හම්බන්තොට වරාය චීන අලුත් අවුරුදු සංස්කෘතික ප්‍රසංගයට දායකත්වය දෙයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හම්බන්තොට මහ නගර සභාව සමඟ එක්ව, "Colourful Yunnan: Rendezvous in Sri Lanka" යන මැයෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී (MRICC) පවත්වන ලදී.
මෙම සංස්කෘතික සංදර්ශනය, චීන නව වසර සැමරීම නිමිති කොට ගෙන චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රසංග මාලාවකින් එකක් වන අතර, ඒ තුළින් චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා පොදුජන සබඳතා වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරයි. යුනාන් ප්‍රදේශයට ආවේණික ගීත හා නර්තන කලාවෙන් පූර්ණ වූ ප්‍රසංගය, චීනයේ යුනාන් පළාතේ ඉසුරුමත් සංස්කෘතික සම්ප්‍රදායන් විචිත්‍ර ලෙස නිරූපනය කරන ලදී.
ජාත්‍යන්තර රංගන කලාවන් දේශීය ප්‍රජාව වෙත සෘජුව ව්‍යාප්ත කරමින්, කොළඹදී සාර්ථකව ඉදිරිපත් කළ සංදර්ශන දෙකකට අනුගාමීව හම්බන්තොටටත් ප්‍රසංගය රැගෙන ඒම, ශ්‍රී ලංකාවේ දකුණු කලාපයට කළ විශේෂ සත්කාරයකි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ඉන්ද්‍රජිත් ද සිල්වා, හම්බන්තොට නගරාධිපති ඩී.ඒ. ගාමිණී සහ HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු යන මහත්වරුන් විශේෂ අමුත්තන් ලෙස ප්‍රසංගය නැරඹීමට සහභාගී විය. ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ ආරාධිත අමුත්තන්ද අවස්ථාවට සහභාගී වූහ.
මෙම සංදර්ශනයට සම දායකත්වය ලබා දීමෙන් HIP හුදෙක් ලොජිස්ටික්ස් සහ සමුද්‍රීය මධ්‍යස්ථානයක් පමණක් නොව, කලාව වැනි ජන සබඳතා ඉහළ නංවන වැඩසටහන් වෙනුවෙන් කැපව ක්‍රියා කරන සමාගමක් ලෙස සනාථ කරන බවHIPG ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු මහතා පවසයි. හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ, “හම්බන්තොට ජාත්‍යන්තර වරාය සංස්කෘතික හුවමාරුව සහ ප්‍රජා කටයුතු වලට අනුග්‍රහය ලබා දීම, අපගේ සතුටට කරුණක්. වෙළඳාම සහ ආයෝජනය පමණක් නොව ජනතාව සහ සංස්කෘතීන් අතර අර්ථවත් සම්බන්ධතා ඇති කරන මෙවන් වැඩසටහන් හට ඉදිරියේදීත් අත දීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
සම්ප්‍රදායික සංගීතය සහ නර්තන කලාව මුහු වූ රඟ දැක්වීම් රැසක් ඉදිරිපත් කළ 2026 කලර්ෆුල් යුනාන් ප්‍රසංගය, හම්බන්තොට සහ අවට ප්‍රදේශ වලින් පැමිණි ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවකගේ ඇගයීමට ලක් විය .
මෙවැනි සංස්කෘතික හුවමාරු, අන්‍යෝන්‍යය සුහදතා සහ අවබෝධය ශක්තිමත් කර, දිගුකාලීන හවුල්කාරිත්වයන්, සහයෝගීතා සහ වාණිජමය කටයුතු සඳහා ඵලදායී වාතාවරණයක් ගොඩනැගීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
එවැනි වැඩසටහන් සඳහා දායක වීමෙන්, ශක්තිමත් පුද්ගල සබඳතා සහ ආර්ථික වර්ධනය මෙන්ම, වරායේ තිරසාර දියුණුවද තහවුරු කිරීමට හැකිවනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විශ්වාස කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
