චීනය අතීත සේද මාර්ගය යළි සක්‍රීය කරමින් දියත් කරන %One Belt One Road^ දැවැන්ත ආර්ථික ක්‍රියාවලියේදී අප්‍රිකානු රටවල් ඉදිරියේදී චීනය සමග එක්ව කටයුතු කරනු ඇතැයි පසුගියදා අනාවරණය විය. ඇතැම් බටහිර රටවල් ඇතැම් අප්‍රිකානු රටවලට දැඩි පීඩනයක් එල්ල කරමින් චීනය සමග ඇති ගනුදෙනු නවත්වා දමන්න යැයි දන්වා සිටියද, එම රටවල් චීනයෙන් ඉවත් වීමේ අදහසක නොමැති බව වාර්තා වේ. පසුගිය දිනවල නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ සංචාරයක යෙදුණු චීන - අප්‍රිකානු සංසදයේ විශේෂ නියෝජිතයාට අනුව කිසිදු අප්‍රිකානු රටවක් බටහිර රටවල බලපෑමට යටත්ව චීනය සමග සිදු කරන ගනුදෙනු නතර කිරීමට සූදානමකින් නොමැත.
චීනය තමන්ගේ සේද මාවත ව්‍යාපෘතිය අප්‍රිකාවට ව්‍යාප්ත කළේ 2015 වසරේදී දකුණු අප්රිකාවේදීය. ජොහැනස්බර්ග් නුවර පැවැති චීන අප්‍රිකානු සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මේ බව අනාවරණය කළ අතර, එහිදී අප්‍රිකානු කලාපයට ඩොලර් බිලියන 60ක් ණය ලෙස හෝ වෙනත් ආධාර වශයෙන් ලබාදීමට චීනය සූදානම් බව ෂී ජින්පින් ප්‍රකාශ කළේය. මේ සමගම අප්‍රිකානු කලාපයේ චීනය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වන්නට වූ අතර, අප්‍රිකාව චීනය දෙසට නැඹුරු වීම නොරිස්සූ බටහිර රටවල් අප්‍රිකාව තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට අවශ්‍ය පීඩනය යොදන්නට විය.
මෙසේ පීඩනය යෙදුවද, අප්‍රිකානු කලාපයේ රටවලට බලපාන පොදු ප්‍රශ්නයක් විය. ඉන් පළමු වැන්න නම්, ජාත්‍යන්තර සංවිධාන හරහා ණය සහ අාධාර ලබා ගැනීමට අප්‍රිකානු රටවලට ඇති අපහසුවයි. අප්‍රිකාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවාට බටහිර රටවල් සහ ඔවුන්ගේ තීරණ මත ක්‍රියාත්මක වන ආධාර සහ ණය ලබා දෙන ආයතන අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් විශ්වාසයකින් කටයුතු කළේ නැත. මේ තත්ත්වය මත චීනයේ තීරණය අප්‍රිකානු රටවල් වඩාත් කැමැත්තෙන් බාර ගත්තේය. විශේෂයෙන් අප්‍රිකානු රටවල යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියට චීනය වඩාත් කැමැත්තෙන් යොමු විය. එහෙත් චීනය ලබාදෙන ණය ආපසු ගෙවීමට හැකියාවක් අප්‍රිකාවට නොමැති යැයි මතයක්ද මේ වන විට නිර්මාණය වී තිබේ. මෙහිදී බටහර රටවල් චෝදනා කරන්නේ චීනය ආපසු ගෙවන්නට බැරි ණය ලබා දෙන බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එම රටවල් තමන් ලබා ගන්නා ණය මුදල නිවැරදි ආකාරයෙන් කළමනාකරණය නොකිරීමය. එය ණය ලබා දෙන්නාගේ වරද නොව ණය ලබා ගන්නාගේ වරද බව බැලූ බැල්මටම පැහැදිලිය.
කෙසේ වුවද බටහිර රටවල් මෙම ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම විවේචනය කරමින් සිටියි. මේ මාසය මුලදී වොෂින්ටනය මූලික කරගත් ගෝලීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය පවසා සිටියේ, පාකිස්තානය, ලාඕස්, මාලදිවයින, මොන්ගෝලියාව, මොන්ටෙනෙග්‍රෝ, තජිකිස්තාන්, කිරිගිස්ථාන් සහ ජිබුටි යන රටවල ණය ප්‍රමාණය චීන ණය සමග බරපතළ ලෙස වර්ධනය වී ඇති බවයි. එසේම චීනයේ ක්‍රියාවලිය රටවල් කොළනි බවට පත්කර ගැනීමක් යැයිද බටහිර රටවල් චෝදනා කරමින් සිටියි. එහෙත් මේ ක්‍රියාවලියේ අනෙක් පස දෙස බලන විට පෙනී යන්නේ අප්‍රිකාවෙන් ලබාගන්නා ලාබ සම්පත් අහිමි වීමේ තර්ජනයකට බටහිර රටවල් පත්ව ඇති බවයි. මේ නිසා ඉදිරියේදී තමන්ට ඇති විය හැකි අර්බුදයෙන් මිදීමට චීනය අප්‍රිකාවෙන් ඉවත් කිරීමට මෙම රටවල් උත්සාහ දරමින් සිටියි.
කෙන්යාවේ නයිරෝබි සිට මෝමබාසා දක්වා දිවෙන දුම්රිය මාර්ග පද්ධතය මෙහි එක් දැවැන්ත ව්‍යාපෘතියකි. මෙගාවොට් 600ක විදුලියක් ජනනය කරන උගන්ඩාවේ කරුමා ජලවිදුලි බලාගාරය තවත් ව්‍යාපෘතියකි. මෙවැනි ව්‍යාපෘති තම රටට අවශ්‍ය යැයි අදාළ රටවල් තීරණය කිරීමෙන් පසු චීනය ණය ලබාදීම සිදු කරයි. One Belt One Road ක්‍රියාදාමයට වඩාත්ම දායක වී සිටින්නේ නැගෙනහිර අප්‍රිකානු රටවල්ය. කෙන්යාව, ටැන්සානියාව, ඉතියෝපියාව, ජිබුටි සහ ඊජිප්තුව මෙහිදී කැපී පෙනෙයි. මෙම රටවල් තුළ චීනය සැමටම දැනෙන ආකාරයේ ආයෝජන මේ වන විට සිදු කර තිබේ.
මෙහිදී වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ ජිබුටිහි වරායයි. අප්‍රිකානු කලාපයේ සුවිශේෂී ස්ථානයක එනම්, රතුමුහුද සහ සූවිස් ඇළ යාකරන ස්ථානයේ පිහිටි ජිබුටිහි වරාය චීනයට ලැබීම ගැන ඇමෙරිකාවේ දැඩි උනන්දුව පසුගිය කාලයේ යොමුවිය. අප්‍රිකාවේ අග ලෙස හැඳින්වෙන ජිබුටිහි ඇමෙරිකාව සිය හමුදා කඳවුරු පවත්වාගෙන ගියේ කාලයක සිටය. එය අප්‍රිකාවේ විශාලම ඇමෙරිකානු හමුදා කඳවුරද වෙයි. එහෙත් චීනය ජිබුටි වරාය, නව දොරාලේ වරායේ කටයුතු චීනය මැදිහත්ව වර්ධනය වීමත් චීනය පළමු වරට තම රටෙන් පිටත හමුදා කඳවුරක් ඇති කරන මධ්‍යස්ථානය ලෙස ජිබුටි තෝරා ගැනීමත් නිසා ඇමෙරිකාව කලබලයට පත්විය. එහෙත් පසුගිය සතියේ ජිබුටිහි මුදල් ඇමතිවරයා ප්‍රකාශයක් කරමින් පැවසුවේ ජිබුටි වරායේ කටයුතුවලින් ඇමෙරිකාව ඈත් කිරීමේ කිසිදු උත්සාහයක් තමන්ට නොමැති බවයි. තම රට සංවර්ධනය කිරීමට රටට හිතවත් රටවලින් ආධාර ලැබීමේදී එය ලබා ගැනීමේ වරදක් තමන් නොදකින බවද ඇමතිවරයා පවසා තිබිණි.
අපි වැඩ කරන්න ඕන කා සමගද කියලා කවුරුවත් අපට කියලා දෙන්න අවශ්‍ය නැහැ* යැයි ජිබුටිහි මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශය ඇමෙරිකාවට වැදුණු දරුණු පහරක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති. මේ සියලු තත්ත්වයන් නිසා තමන්ට උදවු නොකර සූරාගෙන කෑ අප්‍රිකාවට චීනයෙන් ලැබෙන සහනයට විරුද්ධ වන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගේ අකැමැත්ත ක්‍රමයෙන් ලියලමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ.