ශ්‍රී ලංකාවේ ගම, සාහිත්‍යයේ කියන තරම් සුන්දර නැත. උඩු ගුවනින් යද්දී නම් ගම ලස්සනය, කොළ පාටය, ඇළදොළ, වෙල් එළි, කූඹීන් වැනි අහිංසක මිනිසුන්ය, හරකා බානය, ලොකු කුඩා ගෙවල්ය, ඒවා එක්කෝ උළු සෙවිලි කළ ගෙවල්ය. සමහරක් පිදුරුද සෙවිලි කර තිබේ. සියල්ල මනරම්ය. ඒ උඩින් පෙනෙන ගමය. නමුත් ඇත්ත ගම හා එහි වෙසෙන මිනිසුන් එයට හාත්පසින්ම වෙනස් වේ. ඇත්ත ගමේ ගම පුරා වැට කඩොලුය, ගල් ගොඩැලිය. දැන්නම් කොන්ක්‍රීට් පාරවල්ය. මිනිස් පහසින් අපිරිසුදු ඇළදොළය, කේඬෑරි වූ
හරකා බානය. ඔවුන්ද හංවඩු ගසා ඇත. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ගේ නම්වලිනි. එනම් සිරිපාල හෝ රන්මැණිකා ලෙසය. තැනින් තැන ඉන්දියානු බයිසිකල් හෝ ආටා රථය. අපිරිසුදු වැසිකිළි ගෙවතුවල හැමතැනමය. අල්ලපු ගෙදර ළිඳට හැකිතාක් සමීපව තමන්ගේ ගෙදර වැසිකිළිය හැදීම ගැමියන්ගේ ආශාවයි. බැලු බැලු අත දිළිඳු බවේ, නූගත් බවේ සලකුණුය. සුරාකෑමට ලක්වීම ශ්‍රී ලාංකික ගැමියාගේ ආගමයි. එහි සලකුණු ගම පුරාමය.
ගමේ වෙසෙන මිනිසුන් මේ සියල්ලටම වඩා විනාශයකි. ඔවුන් අවුරුදු සිය ගණනක කෝන්තර හිතේ තබාගෙන දිවි ගෙවන්නෝ වෙති. කුලය, ධනය, බලය, හැඩය ඇතුළු මෙකි නොකී දහසකුත් දේවලින් බෙදී වෙන් වෙති. එකිනෙකා අතර සහජීවනයක් නොමැති අතර උගුල් අටවමින් අනෙකාගේ විනාශය පතමින්, දුක් විඳිමින් දිවි ගෙවති. ගමෙහි උපන් මිනිස්සු නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආකාරයකින් අවස්ථාවක් ලැබුණහොත් හැකි ඉක්මනින් එයින් මිදී පලායති. ඒ එක්කෝ විදේශයකටය, නැතහොත් මහරගමටය. ඉඳහිට තවත් ගමකටය. නැතිනම් මහවැලි හෝ ගල්ඔය ජනවාසයකටය. නමුත් ඔවුන් ගමෙන් යන්නේ ඔවුන්ට ගමෙන් උරුම වූ ග්‍රාමය චින්තනයද සමගය.
ගමෙහි ඇති අනෙක් ප්රමුඛ ලක්ෂණයක් නම් කිසිවක් ස්ථිර නොවීමයි. ගෙවල් දොරවල්, පවුල් පන්සල්,
ගති ලක්ෂණ සියල්ල වැනෙන සුලුය. පවතින්නේ යන්තමින්ය. එමගින් සියල්ලන්ටම ආරක්ෂාව ලැබේ. කවුරුන් හෝ ශක්තිමත් වූ විට ගමෙහි අනෙකුත් අය අනාරක්ෂිත වේ. මෙබැවින් සියල්ල දුර්වලව පවත්වාගැනීමට ගැමියෝ නොදැනුවත්ම කටයුතු කරති. ගැමියන්ගේ ගතිගුණ පුදුමාකාරය. දවසින් දවස වෙනස් වේ.
මෙවන් පසුබිමකින් පැමිණි ජනාධිපතිවරයෙක් ලංකාවට ලැබී තිබේ. එහි අපූරුම දෙය නම් එවැනි ජනාධිපතිවරයෙකුට කොළඹ එලිට් අගමැතිවරයෙකු මුහුණට මුහුණ හමු වී තිබේ. මේ දෙදෙනාගේ සියල්ල අසමානය. පවුල අසමානය, අධ්‍යාපනය, පෙනුම, දේශපාලන පක්ෂය, කටයුතු කරන විදිය සියල්ල අසමානය. කොටින්ම සමාන කිසිවක් නැත. රනිල්ට තම ජීවිතයේ ප්‍රථම වතාවට තමන්ට උඩින් හෝ තමන්ට සමාන තත්ත්වයේ ගැමියෙකු මුහුණට මුහුණ හමු වී තිබේ. ශ්‍රී ලංකාවේ පොදු ජනතාව රනිල්ට සුබ පැතිය යුතු අතර, පාක්ෂිකයන් දෙවි පිහිට පැතිය යුතුය. මන්ද රනිල් මේ මොහොතේ ලාංකේය ග්‍රාම්‍ය වැඩපිළිවෙළක තර්ජනයකට තනියම මුහුණ දෙමින් තිබේ.
ජනාධිපතිවරයා විවේචනය කිරීම එක්සත් ජාතික පාක්ෂිකයන්ට තහනම් කොට තිබේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදෙස් ලැබී ඇත්තේ හැකිතාක් එක්සත් ජාතික පක්ෂ නායකයා හා පක්ෂය විවේචනය කරන්නටය. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කටයුතු විධිමත්ව සිදු කරමින් ආණ්ඩුව පවත්වාගැනීමට කටයුතු සිදු කළ යුතු බවට උපදෙස් ලැබී තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදෙස් ලැබෙනුයේ ආණ්ඩුවේ කටයුතු අවුල් කරමින් හැකිතාක් ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු කරනා ලෙසය. මේ රනිල්ට ග්‍රාම්‍ය නායකයෙකු මුණගැසීම මිස වෙන කුමක්ද ?
ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂවරු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි තරහකින් පසුවෙති. ඔවුන්ට සිදුවෙමින් පවතින තත්ත්වය රනිල්ට වඩා හොඳින් අවබෝධ වන බව මගේ හැඟීමයි. මන්ද රාජපක්ෂවරුන්ට ලාංකේය ගම ගැන ඔවුන්ගේම කියැවීමක් ඇති අතර එය යථාවාදී හෝ ඊට ඉතා ආසන්නය. විශේෂයෙන් ගම්පහ, යාගොඩ, පල්ලෙවත්ත ගමරාළලාගේ කටයුතු ගැන බැසිල්ට හොඳ අත්දැකීම් තිබේ. ඔහුට ගම්පහ ඔරුතොට කාර්යාලය සම්බන්ධයෙන් කරන ලද මහා පාවාදීම පිළිබඳ ඔහුගේම තක්සේරුවක් ඇති අතර, ඔවුන් ජනාධිපතිවරයා හා ගනුදෙනු කරනුයේ එම සීමාකම් පිළිබඳ අවබෝධයෙනි. අගමැතිවරයාගේ ශීලාචාර භාවිතයන් ලාංකික ග්‍රාම්‍යත්වයට කොතරම් දුරට ඔරොත්තු දෙනවාදැයි බලාගත හැකි වන්නේ 04 වැනිදා විශ්වාසභංග යෝජනාවේදීය. මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම අගමැතිවරයා ජයගනු ඇත. නමුත් ප්රශ්නය ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු කෙරුවාව මගින් මෙම කර්කෂ, අශීලාචාර ග්‍රාම්‍යත්වයේ ගොදුරක් බවට පත්වනවාද යන්නයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළත ඇති වී තිබෙන පීඩනය සමනය කළ හැක්කේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම තුළිනි. ජනාධිපතිවරයාගේ කාලය ඇත්තේ තවත් වසර එකහමාරක් පමණි. ඔහු වේගයෙන් අවලංගු වෙමින් පවතී. ඔහුත් සමග සාමය අපේක්ෂා කරන්නේ නම් එය කිසිදිනක මෙවන් ශීලාචාර ක්‍රම මගින් ලබාගත නොහැක්කේය. ඔහුට එල්ලකරනු ලබන එක ප්‍රහාරයකින් ලාංකේය ග්‍රාම්‍ය දේශපාලනය අර්බුදයට යනු ඇත.
මේ පැමිණ ඇත්තේ තීරණාත්මක තලයකටය. යටින් උගුල් අටවන්නන් මෙන්ම පසමිතුරු බලවේග පරාජය කළයුතු හෝරාව වන්නේ මෙයයි. තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පක්ෂ අභ්‍යන්තරයේ විශාල සහයෝගයක් තිබේ. එම තත්ත්වය යොදාගෙන හැකි ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිගාමීත්වයෙන් මිදිය යුතුය. රනිල් වැනි නායකයෙකුට මහින්දට මුහුණදිය හැකිය. නමුත් ලාංකේය ග්රාම්යභාවයට මුහුණදීමට රනිල් ශීලාචාර වැඩි බව මාගේ හැඟීමයි. එබැවින් හැකිතාක් ඉක්මනින් මෙම යහපාලන ආණ්ඩුවෙන් මිදී එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ගොඩනැගිය යුතු වේ. එලිට් රනිල්ට සිරිසේන මුහුණට මුහුණ හමුවීම රනිල්ට බියකරු සිහිනයක් බවට කිසිදු සැකයක් නොමැත. මහින්ද සිරිසේනට මුහුණට මුහුණ හමුවුණ දිනට බියකරු සිහිනය මුණගැසෙනුයේ කාටදැයි කීමට තවම කල් වැඩිය.