එක්සත් ජනපදය විසින් හුවාවේ සමාගම එරෙහිව පනවා තිබූ තහනමට තාවකාලිකව ලබාදුන් සහන කාලය තවත් දින 90ක් දක්වා දීර්ඝ කර තිබේ.
ඇමෙරිකාව විසින් පසුගිය මැයි මාසයේදී චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගමක් වන හුවාවේ සමාගම සිය අසාදු ලේඛනයට එකතු කරනු ලැබුවේ, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.
කෙසේ වෙතත්, පසුව ඔවුන් වෙත තාවකාලික සහන කාලයක් හිමිවූ අතර, එය ලබන සඳුදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද වාණිජ කටයුතු පිළිබඳ ලේකම් විල්බර් රොස් පවසන්නේ, හුවාවේ අනුබද්ධිත තවත් සමාගම් 46ක් මේ වනවිට එක්සත් ජනපද අසාදු ලේඛනයට අතුළත්ව ඇති බවය.
මේ ආකාරයෙන් සමාගම් අසාදු ලේඛනයට ඇතුළත් වූ විට ඔවුන්ට එක්සත් ජනපදය සමග වෙළෙඳ කටයුතු කිරීමට නොහැකි වෙයි.
කෙසේ වෙතත්, ඔවුන් හුවාවේ සමාගමට මෙම සහන කාලය ලබාදී තිබුණේ ගූගල් වැනි සමාගම්වලට පවතින නීතිමය තත්ත්වයන්ට අනුගත වෙමින් හුවාවේ සමාගම සමග ගනුදෙනු කිරීමටය.
මෙම තාවකාලික සහනය දීර්ඝ කිරීම එක්සත් ජනපද පාරිභෝගිකයන්ටද සහනයක් බව රොස් වැඩිදුරටත් පවසයි.