ලංකාව යනු ඉන්දියානු සාගරයේ ඇති පැරණිතම දේශයකි. ඉන්දියාවට දකුණින් පිහිටා තිබීමත්, සමකයට ආසන්න නිසාවෙන් ඇළ, දොළ, ගංගා සහිත සාරවත් පසකින් යුතු මහපොළොවක් මෙය සතුය.
වසර දහස් ගණනක් පැරණි ඉන්දියානු උරුමය සහිත සංස්කෘතියත්, වසර 400කට වඩා වැඩි කාලයක් යටත් විජිතයක් ලෙස යුරෝපීයයන්ගෙන් පාලනය වීම හේතුවෙන් ගොඩනැගුණු සිතුම් පැතුම් පද්ධතියකිනුත් යුත් ජනතාවක් වෙසෙන මෙම දේශය හා එහි ඇති සියලුම දෑ දේශපාලකයන්ගේ හා නිලධාරී පැලැන්තියේ සිරකරුවන් බවට පත් වී තිබේ.
පසුගිය දිනක ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා මිලියන 20ක් ඉන්දියානු ආයෝජකයෙකුගෙන් අල්ලස් ලෙස ලබා ගනිද්දී අත්අඩංගුවට පත්විය. අප මේ රටේ දේශපාලකයන්ගේ වංචා දූෂණ පිළිබඳව ඕනෑ තරම් කතා කර තිබේ. නමුත් නිදහසින් පසු ගෙවුණු දශක හත තුළ නිලධාරීන් විසින් මේ රටට සිදුකළ හානිය පිළිබඳ විධිමත්ව සාකච්ඡා කර නැත.
ග්‍රාමීය දෙමවුපියන්ගේ දරුවෝ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබන්නේනම් දක්ෂතා දක්වන්නේ නම් ඔවුන්ට රැකියාවක් ලෙස තෝරා ගන්නා ලෙස නෑදෑයන්, ගුරුවරුන් යෝජනා කරන රැකියා ලැයිස්තුවක් ඇත. එම රැකියා අද රටේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියාවන්ය. ඒවා නම් රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු හා අාදායම් බදු දෙපාර්තමේන්තුව, වරාය, ගුවන්තොටුපොළ, විදුලිබල හා බලශක්ති සහ වෛද්‍ය යන රැකියාවන්ය. මෙම රැකියාවන්වල යෙදෙන්නන්ගේ වැටුප් සැබෑ ලෙසම රුපියල් ලක්ෂයකට අඩුය. නමුත් ඔවුන්ගෙන් ඇතැමෙක් රට පුරා ඉදිකොට ඇති නිවාස, යානවාහනවල වටිනාකම කෝටි ගණනකි. එමෙන්ම පක්ෂයක් බලයට පත් වූ විගස එහි දේශපාලන නායකයන්ට විශාල මුදල් හා අනෙකුත් වරප්‍රසාද ලබාදී ආණ්ඩුවේ ප්‍රධාන හා ආර්ථික වශයෙන් වැදගත් තනතුරුවලට පත්වන නිලධාරී පැලැන්තියක්ද සිටී. එම තනතුරුවලට ඕනෑම ආණ්ඩුවක් යටතේදී පත්වන ඔවුහු, යහමින් මුදල් ඉපැයීමත්, එම මුදල් අවශ්‍ය අවස්ථාවේ වියදම් කිරීමත් හොඳින් ප්‍රගුණ කළ අය වෙති.
මේ මුළු රටේම දරු දැරියෝ මහන්සි වී ඉගෙනගෙන ඉහත රැකියාවලට පත්වීමට උත්සාහ කරනුයේ හොරකම් කිරීමටය. එසේ කොට ධනවතුන් වීමටය. මෙය අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද? එසේම පසුගිය වසර තුන තුළ මේ තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව මගේ හැඟීමයි. විශේෂයෙන් ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුවට බලය ලබා දුන්නේ දේශපාලකයන්ගේ තිබූ දූෂණයට වංචාවට තිත තැබීමටය. නමුත් වර්තමාන රජය පත් වූ පසු සාපේක්ෂව දේශපාලකයන් ආණ්ඩුව තුළ දුර්වල වූ අතර, ඔවුන් ඔවුන්ගේ මූලික කාර්යකොටස වූ නීති සම්පාදනයට මූලිකත්වයදී කටයුතු කළ යුතු තැනකට තල්ලු විය. එම නිසා මේ රටේ නිලධාරී පැලැන්තිය ශක්තිමත් විය.
එම ශක්තිමත් වීම ග්‍රාම නිලධාරියාගේ සිට රටේ ඉහළම නිලධාරියා දක්වා සිදු වූ අතර, එම නිසාම ඔවුන් අතර වංචාව දූෂණය උඩුදුවන තත්ත්වයක් ඇති විය. මෙම තත්ත්වය එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැන නැගී එය නොසන්සුන් බවටද හේතුවක් වී ඇති බව කනින් කොනින් අසන්නට ලැබේ.
විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලනයට දැඩි ලෙස බලපාන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ දූෂණ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන්ට හා සංවිධායකයන්ට තදින් බලපා ඇති බව ඔවුන් හා සිදුකරන කතාබහේදී හෙළි වේ. විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදී, කොන්ත්‍රාත් ලබාදීමේදී නිලධාරීන් ඒවා තමන්ගේ හිතවතුන්ට ලබාදීම මගින් දේශපාලන අධිකාරිය කොන්කිරීම හා දූෂණයන් වැළැක්වීම වෙනුවට නිලධාරීන් හොඳින් දූෂණයේ යෙදෙමින් ආණ්ඩු පක්ෂයේ දේශපාලන නියෝජිතයාට උසුළු විසුළු කිරීම නිසාවෙන් ඔවුන් ආණ්ඩුවේ නායකත්වයට අභියෝග කිරීමට පවා පෙළඹී තිබේ.
දේශපාලකයන් කුමන තත්ත්වයක් යටතේ වුවද ජනතාවට වගකිව යුතු අතර, එසේ නොවන්නේ නම් ඉදිරි මැතිවරණයකදී ඔවුන්ට පරාජයකින් වන්දි ගෙවීමට සිදු වන්නේය. නමුත් නිලධාරීන් එසේ නොවන අතර, ඔහු කෙළින්ම ජනතාවට වග නොකියයි. ඔවුන් වගකිව යුතු ආයතන සියල්ලේම සිටිනුයේ ඔවුන්ගේම රැහේ නිලධාරීන්ය. ඔවුන් අර්බුදයක් පැමිණි සෑම අවස්ථාවකම තම රැහේ අය බේරා ගනී. ඒ සඳහා මිතුරු සම්බන්දයක් හෝ ගුරු ගෝල සම්බන්ධයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට එතරම් කාලයක් ගත නොවේ.
මෙම තත්ත්වය වසංගතයක් ලෙස ආණ්ඩුව තුළ බෝ වී ඇති අතර, නිලධාරීන් ශක්තිමත් වී තිබේ. නමුත් වරද වන්නේ අකාර්යක්ෂම නිලධාරීන්ට ලංකාව වැනි අර්බුදවලින් ගහන රටක කටයුතු පාලනය කිරීමට හැකියාවක් තිබේද යන්නයි. එබැවින් දේශපාලන අධිකාරිය නැවත ශක්තිමත් කිරීම අනිවාර්යය කොන්දේසියක් වන අතර, ඒ වෙනුවෙන් ජනවරමක්ද ආණ්ඩුවට ලැබී තිබේ. ඒ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන්ය.