බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය යනු එකම අනන්‍යතාවෙන් යුතු ප්‍රපංච දෙකක් යැයි වටහා ගැනීම දෝෂ සහිත වේ. බෞද්ධ දර්ශනයේ අභිලාෂය වන්නේ පරමාර්ථ සත්‍ය සාක්ෂාත් කරන මාර්ගය විමසීමයි. එනම් නිවනට මග සෑදීමයි.
එහෙත් බෞද්ධ සංස්කෘතිය එයම නොවේ. බෞද්ධ සංස්කෘතිය යනු බෞද්ධ චිත්‍ර ශිල්පය, මූර්ති කලාව, කැටයම්, ගෘහ නිර්මාණ ආදියයි. ටිබෙටයේ බෞද්ධ සංස්කෘතිය ගොඩනැගෙන්නේ ඊටම අනන්‍ය වූ ලක්ෂණ සහිතවයි. බුරුමයේ බෞද්ධ සංස්කෘතිය එක් ස්වරූපයක් ගන්නා අතර, තායිලන්තයේ බෞද්ධ සංස්කෘතිය තවත් ස්වරූපයක් ගනී. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියටද ඊටම අනන්‍ය වූ ස්වරූපයක් ඇත.
සංස්කෘතියක් තුළ ගොඩනැගෙන ඇතැම් ලක්ෂණයන් ඇතැම්විට දර්ශනයේ මූලධර්ම සමග සියයට සියයක් පෑහීමට ඉඩ නැත. තොරණ, පහන් කූඩු, බැති ගී මෙන්ම ඔළුබක්කන් නැටීම, අපාය පෙන්වීම ආදී දේද සංස්කෘතිය සමගින් ගොඩනැගෙමින් පවතී. මේවායේ මානව විද්‍යාත්මක වැදගත්කමක් පවතී. සමාජයක නිරෝගී පැවැත්ම වෙනුවෙන් මෙවැනි අභිචාරයන් අවශ්‍ය වේ. අවදි වූ මොහොතේ සිට නින්ද යනතුරු බුද්ධිමය ලෙසද, ගාම්භීර ලෙසද, බරසාර ලෙසද ජීවත් වන මිනිසුන් මේ ලොව නැත. ඔවුන් විනෝදය පතන්නේ මේ හෙයිනි.
මිනිසුන්ට උත්සව අවශ්‍ය වන්නේ මේ හෙයිනි. ලෝකයේ බොහෝ රටවල වසත් සමයේදී උත්සව පැවැත්වෙයි. මේ උත්සව පවතින්නේ වසර දහස් ගණනක් පැරණි අතීතයේ සිටය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝලි උත්සවය දැවැන්ත සංස්කෘතික උළෙලකි. එහිදී බාල, මහලු තරුණ ග්‍රාමීය නාගරික දුප්පත් පොහොසත් සියල්ලෝ නොයෙකුත් අභිචාරවල යෙදෙති. පාට කරන ලද කුඩු වර්ගයක් එකිනෙකා වෙත තවරා ගනිමින් විනෝද වීම ඉන් එකකි.
චීනයේ නව අවුරුදු උදාවද මෙලෙස මිනිසුන් වෙත සතුට ගෙනෙන තවත් දැවැන්ත උත්සවයකි. මිනිසුන්ගේ මානසික ආතති නිවා ගැනීම සඳහා බොහෝ සංස්කෘති ඇසුරෙහි වර්ධනය වූ දැවැන්ත උළෙල පවතී. ඇතැම් රටවල තක්කාලිවලින් එකිනෙකාට ගසා ගනිති.
එහෙත් මෙවැනි අර්ථයෙන් ශ්‍රී ලාංකේය ජනයාට ඇත්තේ අලුත් අවුරුද්දත් වෙසක් සහ පොසොන් පොහොයත් පමණි. ඒවා සියයට සියයක් තාර්කික සහ බුද්ධිමත් (rational) කිරීමට යෑම මුග්ධ ක්‍රියාවකි. සමාජ විරෝධී නොවන සියලු සංස්කෘතික ලක්ෂණයන්ට වර්ධනය වීමට ඉඩ සැලසීම ශ්‍රී ලාංකේය සමාජයේ යහපැවැත්මට උපකාරී වන්නකි. එය නිවන අවබෝධ කර ගැනීම වැනි දාර්ශනික ප්‍රස්තුතයකින් මෙහා පවතින්නකි.
සිග්මන් ෆ්‍රොයිඩ් පවසන ආකාරයෙන්ම මෙම සංස්කෘතික දාමයන් අස්සේ ඇත්තේ මිනිසුන්ට පිටකර ගැනීමට නොහැකි වූ භිතීන් සහ ආශාවන්ය (strong fears and desires). ඔළු බක්කන් නැටීම, අපාය පෙන්වීම වැනි දේද කිසිලෙසකත් මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් පහත්කොට සැලකිය නොහැකිය. ඒවා සමාජයක යහපැවැත්මට අස්පර්ශීය ආකාරයකින් හේතුකාරක වෙයි.
දර්ශන අශෝක කුමාර