සුපුරුදු පරිදි මෙවරද ශ්‍රී ලංකාවේ දැවැන්තම මැයි දින රැලිය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානව ඒකාබද්ධ විපක්ෂයට එසේත් නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ බව ගාල්ලේ පැවැති අපගේ මැයි දින රැලියට එක්වූ ජනතාව සාක්ෂි දරනු ඇත. කෙසේ වෙතත් මෙවර අපට මැයි දිනය සැමරීමට වූයේ ජාත්‍යන්තර වශයෙන් සම්මත මැයි පළමු වැනිදා නොවේ. ඒ රජය මැයි දිනය මැයි පළමු වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා වෙනස් කළ හෙයිනි.
මැයි දිනය මූලිකවම වැඩ කරන ජනතාව වෙනුවෙන් වෙන් වෙයි. මැයි දිනයේදී ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරයි. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් එකින් එක කප්පාදු කරමින් සිටියි. කම්කරුවාගේ ප්‍රධානම හිමිකමක් වන සේවක අර්ථසාධක අරමුදලට පවා බදු අය කරන ආණ්ඩුවක් දැන් රට පාලනය කරමින් සිටියි. සේවක අර්ථසාධක අරමුදල කම්කරුවා වෙනුවෙන් හඳුන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම මේ වනවිට එක්සත් ජාතික පක්ෂය හා එක්ව එම අයිතිවාසිකම කප්පාදු කරමින් සිටියි.
මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන විට ශ්‍රී ලංකාව වැඩබිමක් බවට පත්ව තිබිණි. සෑම තැනකම ඉදිකිරීම් පැවැතුණි. නමුත් වත්මන් ආණ්ඩුව එම වැඩබිම මුඩුබිමක් කළේය. ඒ හරහා සිදුවූයේ වැඩ කරන ජනතාවගේ ආදායම් මාර්ග අහිමිවීමය. ඒ හරහා ජනතාව කබලට වැටුණු අතර, පසුව විවිධ ආකාරයේ බදු පනවමින් වැඩ කරන ජනතාව තළා පෙළා දැමීමෙන් සිදුවූයේ ඔවුන් කබලෙනුත් ලිපට වැටීමය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට රැකියා අර්බුදයක් නිර්මාණය වී තිබේ. ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මාසයකට වැඩ කරන ජනතාවට අලුතින් 10,000ක් පමණ එක්වෙන බවයි. නමුත් මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් රැකියා නිර්මාණය කිරීමට ආණ්ඩුවකට කිසිදු සැලසුමක් නොමැත. වත්මන් ආණ්ඩුව පත් වී දැන් වසර තුනහමාරක් පමණ ගෙවා දමා ඇතත්, රටට සිදුවූ යහපතක් නොමැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පසුගිය වසර තුන වැය කළේ රාජපක්ෂ රජය සමයේදී ලබාගත් ණය ගෙවා දැමීමට බවයි. නමුත් ගෙවූ ණයක් නොමැත. අප ආණ්ඩුව බාර දෙනවිටත් පැවැති ඒකපුද්ගල ණය ප්‍රමාණය දැනුත් පවතී.
රුපියල බාල්දු වීමද ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා සිදු වූ දෙයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඩොලර්වලට ඇති ඉල්ලුම හා සැපයුම මත රුපියලේ අගය තීරණය වෙයි. වර්තමාන ආණ්ඩුවට සීමාවකින් තොරව භාණ්ඩ හා සේවා ආනයනය කිරීම, දේශපාලන අස්ථාවරත්වය, විදේශ විනිමය රට තුළට නොපැමිණීම, විදේශ ආයෝජන රට තුළට නොපැමිණීම මෙයට හේතුවෙයි.
විදේශ ආයෝජන රට තුළට නොපැමිණීමට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල බලධාරීන් හා නිලධාරීන් ආයෝජකයන්ගේ අල්ලස් ගැනීමය. මේ සඳහා හොඳම උදාහරණය රුපියල් කෝටි 02ක අල්ලසක් ගැනීමේදී ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට පත්වීමය.
මෙවර කුරහන් සුවඳ තීරු ලිපියේ ප්‍රධාන මාතෘකාව වන්නේ මැයි දිනයයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කරන බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුව දැන් සූදානම් වන්නේ අහිංසක දුප්පත් ජනතාව සතු මුදල් කොල්ලකෑමටය. මහ බැංකුවට සිදු වූ දේ ඉදිරියේදී සමෘද්ධි බැංකුවටද සිදුවනු ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී සමෘද්ධිය දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට බවයි. රජයේ තනතුරු ලැබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට බවයි.
එය ‘මරු යහපාලනයකි’ එනම් යහපාලනය මැරීමකි. වත්මන් ආණ්ඩුවේ යහපාලනය හුදෙක්ම බෝඩ් ලෑල්ලක්, එසේත් නොමැති නම් හුදෙක්ම වචනයක් පමණක් බවට ප්‍රකාශ කිරීම සඳහා මීට වඩා උදාහරණ තවත් අවශ්‍ය නොවේ. මහින්ද රාජපක්ෂ රජය මේ ආකාරයට කටයුතු කළා නම් එම වසර 10දී රටේ සිදු වූ දැවැන්ත සංවර්ධනය සිදු නොවිමට ඉඩ නොතිබිණි. ඔහු රැකියා ලබාදීමේදී, උසස්වීම් ලබාදීමේදී, පොදු ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීමේදී ප්‍රතිලාභියා නිදහස් පාක්ෂිකයෙකුද, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුද එසේත් නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙකුද යන්න කිසි දිෙනක විමසා නොබැලුවේය. රට වෙනුවෙන් වැඩ කිරීමට කැමති කාටද, ඒ වෙනුවෙන් අවස්ථාව ලැබිණි. සංවර්ධනය, යුද්ධය අවසන් කිරීම මූලිකවම මහින්ද රාජපක්ෂ යුගය ඉතිහාසයේ රටේ ස්වර්ණමය යුගය බවට පත්වූයේ එහෙයිනි.
නමුත් දැන් එක්සත් ජාතික පක්ෂය සිතමින් සිටින්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබාදුන් 38%ක් වන සිය පාක්ෂිකයන් පිළිබඳවය. ආණ්ඩුව ආරක්ෂා කරගන්නේ කෙසේද කියාය. ඉතින් රටක් දියුණු වීම සිහිනයකි.මේ අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම නොයවා සිටීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බවට වාර්තා පළ වී තිබේ. පොලිස්පතිවරයා පවසන්නේ මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියාට විවිධ චෝදනා පවතින හෙයින් ඔහුට සේවා දිගුවක් ලබාදීම සුදුසු නොවන බවයි. නමුත් පොලිස්පතිට මේ බව පෙනුණේ දැන්දැයි ඇසිය යුතුය. අප දිගින් දිගටම කීවේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය දේශපාලනික වශයෙන් පළිගැනීමට කටයුතු කරන බවත්, පරීක්ෂණ පැවැත්වීමේදී දේශපාලනික වශයෙන් කටයුතු කරන බවත්ය. එදා අප කී දේ දැන් යථාර්ථයක් බවට පත්ව ඇත.
මෙහිදී ආණ්ඩුවෙන් තවත් ඉල්ලීමක් කිරීමට අවස්ථාවක් කර ගනිමි. එනම් විවිධ පරීක්ෂණ කරන මුවාවෙන් විදෙස්ගත වීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් වැය කළ මුදල් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය. විශ්‍රාම යෑමට සිටින කුමන හෝ රාජ්‍ය සේවකයෙකුට ඔහුගේ හැකියාව අනුව සේවා දිගුවක් ලබාදීම ගැන අපි විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරමු. නමුත් ගැටලුව වන්නේ චෝදනාලත් පුද්ගලයෙකු තවදුරටත් එම තනතුරේ තබා ගැනීමට රජය කටයුතු කිරීමයි. මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම යෑමට සිටියදී ඔහුට සේවා දිගුවක් ලබාදීමට කටයුතු කිරීම පසුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි රජය ජනතාවට පැවසිය යුතු වෙයි.
ලබන සතියේදී යළිත් හමුවෙමු
ඔබට සුබ අනාගතයක් !