ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ජලජ පරිසරය තුළ වර්ධනය වෙමින් පවතින සමෘද්ධිමත් විශ්මජනක ස්වරූපය අනාවරණය වී ඇත.
HIP හි ඇත්තේ කෘත්‍රිම දියකඩනයක් වුවද, එහි කොරල් පර ඉල්ලම, දැන් දකුණු කලාපයේ වැලිගම, පොල්හේන සහ තලරඹ වැනි ස්වභාවික ස්ථාන අභිබවා ගොස්, ශ්‍රී ලංකාවේ කොරල්පර ආශ්රිත මත්ස්‍ය වර්ග විවිධත්වයෙන් වඩාත් ඉහළ ස්ථානයක් බවට පත්ව ඇත.
වෙරළබඩ ප්‍රදේශයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ස්වභාවික පාරිසරික සමතුලිතතාවයක් වරාය සතුවීම, මෙම ජෛව විවිධත්වයට විශේෂ ලෙස හේතු වේ. කොරල්පර යටපත් කළ හැකි, වේගයෙන් වැඩෙන, ඇල්ගී ආහාරයට ගන්නා සර්ජන්ෆිෂ් (surgeonfish) සහ ඩැම්සෙල්ෆිෂ් (damselfish) වැනි නිරෝගී ශාකභක්ෂක මත්ස්‍ය ගහණය මෙම සමතුලිතතාවය රැක ගැනීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඔවුන්ගේ පැවැත්ම, ස්වභාවික කොරල් වර්ගයන්ගේ වර්ධනයට ඉඩ සලසයි.
"ඇල්ගී ආක්‍රමණය ලොව පුරා දැඩි අවධානයක් යොමු වී ඇති ගැටළුවක් වන්නේ, එය කොරල්පර යටපත් කරමින් පරිසර පද්ධති වල වෙනස් කළ නොහැකි විපර්යාස ඇති කරන නිසා" යැයි අධ්‍යයනයට මූලිකත්වය දෙන සාගර විද්‍යාඥ ආචාර්ය එම්.එෆ්.එම්. ෆයිරෝස් මහතා පැහැදිලි කළේය. "නමුත් HIP හිදී අපි දකින්නේ එයට සම්පූර්ණ විරුද්ධ දෙයක්. ඒ බහුල ශාකභක්ෂක මත්ස්‍ය වර්ගයන්හි පැවැත්ම හේතුවෙන් කොරල්පර පිරිසිදුව, ඵලදායීව තබමින් සමබරව පවැත්මට උපකාරී වන ආකාරයයි."
මෙම ස්වාභාවික "පිරිසිදු කිරීමේ සේවාව" කොරල් ජනපද පුනර්ජනනය කිරීමට උපකාරී වන අතර, එහි ව්‍යුහාත්මක සංකීර්ණතාව සහ ප්‍රත්‍යස්ථිතිය ඉහළ නංවයි. අලංකාර මත්ස්‍ය අස්වැන්න සහ පෝෂක අතිරික්තය නිසා පීඩා විඳින කලාපයේ අනෙකුත් කොරල් ඉල්ලම් වලට වඩා, HIP හි කොරල් ඉල්ලම මිනිස් බාදාවෙන් තොර, අපවිත්රවීම අඩු, සංකීර්ණ කෘතිම කොරල්පර ව්‍යුහයක් සහ සෞඛ්‍ය සම්පන්න ජල ප්‍රවාහයක් සහතික කරන විවෘත සාගර සම්බන්ධතාවයක් වැනි අද්විතීය සාධක කිහිපයක සංයෝජනයෙන් ප්‍රයෝජන ලබයි.
මෙම අනගි පරිසර තත්වයන්, කුඩා විසිතුරු මත්ස්‍ය වර්ග මෙන්ම, වෘත්තීයට ගන්නා විශාල මසුන් සඳහාද ඵලදායී ආහාර ජාලයක් නිර්මාණය කොට ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රවේශයට අනන්‍ය වූ විශේෂිත මත්ස්‍ය වර්ග 8කට වඩා මේ වන විට හඳුනාගෙන ඇති අතර, නිල්-කොළ ක්‍රෝමිස් (Chromis viridis), රෙඩ්ෆින් බටර්ෆ්ලයිෆිෂ් (Chaetodon lunulatus), වැනි අලංකාර වර්ග මෙන්ම ට්රෙවල්ලී (trevallies), එම්පරර් (emperors) වැනි ආර්ථික වශයෙන් වැදගත් වර්ග සහ පොකිරිස්සන්ද ඒ අතර වේ. HIP කොරල් ඉල්ලම සාගර ජීවීන් බෝ කිරීමේ ස්ථානයක් විය හැකි බවට ඉඟි කරමින්, ඒ අවට මසුන් අල්ලන ධීවරයින් හොඳ ප්‍රථිපල වර්ථා කොට ඇත.
"වෙරළබඩ යටිතල පහසුකම් සඳහා පාරිසරික මූලධර්ම ඒකාබද්ධ කිරීමේ ආකෘතියක් ලෙස HIP ස්ථානගත කරන විද්‍යාත්මක පදනමක් දැන් අප සතුව තිබෙනවා. සංරක්ෂණ ඉලක්ක සමඟ, වරාය, සහ සංචාරක ව්‍යාපාර මෙන්ම ධීවර කර්මාන්තයද, එක්ව සහජීවනයෙන් ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳ නැවත සළකා බැලීමට මෙය වටිනා අවස්ථාවක්" යැයි ගවේෂණ කණ්ඩායම සඳහන් කළේය.
කොරල්පර අධ්‍යාපනය, පරිසර සංචාරක ව්‍යාපාරය සහ තිරසාර ධීවර කර්මාන්තය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා HIP හට ඇති හැකියාව ගවේෂණ කණ්ඩායම දකී. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දියකඩනය ආශ්‍රිතව ඇති කොරල් ව්‍යාප්තිය තිරසාර වරාය සංවර්ධනය ව්‍යාපෘති සම්බන්ධ සුවිශේෂ සන්ධිස්ථානයක් බව ඔවුන් පවසයි.