’සැමට කොටසක්, සැමට ඒකකයක්’ ආයෝජක දැනුවත් කිරීම් පැවැත්වේ
දිවයින පුරා පිහිටි ආයෝජකයින් ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ආකර්ෂණය කරගැනීමේ සහ සහභාගීත්වය පුළුල් කිරීමේ ජාතික පියවරක් ලෙස, 'සැමට කොටසක්, සැමට ඒකකයක්' විශේෂ ආයෝජක දැනුවත් කිරීමේ වැඩසටහන මොනරාගල සහ මඩකලපුව යන ප්‍රදේශයන්හිදී පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) එක්ව සංවිධානය කළ මෙම ආයෝජක හමු, 2026 ජූලි 16 වැනි දින මොනරාගල Silanrich හෝටලයේදී සහ ජූලි 18 වන දින මඩකලපුව FG Golden River හෝටලයේදී පැවැත්වුණු අතර, ස්ථාන ද්විත්වයෙන්ම 500කට අධික ආයෝජකයන් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත උනන්දු වන්නන් පිරිසක් ඊට සහභාගී වූහ.
ප්‍රාග්ධන වෙළඳපොළ සැමට විවෘත කිරීමේ අරමුණ
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මෙම 'සැමට කොටසක්, සැමට ඒකකයක්' වැඩසටහන නිර්මාණය වී ඇත. සාධාරණ, කාර්යක්ෂම, විධිමත් සහ පාරදෘශ්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළක් තුළ සියලු දෙනාටම පහසුවෙන් පිවිසිය හැකි ආයෝජන පරිසරයක් තහවුරු කරමින්, ධනය සහ වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා පොදු කැපවීමක් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම රාමුව යටතේ, බස්නාහිර පළාතෙන් ඔබ්බට ආයෝජක සහභාගීත්වය දිරිගැන්වීම සහ ආයෝජක අධ්‍යාපනය හා දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා SEC සහ CSE එක්ව දිවයින පුරා මෙවැනි ආයෝජක හමු පැවැත්වීමට සැලසුම් කර ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත දිවයින පුරා විහිදී ගිය ශාඛා ජාලය සහ කොටස් වෙළඳපොළ කෙරෙහි ජනතාව තුළ ඇති වෙමින් පවතින උනන්දුව උපයෝගී කරගනිමින්, කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර (Unit Trust) කළමනාකරණ සමාගම් හරහා ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට ආයෝජකයන්ට මෙහිදී වැඩි අවස්ථාවක් හිමිවේ. තවද, මෙම හමුවලට සහභාගී වන පිරිස් වෙත SEC සහ CSE හි අනුග්‍රහය ඇතිව, සිය කොටස් ආයෝජන ආරම්භ කිරීම සඳහා භාවිත කළ හැකි Investment Coupons ලබා ගැනීමටද අවස්ථාව සැලසේ.
විශේෂඥ දේශන සහ ක්ෂේත්‍ර දැනුවත් කිරීම්
මෙහි පළමු අදියර ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන එන්. බී. ජානගන් මහතා සහ කසුංක හේරත් මහතා විසින් රටේ පවතින සාර්ව ආර්ථික තත්ත්වය සහ ඉදිරි නැඹුරුව පිළිබඳව පුළුල් තාක්ෂණික විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගම් නියෝජනය කරමින්, ෆර්ස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ආයතනික මුල්‍ය සහ උපදේශන අංශයේ උප සභාපති අච්චුතන් ශ්‍රී රංගන් සහ එච්එන්බී ස්ටොක්බ්‍රෝකර්ස් පුද්ගලික සමාගමේ විකුණුම් අධ්යක්ෂ කපිල පතිරගේ යන මහත්වරුන් විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ක්‍රියාකාරීත්වය සහ එහි ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී.
එමෙන්ම, ඒකක භාර (Unit Trusts) ක්ෂේත්රයේ නියෝජිතයින් විසින් ඒකක භාරවල ක්‍රියාකාරිත්වය සහ එහි ප්රතිලාභ පිළිබඳ හැඳින්වීමේ සම්මන්ත්‍රණයක් පත්වන ලදී. එහිදී සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර කුමුදු කැකිරිදෙනිය මහතා සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරී මොහොමඩ් අෂ්ෆර් මහතා විසින් ඒකක භාර ආයෝජනයන්හි මූලික සංකල්ප පිළිබඳව පැහැදිලි කළහ.
සංවාද මණ්ඩපය සහ නව ගිණුම් ආරම්භ කිරීම
ආයෝජක හමු ද්විත්වයම අවසන් වූයේ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ පිළිබඳ විවිධ මානයන් සාකච්ඡා කෙරුණු සංවාද මණ්ඩපය සහ ප්‍රශ්නෝත්තර වාරයන් ගෙනි. මේ සඳහා ප්‍රධාන දේශකයින්ට අමතරව, කොළඹ කොටස් හුවමාරුවේ (CSE) විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) බාහිර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න, SEC හි බාහිර සබඳතා කළමනාකාර නිමල් කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස සම්පත්දායකයින් ලෙස එක්වූහ.
ආයෝජක හමු පැවැත්වෙන අතරතුරදී, නව ආයෝජකයන්ට කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයන් හමුවී ආයෝජන ගිණුම් ආරම්භ කිරීමට පහසුකම් සලසා තිබූ අතර, එහිදී මුලින්ම ලියාපදිංචි වූ සහභාගිවන්නන් 400 දෙනෙකු සඳහා SEC සහ CSE මගින් පිරිනමන ලද විශේෂ ආයෝජන කූපන් හිමි විය.
වසර 6 ක විශ්මයජනක වෙළෙඳපොළ වර්ධනයක්
මෙම ආයෝජක හමු සංවිධානය කරනු ලැබුවේ පසුගිය වසර හය තුළ ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ ලැබූ කැපී පෙනෙන වර්ධනයක් පසුබිම් කරගනිමිනි. එහිදී, 2020 මැයි මාසයේදී ඒකක 4,846 ක් ලෙස පැවැති සියලු කොටස් මිල දර්ශකය (ASPI), 2026 මැයි අග වනවිට ඒකක 22,310.80 දක්වා වර්ධනය වී ඇත. මෙය 360% ක සමස්ත වර්ධනයක් වන අතර, ආසන්න වශයෙන් 28.98% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් (CAGR) පෙන්නුම් කරයි. තවද, මෙම ආයෝජනවලින් ලැබෙන ප්‍රාග්ධන ලාභ (Capital gains) තවදුරටත් බදුවලින් නිදහස්ව පැවතීම ආයෝජකයන්ට හිමිවන අතිරේක වාසියකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
