පහත දැක්වෙනුයේ මාගේ මිත්‍රයෙකුගේ නිවසකදී අසන්නට ලැබුණු කතාවකි. එය ලංකාවේ දූෂණය හා නාස්තිය පිළිබඳව මෙන්ම දූෂිත දේශපාලඥයන් ගැන කියැවෙන ප්‍රහසනයෙන් යුත් කතාවකි. "ලංකාවේ ඇමතිවරයෙකු එංගලන්තයට ගියා. එහිදී එංගලන්තයේ අමාත්‍යවරයා අපේ ඇමතිට ඔහුගේ නිවසට රාත්‍රී කෑමකට ආරාධනා කළා. අපේ ඇමතිත් ඔන්න දතකට මැදගෙන ගියා එංගලන්තෙ ඇමතිවරයගෙ ගෙදර. හරිම ලස්සනයි. තට්ටු 05යි. ලංකාවෙ ඇමතිට හරිම පුදුමයි. 'කොහොමද මෙහෙම විශාල මන්දිරයක් හැදුවෙ?' ලංකාවේ ඇමතිවරයා එංගලන්තෙ ඇමතිතුමාගෙන් ඇහුවා 'එන්නකෝ උඩට යන්න' කියලා උඩම තට්ටුවට ඒ කියන්නේ පස්වැනි තට්ටුවට එක්කන් ගියා. 'ඔයාට පේනවද අර ගඟ ඒ ගඟේ පාලමක් තියනවා නේද?' එංගලන්ත ඇමති ලංකාවේ ඇමතිගෙන් ඇහුවා.
'ඔව් ඉතින්' ඉතින් කියන්නේ ඒ වගේ පාලම් හදපු නිසා ඒකෙන් ලැබුණු කොමිස් එකෙන් තමයි මම මේ ගේ හැදුවේ' යැයි එංගලන්තේ ඇමති කිව්වා. ලංකාවෙන් ගියපු ඇමති එංගලන්තේ ඇමති මිතුරාට ලංකාවට එන්න කියලා ආරාධනා කරන්න අමතක කළේ නෑ. කොහොම හරි මේ ආරාධනාව පිළිඅරගෙන එංගලන්තෙ ඇමතිත් ලංකාවෙ ඇමති මිතුරා බලන්න ආවා. මෙන්න බොලේ ලංකාවෙ ඇමතිගෙ ගෙදර දැකලා එංගලන්තෙ ඇමති පුදුම වුණා. තට්ටු 10යි. 'කොහොමද මේක හැදුවේ.?' එංගලන්තෙ ඇමති ලංකාවෙ ඇමතිගෙන් ඇහුවා. 'එන්නකෝ උඩට යන්න.' ඔන්න දෙන්නත් එක්කම උඩම තට්ටුවට ගියා. ලංකාවේ ඇමති මෙහෙම කිවුවා එංගලන්තෙ ඇමතිට. 'අර ඈත ගඟක් තියෙනවා නේද? ඒකේ පාලමක් තියනවා නේද?' ලංකාවෙ ඇමති අහනවා. 'නෑනේ කොහෙද පාලමක් තියෙන්නේ?' එංගලන්තෙ ඇමති පුදුමෙන් අහනවා. 'ඒ පාලම තමයි මේ' කියලා ලංකාවෙ ඇමති කියද්දී එංගලන්තෙ ඇමතිට හීන් දාඩිය දැම්මා".
මෙය කතාවක් වුවද මෙහි ඇතුළත ලංකාවේ සිදුවන දූෂණය අල්ලස පිළිබඳ මහා ඛේදාන්තයක් කියැවේ. ජනාධිපති සිරිසේනගේ කාර්යමණ්ඩල ප්‍රධානියා හා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ මහානාමද, චන්ද්‍රිකා බන්ඩාරනායකගේ හිටපු ලේකම්වරයෙකු වූත්, දැව සංස්ථාවේ සභාපතිවරයා වූත් පී. දිසානායකත් පසුගියදා අල්ලස් ගනිද්දී අතටම හසුවිය. තව කීදෙනෙක් මෙසේ අල්ලස් ගන්නවා ඇතිද? මේවාට යාන්ත්‍රණයක් තිබේද, ප්රශ්නය ඇත්තේ එතැනය. දේශපාලඥයන් අල්ලස් ගැනීම පිළිබඳ ලංකාවේ ඇත්තේද ඈතට දිවගිය ඉතිහාසයකි.
ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත් වූයේ 1936දීය. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මන්ත්‍රීවරු 50ක් තේරී පත්විය. මෙලෙස 1936දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 8 දෙනෙකුට, එනම් ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු 05 දෙනෙකු හා ආණ්ඩුකාරයා විසින් පත්කළ මන්ත්‍රීවරු තිදෙනෙකුට එදා අල්ලස් චෝදනා එල්ල විය. මන්ත්‍රීවරු අල්ලස් ගත් බවට ඔප්පු වී ඇතැයි අනාවරණය වන්නේ 1943 අප්‍රේල් 03දා රාජ්‍ය නීතිඥ එල්.එම්.ඩී ද සිල්වා මහතා ආණ්ඩුකාරවරයා වෙත බාරදුන් අල්ලස් කොමිෂන් සභා වාර්තාව මගිනි.
මෙසේ එදා චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් වූයේ කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව, නුවර මන්ත්‍රී ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර, බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී.සී. ගුණසේකර, බලන්ගොඩ මන්ත්‍රී එච්.ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය මඩකලපුව මන්ත්‍රී ඊ.ආර්. තම්බිමුත්තු හා ආණ්ඩුකාරවරයා පත්කළ මන්ත්‍රීවරුන් වූ එච්.ඊ. නිවුන්හැම්, එච්.එෆ්. පාර්පිට්, ඊ.සී. විලියර්ස් යන අයය.
ඩී.සී. ගුණසේකරට එල්ල වූ චෝදනාව වූයේ බස් රථ අයිතිකරුවන්ගෙන් එනම් නෙල්සන් නමැති බස් යෝජනා ක්‍රමයෙන් රුපියල් 25ක අල්ලසක් ගැනීමයි. එවකට වතු අයිති ඉංග්‍රීසි ජාතිකයන්ගේ බලපරාක්‍රමය බිඳ දමා හා සුදු ජාතික පැලෝස් ගොර්ඩ්න්ව වැඩි ඡන්ද 9372කින් පරාජය කර බණ්ඩාරවෙල ආසනය දිනාගත් ඩී.සී. ගුණසේකරට රුපියල් 25ක් හේතුවෙන් සිය ධුරය හැර යන්නට සිදුවිය. චාල්ස් බටුවන්තුඩාවට එල්ල වූ චෝදනාව වූයේ අරක්කු රේන්දකරුවන්ගෙන් රුපියල් 200ක අල්ලසක් ලබා ගැනීමයි. ආර්. තම්බිමුත්තු හා එච්.ඒ. ගුණසේකරට එල්ල වූ චෝදනාව වන්නේ නැගෙනහිර මාතලේ ප්‍රදේශයේ රටේ මහත්තයා තනතුරට එල්.බී. රත්නායක නමැත්තාව පත්කිරීමට මුදල් ලබාගත් බවයි.
එච්.ඊ. නිවුන්හැම්ට මෙන්ම ඊ.සී. විලියර්ස්ට රුපියල් 2000 බැගින් අල්ලස් ගැනීමේ චෝදනා එල්ලවිය. ඒ වගේම නුවරඑළිය මන්ත්‍රී ඊ.ඩබ්. අබේගුණසේකරට එල්ල වූ චෝදනාව වූයේ රුපියල් 500ක අල්ලසක් ගැනීමය.ඒ එදාය නමුත් අද එහෙම වෙන්නේ නැත. එදා අල්ලසක් ගත්තා නම් මන්ත්‍රී නැත්නම් ඇමති ගෙදරය. අද අල්ලස් අරගෙන එළියට ගියපු එක මන්ත්‍රීවරයෙකු හෝ නැත. අද මෙවැනි දූෂිත වූ ඇමතිවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවරක් ගැනීමට තරම් කොන්ද පණ තිබෙන ආයතනයක්ද නැත. එදා පාපැදියෙන් පැමිණි දේශපාලඥයෝ අද ප්රකෝටිපතියෝය. අතේ පිච්චිය නැතිව කොළඹට පැමිණි සමහර දේශපාලඥයන්ගේ වත්කම් ඇත්තේ ලංකාවේත් නොවේය. සේල්ස් රෙප්ලාට එංගලන්තයේ ගෙවල් ඇත. 'ටෙන් පසන්ට්ලා'ටත් ඇක්ෂන් නැත. ලංකාවේ නීතිය ඒ තරමට දේශපාලනයෙන් නවලාය. නැතිනම් නැවිලාය.
එක් එක් අයට අවැසි විදිහට නවන නීති රටක තිබෙන්නට බැරිය. මුලින්ම නීතිය ශක්තිමත් කළ යුතුය. ලී ක්වාන් යූ සිංගප්පූරුව හදන්නට කලින් සිදුකළේ මහජන නියෝජිතයන්ගේ පඩිය විශාල ගුණයකින් වැඩි කිරීමය. ඒ අල්ලස, දූෂණය, නාස්තිය නැති කරන්නටය. සිංගප්පූරුව අද ඉන්නේ ලංකාවට වඩා බොහෝ ඉදිරියෙනි. අනෙක සිංගප්පූරුවේ නීතියද තදය. ලංකාවේද කළ යුත්තේ නීතිය ශක්තිමත් කිරීමය.මැතිවරණ කොමිසමේ සභාපතිටද දැන් ස්වාධීනව කටයුතු කරන්නට අවස්ථාව සැලසී තිබේ. හැමදාම සුරතල් බොළඳ බස් දෙන මැකෝට කරන්නට කාරියක් ඇත. ඒ වත්කම් ප්‍රකාශ නොදෙන කිසිවෙකුට මැතිවරණයට තරග කිරීමට ඉඩ නොතැබීමය. ඉතින් මැච් එකක් එනකම්ම පිච් හදන්නට සිටීමට මැකෝට ඕනෑ නැත.
මේක කළොත් මැකෝ ඉතිහාසගතවනු ඇත.අල්ලසට එරෙහිව වැට බඳින්නට ජනතාව දැනුවත් කිරීම කළ යුතුය. එමෙන්ම නැවෙන්නේ නැති නීතියක් සෑදිය යුතු අතර, අල්ලස් කොමිසමට කොන්ද කෙළින් තියාගෙන වැඩ කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. නැතිනම් සිදුවෙන්නේ අප මුලදී සඳහන් කළ කතාවේ මෙන් 'කෝ පාලම' 'ඒක තමයි මේ ගේ' වැනි පිළිතුරු දේශපාලඥයන්ගෙන් අසා ගන්නටය.
නිපුන් ඒකනායක