විඳිල්ල
විඳිල්ල කියූ විට මතක් වන්නේ සැප විඳිල්ලය. සෑම දෙනාම ආසා කරන්නේ සැප විඳිල්ලටය. කොච්චර සැප වින්දත් එපා වන්නේ නැත්තේය. මොහොතක සැප විඳිල්ල උදෙසා ඕනෑ දෙයක් කරන්න සූදානම් අය ඉඳිති. සැප විඳින අය හිතාගෙන ඉන්නේ අතමිට කාසි පනම් තිබේ නම් හිටගෙන දිව්‍ය‘ලෝකෙ මවන්න පුළුවන් බවය. ඇතැම් අය මුදල් කොල්ලකා ඒ සියල්ල අවසන් වෙනතුරු සුඛෝපභෝගී හෝටල්වල සැප විඳිති. ඒත් ඒ සැප විඳිල්ලේ ආදීනව දැනෙන්නේ පොලීසියට මාට්ටු වූ පසුවය.
මෙලොව විඳින සැපවලට කියන්නේ ලෞකික සැප කියාය. ලෝකෝත්තර සැප විඳිල්ල යනු නිවන් සැප විඳිල්ලය. නිවන් සැපයට පරම සැපයැයි කියන්නේ ඉන් එහා විඳින්නට සැපයක් නැති නිසාය. ඒත් නොපෙනන නිවන් සැපයට වැඩිය පෙනෙන සැප විඳිල්ල හොඳ යැයි සිතන අයද ඉඳිති. ඒ පිරිස් මේ ලෝකයේ තියෙන ඉහළම සැප විඳල්ලට කටයුතු කරති.
සෑම සැපයකටම වඩා පස්කම් සැප විඳිල්ල හොඳ යැයි කියනවාය. පස්කම් සැප විඳිල්ලට ගිජු වූ කෙනා ගෙරි කුණක වසා මහ මුහුදට වැටී විනාශ වූ කපුටාට සම කරනවාය. පමණ නොදැන සැප විඳිල්ලට යාම කොහොමත් හොඳ නැත්තේය. මිනිස් සැප අතර වඩාත් උසස් වන්නේ රජ සැප විඳිල්ලය. රජවරුන් අන්තඃපුර පවත්වාගෙන ඕනෑවටත් වැඩියෙන් කම්සැප විඳිනවාය.
රජ සැප විඳිල්ලට වැඩිය සුර සැප විඳිල්ල ඉහළය. සුර සැප විඳින්නට නම් මේ ලෝකේ නොසිට දෙව්ලොවට යා යුතුය. දෙව්ලොවට යන දෙවිවරුන්ට පින් තිබෙනතුරු සුර සැප විඳින්නට පුළුවන්ය. හැබැයි පින් ඉවර වූ පසු සැප විඳිල්ලත් කෙළවර වෙනවාය. ඒක හරියට අතේ සල්ලි ඉවර වෙනතුරු තරු පහේ හෝටලයක සැප විඳිල්ල වගේය. සමහරුන් උත්සාහ කරන්නේ සිහිනෙන්වත් දෙව්ලොව සැප විඳිල්ලටය. දෙවියන්ට විතරක් නොව මෙහේ ඉන්න අයටත් සැප විඳිල්ලට පින තියෙන්න ඕන යැයි කියනවාය.
ගෙදරට නාකි වන තරුණියන් හිතන්නේ සැප විඳිල්ලට නම් දීගයන්න ඕනෑ කියලාය. ඒත් ඒ අය විවාහ වුණාට පසු විඳින්නට සිදුවන වද වේදනා තරම බැලූවිට කසාද නොබැඳ සිටියා නම් හොඳයි කියලා හිතෙනවාය. ඒත් කොච්චර වේදනා වින්දත් බැන්ද කසාදය ලිහා ගැනිල්ල හිතන තරම් ලේසි නැත්තේය.
සැප විඳිල්ලට කවුරුත් කැමති වුණාට දුක් විඳිල්ලට නම් කිසිවෙක් කැමති නැත්තේය. වැඩියෙන් දුක් විඳින්න වෙන්නේ අපායේ වැටුණාමය. පවු කළ අය මරණින් පසු හතර අපායේ වැටී දුක් විඳින බව බුද්ධාගමේ උගන්වනවාය. අපායේ රජ්ජුරුවන් වන යම රජ්ජුරුවන්ගේ නියෝග මත පවුකාරයාට පවු ගෙවෙනතුරු දුක් විඳිල්ලට සිදුවෙනවාය. පරදාර සේවනයේ යෙදුණු අය කටු ඉඹුල්ගසේ නැගලා බැහැලා දුක් විඳිනවාය. අපායේදී කොච්චර මැරුවත් පවු අවසන් වනතුරු යළි යළි ඉපදෙමින් දුක් විඳන්නට සිදුවෙනවාය. ලෝදිය බොමින් දුක් විඳින්නේ බොරු කියූ අයය.
ඇතැම් අයට දුක් විඳිල්ල අපායට යන්නට ඕනෑ නැත්තේය. ඒ ගොල්ලන්ට අපායට වැඩිය දුක් මෙහේදී විඳින්නට සිදුවෙනවාය. එදාවේල කන්න නැති ගෙයක් දොරක් නැති අන්ත දුගී දුප්පත් අය මෙහේ විඳින දුක් ගැන හිතන විට ඒ අයට අපායේ දුක් විඳිල්ල සැපයක් යැයි හිතෙනවාය. දුක් විඳින අය කොහොම හරි සැප ලබාගෙන දුක්විඳිල්ල කෙළවර කරගන්නා බැලුවත් එය සිදුවෙන්නේ නැත්තේය.
ලෙඩ රෝග හැදුණම දුක් විඳින්න සිදුවෙනවාය. වැඩියෙන්ම ලෙඩ රෝගවලින් දුක්විඳින්නට සිදුවන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට යන දුප්පතාටය. ඔවුන්ට හරියට බේත්හේත්, සාත්තු සප්පායම් නැතිකමින් දුක් විඳින්නට සිදුවෙනවාය. ඒත් පොහොසතාට නම් ලෙඩ රෝග හැදුණාම ආණ්ඩුවේ ඉස්පිරිතාලවල දුක් විඳින්නට සිදු නොවන්නේ පෞද්ගලික රෝහලකට ඇතුළත් විය හැකි නිසාය. ඒවායේ රෝගීන්ට දුක් විඳිල්ලට වැඩිය සැප විඳිල්ල වැඩිය.
අපරාධකාරයාට මෙලොවත් පරලොවත් දුක්විඳිල්ලට සිදුවෙනවා යැයි කියනවාය. අපරාධකාරයා පොලීසියෙන් අත්අඩංගුවට ගත් විට පොලීසියේදී නොයෙක් දුක් විඳින්නට සිදුවෙනවාය. ඊට පසු පොලිස් නිලධාරීන් අතපය හිරි ඇර ගන්නකොටද විඳින්නට සිදුවෙන්නේ දුක්ය. විත්තිකාරයා, උසාවියේදී වැරදිකාරයා වී මහඋළුගෙදර වාට්ටුවට ගිය විටද දුක් විඳින්නට සිද්ධ වෙනවාය. ඒත් සල්ලිපනම් තියෙනවා නම් හිරිගෙදරදීත් දුක් විඳිල්ල වෙනුවට ඕනෑම සැපක් විඳිල්ලට වාසනවා ලැබෙනවා යැයි කියනවාය.
බුද්ධාගමේ කියන හැටියට උපතද, ජීවත්වීමද මරණයද එක සමාන ලෙස දුක් විඳිල්ලට ලැබෙන දේවල්ය. ළදරුවාට මවුකුසයේ සිටියදී, බිහිවීමේදී ඊට පසුද දුක් විඳිල්ලට සිදුවෙනවාය. ජීවත් වීමේදීද දුක් විඳින අතර, ජරාවට යාමද දුකක්ය. අනිත් අතට කොච්චර අතේ මිල මුදල් තිබුණත් මරණයේ දුක් විඳිල්ලෙන් නම් ගැලවෙන්නට නොහැකිය.
අපි විඳින සෑම සැපයක්ම කෙළවර වන්නේ දුකෙන් බව කියනවාය. කොතරම් සැප වින්දත් ඒ සැපය සදාකාලික නැති නිසා අවසානයේදී දුක් විඳිල්ලට සිදුවීමෙන් ගැලවෙන්නට බැරිය. දුප්පතා දිවාරෑ දුක් විඳින්නේ සල්ලි හොයන්නටය. වැඩිපුර සල්ලි අතට ආවාට පසු දුක් විඳින්නට සිදුවන්නේ එම මුදල් සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නටය. උසස් තනතුරු ගන්නට දුක් වින්ද අය ඊළඟට සිතින් දුක් විඳින්නේ ඒ තනතුරු අහිමි වේ යැයි බයටය.
ඡන්දෙයන් දිනූ පසු ඇමති පට්ටම්, සැප වාහන, විදේශ සංචාර ආදිය ලබාගන්නා දේශපාළුවන්ට ඊළඟ ඡන්දයේදී යළිත් දුක් විඳින්නට සිදුවන්නේ ජනතාවගේ කතිරය ලබාගන්නටය. ඡන්දදාසලාට නම් හැමදාම දුක් විඳිල්ල මිස, සැප විඳිල්ලක් නම් නැත්තේමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

