බොන අයට පොවන්නට ඕනෑ නැත්තේය. එයට හේතුව ඒ ගොල්ලන්ට නොපෙව්වාට බොන්න පුළුවන් නිසාය. ඒත් සමහරුන් කරන්නේ බොන්න පුළුවන් අයටත් වද කර කර පොවන්නට යෑමය. අනුන්ගේ මඟුල් ගෙවල්වලදී එහෙම බලෙන් පොවන්නට යන්නේ ආදරය පෙන්වන්නටය. එහෙම පෙරැත්ත කර කර පොවලා කර්පට් වුණාම පෙව්ව එකා එක්කත් ඇවිලෙන්න යනවාය.
ආණ්ඩුව කරන්නේ මත්පැන් පොවලා ජනතාව ලෙඩ කරන එකය. ආණ්ඩුවේ අරක්කු කොච්චර පෙව්වත් වැරැද්දක් නැතිවුණාට හොර පොළවල අරක්කු නම් බීමත්, ළඟ තබා ගැනිල්ලත් දඬුවම් ලබන වැරදිය. මිනිස්සුන්ට අරක්කු පෙවිල්ලෙන් ආණ්ඩුව ලබන ආදායම අරක්කු පොවලා ලෙඩ වෙච්ච මිනිස්සු ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට දැම්මාම බෙහෙත් පොවන්නට වියදම් කරනවාය.
අරක්කුවලට වැඩියෙන් සැර ලෝදිය පෙවිල්ල කරන්නේ අපායේ වැටුණාමය. අරක්කු බීමේ පවට අපායට වැටුණු එකාට යමපල්ලන් එහිදී පොවන්නේ ලෝදියය. ඒත් අරක්කු බීලා පුරුදු එකාට අපායේදී ලෝදිය පෙවිල්ල අමාරු නැත්තේ දෙකම එකවාගේ හින්දාය. සමහර අය අරක්කු පෙවිල්ලට කියන්නේ ගිනිවතුර පෙවිල්ල කියලාය.
අම්මලා දරුවන්ට පොවන්නේ කිරිය. ඉස්සර නම් කිරි පෙව්වේ මවගේ තන පුඩුවෙන්ය. එහෙත් අද ළදරුවා අඩන කොට කිරි පොවන්නේ රබර් සූප්පුවෙන්ය. සමහර අම්මලා ළදරුවන්ට තනකිරි නොපොවන්නේ තනකිරි පෙවූ විට ඉක්මනට මහලු වෙන හින්දා යැයි කියනවාය. තනකිරි වෙනුවට පිටිකිරි පොවලා හදන දරුවන්ට ජාතික කැක්කුමක් නැතැයි කියනවාය. එළදෙන පැටියාට පොවන කිරිටික බලෙන් දොවා ගන්නා අපි ඒ කිරි අපේ දරුවන්ට පොවන තරමට අකාරුණික වෙලා තියෙනවාය.
සතා සර්පයාට කිරි පොවලා ඇති දැඩි කිරිල්ල බොහොම නරකය. සමහර අය කැලෙන් අල්ලාගත් සර්පයන්ට කිරි පොවලා ලොකු මහත් කරන්නේ නිකං හුරතලයට වගේය. කැලෙන් අල්ලා ගෙන, කූඩුවක දමා, කිරි පොවමින් නයි පැටියකු ඇති දැඩි කළ තාපසයාට අන්තිමට සිදුවුණේ උගේ දළ පහරින් මිය ඇදෙන්නටය. මූසිලයා තමන් සමග වීණා වාදන තරගයට ඒම ගැන උරණ වූ ගුත්තිල පඬිවරයා කිව්වේ &මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විෂගොර සප්* කියලාය. එයින්ද පෙනෙන්නේ විෂඝෝර සර්පයන්ට කිරි පොවලා ඇති දැඩි කෙරුවත් කිසි කෙළෙහි ගුණයක් නැති බවය.
දරුවන්ට පොවන්නට කිරිපිටි ගන්න සල්ලි නැති දුප්පත් අම්මලා දරුවා කෑ ගසනවිට කොත්තමල්ලි වතුර පොවනවාය. කොත්තමල්ලිවල පෝෂණය නැති නිසා ඒවා පොවලා හදන දරුවන්ට මන්දපෝෂණය වැලඳෙනවාය. හාල් කිලෝව රුපියල් සියයට නැගලා හින්දා දරුවන්ට කැඳ පොවන්නටද අම්මලාට අමාරුය. පහුගිය යුද්ධ කාලයේ යාපනේ දරුවන්ට කැඳ පොවන්නට සිද්ධ වුණේ ගොවිතැන් පාළු වෙච්ච හන්දාය.
ගඟේ වැටුණු විට පෙවෙන්නේ වතුරය. ගඟේ වැටුණු එකා මිය යන්නේ වතුර පෙවිල්ල හින්දාය. කිරි පෙවිල්ල ලේසි වුණාට කසාය පෙවිල්ල නම් හරි අමාරුය. තිත්ත රස කසාය පොවන්නට දරුවන්ට වගේම වැඩිහිටියන්ටද අමාරුය. දැන් නම් ලෙඩ වුණාම බොහෝ දෙනෙකුට පොවන්නේ ඉංග්රීසි බෙහෙත්ය. පතඅට එකට හිඳවා කසාය කෝප්පයක් පොවනවාට වඩා එක බේත් පෙත්තක් පෙවිල්ලෙන් ගුණ ගන්නට පුළුවන්ය. කුඩා දරුවන්ට බේත් පොවන්නට අමාරු පොවන දේ පිටගිරියේ යන නිසාය. නාසය මිරිකලා පෙව්ව විට පිටගිරියේ යන්නේ නැතැයි අම්මලා කියනවාය.
සමහරුන් වස බොනවා වෙනුවට අනුන්ට වස පෙවිල්ලට දස්සය. තම දරුවන් දෙදෙනාට වස පොවා තමාද වස බී මියගිය අම්මා කෙනෙකු ගැන පසුගියදා පත්තරවල පළවුණාය. එහෙම දරුවන්ට වස පෙව්වේ ඒ අය කන්න බොන්න නැතුව දුක් විඳින හින්දායයි ඒ අම්මා මැරෙන්නට පෙර ලිපියක් ලියා තබා තිබුණාය.
පෙරේතයන්ගේ උගුර ඉතාම කුඩා හින්දා උන්ට කිසිවක් පොවන්නටත් අමාරුය. &උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්* කියලා කියන්නේ සුරඟගේ වැටුණත් වතුර නොපෙවෙන නිසාය.
සමහර දරුවන්ට මොනවා පෙව්වත් දැනුම පොවන්නට බැහැයි කියනවාය. කොච්චර උත්සාහ කළත් මොළේ නැති සිසුවාට දැනුම පොවන්නට ටියුෂන් ගුරුවරයාටත් බැරිය.
මොනවා පෙව්වත් අමාරුම පෙවිල්ල පණ පෙවිල්ලය. මිය යන්නට පණ අදින කෙනාට පණ පෙවිල්ලම කාටවත් බැරිය. ඇඟට පණනැති වනවිට වැඩක් කරවා ගන්නට නම් පණ පෙවිල්ලට සිදුවෙනවාය. සමහර අයට හැමදාම එකම වැඩක් භාර දුන් විට කාර්යක්ෂමතාව අඩුවෙන නිසා පණ පොවන්නට ඕනෑ වෙනවාය. පණ ඇති මිනිසුන්ට පමණක් නොව පණ නැති ආයුධද නිතර පාවිච්චි කර මුවහත මොට්ට වූ විට පණ පොවන්නට සිද්ධ වෙනවාය. ආයුධ පණ පොවන්නේ ගිනියම් වෙනතුරු රත්කර තළා ගැනීමෙන්ය. කම්මල්කාරයා ආයුධය පණ පොවන්නට මයින හම ඇදලා ගින්දර අවුළුවා ගන්නවාය. ගිනිගලේ අල්ලලාද ආයුධ පණ පොවන්නට පුළුවන්ය. ආයුධ පණ පොවන්නට සිද්ධ වෙන්නේ වැඩිය වැඩ ගැනීම නිසා මුවහත මොට්ට වූ විටය. ඒත් වැඩ නොකර මොට්ට වූ එකාගේ මොළය ගිනි අඟුරුවලින් රත් කරලාවත් පණ පොවන්නට නම් බැරිය. අද සිංහලයාට මෙහෙම වෙලා තියෙන්නේ ඒ අයගේ මොට්ට වෙච්ච මොළය පණ පොවන්නට කවුරුවත් උත්සාහ නොකරන නිසා යැයි කියනවාය.
නරකම පුරුද්ද අනුන්ගේ දේවලට අත පෙවිල්ලය. සමහරු පුරුදු වෙලා තියෙන්නේ තමන්ට කොච්චර තිබුණත් අනුන්ගේ දේවල්වලට අත පොවන්නටය. එහෙම අනුන්ගේ දේවලට අත පොවන්නට ගිහිං අමාරුවේ වැටුණු අය බොහොම ඉන්නවාය. සමහර ලොකු රටවල්ද වෙනත් රටවලට අත පොවන්නට හරි දස්සය. ඇමෙරිකාව ලොව අනිත් රටවලට අතපොවන්නට ගිහිං මේ සැරේ නම් ට්රම්ප් අමාරුවේ වැටුණේය. අපේ දේශපාලුවන්ටද සිද්ධ වෙන්නේ ඡන්දය ඉල්ලලා ඡන්දදාසලාට අත පොවන්නටය. ඒ අය ඡන්දයෙන් ජයගත්තාට පසු අත පෙවූ ඡන්දදාසලාට සිද්ධ වෙන්නේ අත පොවනවා වෙනුවට ඒ අය කන දිහා බලාගෙන අත ලෙව කන්නටය.