‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ ආයෝජක සමුළු අනුරපුර සහ යාපනයේ සාර්ථකව නිමාවට
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළඳපොළ (CSE) එක්ව ක්‍රියාත්මක කරන ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ (A Share for Everyone, A Unit for Everyone) ජාතික දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර සහ යාපනය කේන්ද්‍ර කරගනිමින් ආයෝජක සමුළු දෙකක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
මෙම ජනතා හමුවීම් හරහා දිවයින පුරා ආයෝජක සහභාගීත්වය පුළුල් කිරීමේ අඛණ්ඩ ප්රයත්නයක් තවදුරටත් තහවුරු වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. අනුරාධපුර සමුළුව 2026 සැප්තැම්බර් 10 වැනි දින ගෝල්ඩන් මැංගෝ හෝටලයේදී පවත්වන ලද අතර, යාපනය සමුළුව 2026 සැප්තැම්බර් 12 වැනි දින ටිල්කෝ යාපනය සිටි හෝටලයේදී පවත්වන ලදී. ප්‍රදේශ දෙකේදීම මේ පිළිබඳව උනන්දුවක් දැක්වූ ආයෝජකයින් 600 කට අධික පිරිසක් මේ සඳහා එක්වූහ.
මුලපිරීමේ අරමුණ සහ සංකල්පය
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතාගේ සංකල්පයක් මත මේ වසරේ ජූලි මාසයේදී මෙම ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ සංකල්පය හඳුන්වා දෙන ලදී.
සාධාරණ, කාර්යක්ෂම, ක්රමික සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් තුළ සියලුම දෙනාට පුළුල් සහ ප්‍රවේශ විය හැකි සහභාගීත්වයක් තහවුරු කරමින් ධනය සහ වටිනාකම් නිර්මාණය කිරීම සඳහා හවුල් කැපවීමක් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ආයෝජන ක්‍රමවේදය සහ වෙළෙඳපොළ වාසි
මෙම සමුළු අමතමින් කොළඹ කොටස් වෙළඳපොළේ අලෙවිකරණ පිළිබඳ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමවලට වඩා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉහළ ප්රතිලාභ ලබා දී ඇති බවයි.
"නවක ආයෝජකයින්ට යුනිට් ට්‍රස්ට් (Unit Trust) හෙවත් ඒකක භාර අරමුදල් හරහා කුඩා ආයෝජනවලින් ඇරඹිය හැකි අතර, මූල්‍යමය දැනුම ඇති අයට කොටස් තැරැව්කාර සමාගම් හරහා සෘජුවම ආයෝජනය කළ හැකියි. සාම්ප්‍රදායික ආයෝජන බද්දට යටත් වුවත්, ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන ප්‍රාග්ධන ලාභ බද්දෙන් තොරයි."
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ගෝලීය සන්දර්භයක් තුළ සාපේක්ෂව අඩු මිල-ඉපැයුම් අනුපාතයක (P/E ratio 11.03x) පවතින බවත්, මැදපෙරදිග අර්බුද මෙන්ම, අතීත යුද්ධය, කොවිඩ්-19, ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය වැනි දැවැන්ත කම්පන දරාගනිමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අනාවරණ වූ පරිදි, පසුගිය වසර 6 ඇතුළත එනම් 2020 අගෝස්තු මාසයේදී 5,320 ක් ලෙස පැවති සියලු කොටස් මිල දර්ශකය (ASPI) 2026 අගෝස්තු අවසාන වන විට 21,315 දක්වා 300% ක වර්ධනයක් සහ 26% ක පමණ සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් (CAGR) වාර්තා කර ඇත.
විශේෂඥ දේශන සහ මණ්ඩල සාකච්ඡා
- කොටස් වෙළෙඳපොළ ඉදිරි දැක්ම
අනුරාධපුරයේදී කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් (පුද්.) සමාගමේ පර්යේෂණ ප්‍රධානී දිලින කුලතුංග මහතා සහ යාපනයේදී ආෂා සෙකියුරිටීස් (පුද්.) සමාගමේ පර්යේෂණ අංශයේ උප සභාපති ඒ. විසාහන් මහතා විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ හැඳින්වීමක් සහ වත්මන් වෙළෙඳපොළ අපේක්ෂාවන් පිළිබඳව දේශන පවත්වන ලදී.
- ඒකක භාර අරමුදල් (Unit Trusts) පිළිබඳ දැනුවත් කිරීම
කොටස් අරමුදල්වල ආයෝජනය කිරීමේ ප්රතිලාභ පිළිබඳව සොෆ්ට්ලොජික් ඇසට් මැනේජ්මන්ට් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර කුමුදු කෙකිරිදෙනිය (අනුරාධපුරයේදී) සහ එන්.ඩී.බී. වෙල්ත් (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තිල්ලෙයිනාමරාජා ලුක්ෂාන් (යාපනයේදී) යන මහත්වරුන් විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
- ප්‍රශ්නෝත්තර සැසිය
සමුළු අවසානයේදී CSE හි අලෙවිකරණ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර, SEC හි බාහිර සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න සහ SEC හි බාහිර සබඳතා කළමනාකාර නිමල් කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක් සහ ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදී.
මෙම ආයෝජක සමුළු අතරතුරදී නව ආයෝජකයින්ට කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර කළමනාකාර සමාගම්වල නියෝජිතයින් හමුවී ආයෝජන ගිණුම් ආරම්භ කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි.
මෙම ආයෝජක සමුළු මාලාව මගින් දිවයිනේ බස්නාහිර පළාතෙන් ඔබ්බට ගොස් ප්‍රාග්ධන වෙළෙඳපොළ දැනුම පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු යොදා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

