2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය නොපැවැත්වුවේ නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජිමය විසින් පසුගිය වසර දෙක තුළ මෙරට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණේ නම්, විය යුතුම පරිදි සිදුවිය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත් වීමය.
2015 මාර්තු 29 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් යෙදවීමට නියමිතව තිබූ සම්බාධක පැන වූයේ නම්, එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුද අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය, ඉන්ධන හිඟය, ඖෂධ හා විදේශ මුදල් හිඟය වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණාවලින් රට අවුල් ජාලයක් බවට පත් වීමට ඉඩ තිබිණි.
වාසනාවකට මෙරට ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර, එවකට පැවැති අන්තදූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදන් වන, මහමග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතීත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජිමය පිළිබඳ අවබෝධ කර ගත්තේය. මෙම අවාසනාවන්ත තත්ත්වය තේරුම් ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.
එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරද වීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර, අඩුම තරමින් කාර්යක්ෂමව, අවංකව වැඩ කරන ජනාධිපතිවරයෙකු වුවද බලාපොරොත්තු නොවීය.
එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිවරයා මෙම තනතුරට ගැළපෙනවාද, නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳ වගේවගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධුරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධුරයේ පැවැත්ම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියලු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබාදුන් පොරොන්දුව මතය. එබැවින් මෙරට ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මෙරට ගොඩදමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී මෙරට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙළක් ජනතාව හමුවේ නොතිබුණු අතර, ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙළ රාජපක්ෂ රෙජිමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබාදෙන බවය. ජනවාරි 08 'යහපාලන ජනවරම' එයයි.
රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහමැතිවරණය තුළිනි. එහිදී මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබාදුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර, ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මෙරට කුරාකූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේ නම් හෝ ඒ සඳහා උඩගෙඩි දෙන්නේ නම්, ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, ව්‍යාපාර ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොරගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශය මෙරට සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඬබෙර ගසයි.
විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහෝදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහිකිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම 'කජු කනවා' වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතු වී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගාගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධුරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය නම්, අනිවාර්යයෙන්ම ලබාගත හැකිය.
වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධුර අතහැර, විපක්ෂයට යාමට කැමැති නොවනු ඇත. අනෙක් අතින් යූ.එන්.පී. කාරයන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඬීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.
යූ.එන්.පී. කාරයන්ගේ කන්කෙඳිරියට රැවටී තම අනාගතය අහිමිකර ගත් අය අතර, දයාසිරි ජයසේකරගේ සිට කරු ජයසූරිය දක්වා බොහෝදෙනෙක් සිටිති. මේ අනුව අවසාන වශයෙන් මා හට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි.