රටක් හැටියට අපි ව්‍යාපාරිකයන්, පොහොසතුන්, ධනවතුන්, බලවතුන්, හොරි හැදුණු මිනිසුන් සේ දැකීමට කැමති ජාතියකි. සාර්ථක ව්‍යාපාරිකයෝ රැකියා දහස් ගණනක් රටට බිහි කරති. ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් රජයට බදු ගෙවති. විදේශ විනිමය රැගෙන එති. නමුත් පත්තර පඩංගුවල, වෙබ් අඩවිවල, ටෙලිවිෂන් මුදලාලිලාගේ සාක්කුවල සහ දේශපාලන ඇම්බැට්ටයන්ගේ යටිපතුල් ලෙවකන ඊනියා විචාරකයෝ සහ බුද්ධිමත්හු සාර්ථක ව්‍යාපාරිකයන් කෙරෙහි වෛරයක් සමාජගත කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවසායකයන් කෙරෙහි ඇති මෙම අඳුරු ආකල්පය නිසාම මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ දරුවන් ව්‍යවසායකයන් වෙනවා වෙනුවට ආණ්ඩුවේ කන්තෝරුවල ලියන මහත්වරු වීමටත්, හමුදාවේ සොල්දාදුවන් වීමටත්, ඉංජිනේරුවන්, දොස්තරවරුන් වීමටත් සිහින මවති. කුඩා කාලයේ දරුවෙකුගෙන් ඔබ වැඩිවියට පත්ව කුමක් කරන්නට අදහස් කරන්නේද ඇසුවොත් ඔහු කිසි විටෙකත් ව්‍යාපාරිකයෙකු වෙනවා යැයි ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිවෙකුත් ප්‍රකාශ නොකරයි.
එම ආකල්පය මේ රටේ රැකියා වෙළෙඳ පොළට දැඩි ලෙස බලපා ඇති අතර සියලු දෙනා පාහේ රැකියා හිඟමනේ යෙදෙමින් දේශපාලඥයන් පසුපස වැටී සිටී. කිසිවෙකුත් රැකියා බිහි කරන, රටට වැඩදායී පුද්ගලයෙකු වීමට අදහස් නොකරයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය, නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධය, රැකියා විරහිත උපාධිධාරී විරෝධය, දේවාල පන්සල් වැනි මේ මොහොතේ රට මුහුණදෙමින් සිටින බරපතළ සමාජ ප්‍රශ්න මෙම අඳුරු ආකල්පයේ ප්‍රතිඵලය. ශ්‍රී ලාංකික සමාජය තුළ නිතැතින්ම ඇති මෙම විරෝධය අපට බොහෝ දේ අහිමි කර ඇත. අප කලාපය විශාල ව්‍යාපාරිකයන්, ධනවත් සමාගම් බිහි කළ කලාපයක් වෙද්දී අපි ජාතිය, අගම වැනි පාරභෞතික කාරණාවලට එකිනෙකා මරාගන්නා සමාජයක් බවට පත්විය. රට තුළ බිහි වූ බොහෝ ව්‍යාපාරිකයන් හා ව්‍යාපාර කෙරෙහි අප සමාජය තුළ වූ විරෝධය පසුගිය හැත්තෑපස් වසර තුළ රට වළපල්ලට ගෙන ගියේය. රටේ බහුතරය රාජ්‍යයට අතපාන, රාජ්‍යය මත යැපෙන්නන් බවට පත් විය. රට පෙළෙන සියලු ව්‍යාධීන් රාජ්‍යය විසින් විසඳිය යුතු යැයි අපි කල්පනා කරමු.
රවි කරුණානායක සම්බන්ධයෙන් මේ මොහොතේ රටේ ගොඩනැගීමට උත්සාහ කරන විරෝධයේ පදනමද එයයි. රවි කරුණානායක සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම, රටේ වටිනා බිම්කඩක ඇති විශාල නිවසක ජීවත් වීම, ධනවත් සමාගම් කිහිපයක හිමිකරුවෙකු වීම, රූමත් බිරිඳක් හා දරුවන් සිටීම, දේශපාලන බලය හෙබවීම වැනි කාරණා අප වැනි සමාජයක ඔහු කෙරෙහි වෛර කිරීමට, විචාර බුද්ධියෙන් තොරව විරෝධය පෑමට ප්‍රමාණවත් හේතුවකි. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රවි කරුණානායකගේ නම කිසිදු අවස්ථාවක සඳහන් නොවුණු අතර, ඔහුගේ නම විරුද්ධවාදීන්ගේත්, මාධ්‍යවලත්, මධ්‍යම පන්තියේත්, අවධානයට යොමුවන්නේ (බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්) ඔහු ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් පැමිණ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය. එනම් එම ප්‍රකාශය අතරතුර රජයේ නීතිඥවරයා රවි කරුණානායක ඇමතිවරයාගෙන් ඔහු කුලී පදනමට ගත් නිවසේ කුලී ගෙවීමේදී අර්ජුන ඇලෝසියස් මහතාගෙන් රවි කරුණානායක ඇමතිවරයාගේ බිරිඳ අතමාරුවක් ලබාගැනීම පිළිබඳ අතිශයෝක්තියෙන් ප්‍රශ්න කිරීමයි. එහිදී රවි කරුණානායක ඇමතිවරයා සත්‍ය සැඟවූ බවට එම රජයේ නීතිඥවරයාත්, පසුව කොමිෂන් වාර්තාවත්, එය පදනම් කරගෙන ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේය. සත්‍ය සැඟවීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවට ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් දුන් බව ප්‍රකාශ කළේය. ලංකාවේ බොරු කීම නිසා දීර්ඝ කාලයකට හිරේ ගිය හෝ එල්ලුම් ගස් ගිය කිසිවෙකුත් පසුගිය වසර 2500ක ඉතිහාසය තුළ නොසිටී. මට ඇති මවිතය නම් බොරු කීමේ චෝදනාවට ලක්වීම නිසාවෙන් රවි කරුණානායක ඇමතිවරයා අමාත්‍ය ධුරය අත්හැරියේ ඇයි?
ග්‍රීසියේ මහ බැංකුව බංකොළොත් වී වසා දැමීමට පැය කිහිපයක් තිබියදී ලංකා රජයේ මුදල් යොදවා ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව සිදුකළ කූට ගනුදෙනුවෙන් රජයට අහිමී වූ මුදල රුපියල් බිලියන විස්සකට වැඩිය. ඒ සඳහා ගතවූයේ පැය කිහිපයක් පමණි. එසේම 2008 සිට 2015 දක්වාම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳ පොළේ සිදුකරන ලද බැඳුම්කර ගනුදෙනුවලදී අර්ජුන ඇලෝසියස්ගේ සමාගම උපයාගන්නා ලද අතිවිශාල ලාභයත්, එයින් රටට යම් පාඩුවක් සිදුවූයේ නම් එයත් ගණනය කළ යුතුය. ඒ සම්බන්ධයෙන්ද කොමිසමක් පත්කළ යුතුය. එසේම 2015 වසරේ මැද කාලයේ වර්තමාන ආණ්ඩුවට මෙම චෝදනාව එල්ලවන කාලයේ අර්ජුන ඇලෝසියස්ගේ සාක්කුවේ බොහෝ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් සිටි බව මම හොඳින් දැන සිටිමි. එකල අර්ජුන ඇලෝසියස් යනු ධනවත් සුපිරි යාළුවෙකි. නාමල් රාජපක්ෂගේ සිට මිලින්ද රාජපක්ෂ දක්වා පොහොට්ටුවේ ප්‍රධානීන් හවසට සෙට් වී කන බොන තැන අර්ජුන ඇලෝසියස්ගේ මිතුරු සමාගමයි.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ විශේෂ විමර්ශන කොමිසම ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කරගෙන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කතාවට අනුව බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුත්තේ එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමත්, එසේම දැනට වැඩ තහනමකට ලක්ව ඇති මහ බැංකුවේ නිලධාරීන් රාශියකි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, වෙනත් කිසිදු දේශපාලඥයෙකුවත් වගකිව යුතු බව ජනාධිපතිවරයාගේ කතාවෙන් විද්‍යමාන නොවේ. එමනිසාම එක්සත් ජාතික පක්ෂය යෝජනා කර සිටින්නේ හැකි ඉක්මනින් අදාළ වගකිවයුත්තන්ට නඩු පවරා දඬුවම් කරන ලෙසයි. මාගේ පෞද්ගලික මතය නම් රවි කරුණානායක ඇමතිවරයා ස්වේච්ඡාවෙන් කොමිසම ඉදිරියට පැමිණ බොරු දෙසා බා ඇතැයි කියා නීතිපතිවරයා තීන්දු කරන්නේ නම් ඔහුට නඩු පවරා බොරු කීවාට හිරේ යැවිය යුතු බවයි. (ලංකාවේ දේශපාලඥයන් බොරු නොකියන හා බොරුකීමට තහනම් නිසා) මුළු රටම කිසිවෙකුටත් නොතේරෙන බොන්ඩ් ගනුදෙනුවකට එල්ලීමට උත්සාහ කිරීමෙන්, ඒ පිළිබඳ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීමෙන් අපට විශාල ආර්ථික හානියක් සිදු වේ. ලෝකය පුරා සිටින අතිරේක මූල්‍ය ධනය සහිත ව්‍යාපාරිකයන්ට ලංකාවේ ආයෝජනයට අත වනන ගමන් අනිත් අතින් ආයෝජන සඳහා එකඟ නොවන දේශපාලන හේතු මත ආර්ථික කාරණා පදනම් කරගත් මාධ්‍ය සන්දර්ශන පවත්වාගෙන යෑම මට නම් උභතෝකෝටිකයකි. මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වරදක් සිදු වී ඇත්නම් කළ යුත්තේ නඩු දමා සියල්ලන්ම හිරේ යැවීමයි. එය අපේ ගම් දනව්වල සිටින ඕනෑම සයිමන් කෙනෙක් දන්නා උපක්රමයකි. එසේ නොකොට මේ ගැන කියමින් උඩ පැන පැන නැටීමෙන් රටට බොහෝ දේ අහිමි වන්නේය.