අද මැවිල්ලෙන් දියුණු වෙච්ච අය බොහෝ ඉන්නවාය. නොයෙක් දේවල් මැවිල්ලට දස්ස අය එමටය. මැවිල්ලට දස්ස අයට ඉන්ද්‍රජාලිකයන් යැයි කිව්වත් එයට වඩා මැවිය හැකි අපේ මිනිස්සු ඉන්නවාය. හැබැයි හැම දේම මැවිල්ලට සල්ලි නම් අවශ්‍යමය. සල්ලි බාගෙ අතමිටේ තියෙන අයට ඕනෑ ඕනෑ දේවල් මවා පෙන්වන්නට පුළුවන්ය. &අතමිට කාසි පනම් - හොඳ හැටි තියෙනව නම් හිටගෙන දිව්‍ය ලෝකෙ මවන්නම්* කියලා කියන්නේ එහෙම දිව්‍ය‘ලෝක මවන්න පුළුවන් අය ඉන්න නිසාය.
සමහර දෙනා දස්ස වැඩ කිරිල්ලට නොව වැඩ මැවිල්ලටය. එහෙම වැඩ මවලා පෙන්වලා නොයෙක් දේවල් ලබා ගන්නා අය සිටිනවාය. පොඩි වැඩ ලොකු වැඩ බවට මවලා තමා ලොකු වැඩකාරයෙක් බවට පෙන්වන්නට සමහරුන් අති දක්ෂය. වැඩ කරලා වෙහෙසෙන අයට වැඩිය වැඩ මවන කෙනාට නොයෙක් වරප්‍රසාද ලබා ගන්නට පුළුවන්ය.
ලෝකය මැවිල්ල මහා බ්‍රහ්මයාගේ වැඩක් බව ඒ කාලේ බමුණෝ කීවෝය. මහා බ්රහ්මගේ හිසෙන් බමුණන්ද, උරහිස්වලින් රජවරුද, දෙකලවාවලින් වෛශ්‍යයන්ද, දෙපාවලින් ශුද්‍රයන්ද මැවූ බව බ්‍රාහ්මණ ධර්මයේ සඳහන්ය. ක්‍රිස්තු ධර්මයේ සඳහන් වන්නේ ලෝකය මැවිල්ල දෙවියන්ගේ වැඩක් බවය. මිනිසුන් පමණක් නොව සතා සීපාවා, ගංගා මුහුදු, ගහ කොළ, පර්වත ආදියද දෙවියන්ගේ මැවිලි බව ඒ ආගමේ උගන්වනවාය. දෙවියන් වහන්සේ ලෝකයේ මුල්ම මිනිසා වන ආදම් මුලින්ම මවා ඊළඟට ඔහුගේ ඉල ඇටයකින් ඒවා නමැති ගැහැනිය මැවූ බව සඳහන්ය. දෙවියන් වහන්සේ සියල්ල මැවූ නිසා මිනිසා උන් වහන්සේගේ අණට කීකරුවීම දේව සාපය වැදිල්ලක් වෙනවාය. එහෙත් බුද්ධාගමේ උගන්වන්නේ කිසිවකු කිසිකෙනෙකුට මවන්නට බැරි වගය. තමා මවන්නේ තමා විසින්ම බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවාය.
අහසේ මාලිගා මැවිල්ට සූදානම් වන අයද බොහෝය. අහසේ මාලිගා මවලා කෙල්ලන් මුළාවේ දමලා තමාට අවශ්‍ය දේ ඉටු කර ගන්නා කොල්ලන්ද ඉන්නවාය. අහසේ මාලිගා මැව්වත් ඒවායේ පදිංචියට යන්න බැරුව දඟලන අයද එමටය. සිහින මාලිගා මවලා අෙනක් කෙනා රවටන අය ඉන්නවාය. මැවූ සිහින මාලිගා බිමට කඩා වැටුණු විට ඔවුන්ට සිදු වන්නේ එයට යට වී මිය යන්නටය.
සල්ලි මැවිල්ලට පුළුවන් අයද ඉන්නවායි කියනවාය. ඉක්මණින් පොහොසත් වෙන්න කැමැති අය සල්ලි මවන්නට උත්සාහ කරනවාය. එක දෙකක් කරලා මවන්නට පුළුවන් යැයි කියන කපටින්ට අසු වූ විට සිදුවන්නේ මැවිල්ල කෙසේ වෙතත් අතේ තියන රුපියලද නැතිකර ගන්නටය.
ඇලඩින්ගේ පුදුම පහනෙන් නොයෙක් දේවල් මැවිල්ලට පුළුවන් වුණාය. කුසගිනි දැණුනු විට හොඳ කෑම මේසයක් මැවිල්ලට වගේම දියමන්ති මාලිගාවක් මැවිල්ලටද ඇලඩින්ට පුළුවන් වුණේ මේ පහන නිසාය. අදටත් ඇලඩින්ගේ ඒ පහනෙන් ප්‍ර‘යෝජන ගන්න පුළුවන් නම් නොයෙක් දේවල් මවලා අපේ රට සුර ලොවක් කරන්නට පුළුවන් වෙනවාය.
දර කපන්නට කැලේට ගිය දුප්පතාගේ පොරොව වැවට වැටුණු විට දෙවියන් ඔහුට රත්රන් පොරොවක් මවා දුන්නේය. මේ කතාව ආරංචි වී දෙවියන්ගෙන් රත්රන් පොරොවක් මවා ගන්න ගිය කපටියාට සිදු වූයේ තමන්ගේ අතේ තිබුණු පොරොවද අහිමි කර ගන්නටය. දෙවිවරුන්ට වගේම සමහර යක්ෂයන්ටද විවිධ දේවල් මවන්නට පුළුවන්ය. කතරගම දෙවියන්ට මුහුණු සයක් හා අත් දොළසක් මැවිල්ලට පුළුවන් වගේම මහසොහොන් යකාට දහ අට සන්නියක් මවන්නට හැකිය. දිව්‍ය‘ ලෝකයේ දෙවිවරුන් මැවෙනවා මිස උපදින්නේ නැත්තේය.
එහෙත් මේ සියල්ල පරදවා නොයෙක් සමයං මැවිල්ලට අපේ තරුණියන් කප් ගහලා තියෙනවාය. තමන්ට නැති දේවල් ඇති බව පෙන්වීමට මැවිලි කරන්නට ඔවුන් හරි දස්සය. එහෙම නැති දේවල් ඇති හැටියට මැවිල්ලෙන් තරුණයන් අමාරුවේ දමන්නට ඔවුන් පුරුදු වී සිටිනවාය.
බොරුකාරයන් වචනයෙන් බොහෝ දේවල් මවනවාය. අල්ලේ පැළවෙන බොරු මැවිල්ල දස්ස අයද ඉන්නවාය. ඒ මැවිලිවලට අහුවෙන අය අමාරුවේ වැටෙනවාය. විජ්ජාකාරයන් නොයෙක් දේවල් මවා පෙන්වනවාය. හිස් පෙට්ටියකින් පරෙවියෙක් මැවිල්ලට වගේම බිත්තර කටුවකින් කුකුළු පැටියෙකු මවන්නටද විජ්ජාකාරයාට පුළුවන්ය. විජ්ජා කරුවන් පරාජය කරමින් බොරු මවන්නට බොරුකාරයන් දස්සය. ඔවුන් මවන අල්ලේ පැළවෙන බොරු විශ්වාස කරන කෙනා අමාරුවේ වැටෙනවාය. පව් ගස් යට ගිරිය කඩාගෙන කෑගහන තෙල් බේත් වෙළෙන්දන් නොයෙක් බෙහෙත් ජාති මවා දෙනවාය. ඒත් ඒවා බොරු මැවිලි බව වැටහෙන්නේ පාවිච්චි කර අමාරුවේ වැටුණාට පසුවය. ඒත් ඒවා බොරු මැවිලි බව වැටහෙන්නේ පාවිච්චි කර අමාරුවේ වැටුණට පසුවයි. සෘද්ධියෙන් අතට බෙහෙත් මවන සාත්තරකාරයන්ද සිටිනවාය. ඔවුන් අතට මවා දෙන බෙහෙත් ජාති ගෙදර ගෙන ගොස් පාවිච්චි කළ විට සිදුවෙන්නේ තවත් අමුතු රෝග ඇතිවිල්ලය.
තමන්ට හැබැහින් ලබා ගන්න බැරි දේවල් හිතේ මවාගෙන සතුටුවන අයද ඉන්නවාය. බොහෝ දුප්පතුන්ට අද සිදුව ඇත්තේ තමන් කැමති දේවල් හිතේ මවාගෙන සතුටු වන්නටය. එයට හේතුව ඔවුන් හිතේ මවන දේවල් කවදාවත් ඇත්තට නොලැබෙන නිසාය. සමහර මත්කුඩු වර්ග පාවිච්චි කළ පසු නොයෙක් දේවල් තමන් ඉදිරියේ මැවෙන බව කියනවාය.
සමහර පත්තරකාරයන් පුවත් මැවිල්ලට හරි දස්සය. සමහරුන් අල්ලේ පැළවෙන බොරු පුවත් මවලා පත්තරේ පළ කරලා වැඩියෙන් අලෙවි කර ගන්න බලනවාය. එහෙම පුවත් මැවිල්ලට වැඩි ආයුෂ නැත්තේ ඇත්ත එළිවුණ පසු සියල්ල කඩා වැටෙන නිසාය.
&මැවිලා පෙනේවි රූපේ....* ආදී එදා ජනප්‍රිය ගීතවලින් කියැවුණේ තරුණ සිත්වල විවිධ රූප මැවෙන බවය. එහෙම මැවෙන රූප මකා දමන්න බැරි වූ විට තරුණ තරුණියන් අමාරුවේ වැටෙනවාය. රූප මැවිල්ලට අද නම් කප් ගහලා තියෙන්නේ රූප පෙට්ටියයි. ඒකේ මැවෙන රූපවලට වශී වන අය මුළු දවස තිස්සෙම රූප පෙට්ටිය ඉස්සරහට වෙලා භාවනා කරනවාය.
පසුගිය ඡන්දවලදී අපේ ඇතැම් දේශපාලුවන් බේස්ලට්, චුවින්ගම් මැවුවාය. අද නම් අපිට වඩා වටිනා දේවලුත් මැවිල්ලට දස්සය. මැතිවරණයක් ළං වන විට දේශපාලුවන් ඡන්දදාසලාට නොයෙක් දේවල් මවලා පෙන්වනවාය. එහෙත් ඒවා ඇත්තටම මැවිලි බව වැටහෙන්නේ ඡන්දයෙන් පස්සෙ දේශපාලුවන්ද මවන්නට සිද්ධ වෙන කොටය.