොකද රසිකයන් ආස කරන විදියේ නිර්මාණ දුන්නෙ නැත්නම් අපට මේකෙ රැඳෙන්න බැහැ. නමුත් වේදිකාවට අවශ්‍ය ගීතත් නිර්මාණය විය යුතුයි. ඉස්සරහට ඒ කාර්යය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රසංග වේදිකාවේදී කොච්චර හිතට දැනෙන ගීත කිව්වත්, අවසානයේදී රසිකයන් බලාපොරොත්තු වෙන්නේ කකුල් දෙකට දැනෙන ගීතයි. කකුල් දෙකට දැනෙන ගීතත් ගායනා කරන්න වෙනවා අන්තිමේදී. ඒ නිසා ඒ වගේ ගීත නිර්මාණය කරන්න වෙනවා. මගේ සින්දු දෙකකට සැරයක්වත් එක වේග රිද්ම ගීත නිර්මාණය කරන්න ඕන.
Q අවසාන වශයෙන් ඉදිරි කටයුතු ගැන කිව්වොත්
ගොඩක් වෙනස් විදියේ ගීත නිර්මාණය කරලා රසිකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය විදියට ප්‍රසංග වේදිකාවේ කටයුතු හුඟක් සතුටින් කරගෙන යනවා. මගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීනයක් තමයි ලංකාව වටේම සහ ලෝක වටේම ප්‍රසංග වේදිකාවලට සහභාගි වෙන්න. ගොඩක් දුරට ඒ දේ සාර්ථක වෙලා තියෙනවා. ඉදිරියේදී ජීවිතේ තව ලස්සනට එකලාසයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු විදියටම අම්මා, තාත්තා, නංගි, අක්කා ඇතුළු පවුලේ වැඩකටයුතු තියෙනවා. මගේ ජීවිතේ විශේෂ කරන කෙනෙක් එනවා. ලස්සනට ජීවිතේ කරන්න ගොඩක් බලාපොරොත්තු වෙනවා.