ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ ශ්‍රී ලංකා රජය කෙරවලපිටිය-වරාය L දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සඳහා ණය ගිවිසුමක් අත්සන් කළ අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට එහි පුනර්ජනනීය බලශක්ති විභවය විවෘත කිරීමට සහ තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට උපකාර කිරීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 52ක ස්වෛරී පිටුබලය සහිත මූල්‍යකරණයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ සංචාරයකදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ AIIB සභාපති ජින් ලිකුන් යන මහත්වරුන් ඉදිරියේ, භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ රාජ්‍ය අංශයේ සේවාදායක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රජත් මිශ්රා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
කෙරවලපිටිය ස්විචින් ස්ටේෂන් සිට කොළඹ වරාය L ග්‍රිඩ් උපපොළ දක්වා සම්බන්ධ කරන 220kV තනි පරිපථ භූගත කේබල් පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ඉදිකිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙම මාර්ගයේ දෙවන භූගත කේබලය ලෙස, එය 2019 දී ආරම්භ කරන ලද පළමු මාර්ගයට අනුපූරක වනු ඇත. ක්‍රියාත්මක වූ පසු, මෙම ව්‍යාපෘතිය මහ කොළඹ සංවර්ධන ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට, නාගරික සේවාවන්ට සහ ව්‍යාපාරවලට ස්ථාවර සහ විශ්වාසදායක විදුලි සැපයුමක් ලබා දීමෙන් ප්රතිලාභ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය ඉදිරියේදී ඇති වීමට නියමිත විශේෂ ආර්ථික කලාපයේ වර්ධනය වන විදුලිබල අවශ්‍යතා සඳහා සෘජුවම සහාය වන අතර, සැලකිය යුතු ආර්ථික හා සමාජීය ප්රතිලාභ ලබා දෙමින් ප්‍රධාන විදුලි විසන්ධිවීම් අවදානම වක්‍රව අඩු කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය AIIB සහ බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු හවුල්කාරිත්වයට ශක්තිමත් සාක්ෂියක් ලෙස පවතී. මේ වන විට, AIIB රට තුළ පරිවර්තනීය ව්‍යාපෘති පහක් සඳහා සහාය ලබා දී ඇති අතර, බලශක්ති, ප්‍රවාහන සහ නාගරික අංශ හරහා ඇ.ඩො.මිලියන 534ක මුළු මූල්‍යකරණයක් ලබාදෙමින් තිරසාර වර්ධනයක් සහ සංවර්ධනයක් මෙහෙයවමින් සිටී.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යනු තිරසාරභාවය මූලික කර ගනිමින්, යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය වෙනුවෙන් කැප වූ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි. AIIB 2016 දී මෙහෙයුම් ආරම්භ කළ අතර, දැන් ලොව පුරා අනුමත සාමාජිකයින් 110ක් සිටින අතර, ඇ.ඩො.බිලියන 100ක ප්‍රාග්ධනීකරණයක් ලබා තිබේ. එසේම, ප්‍රධාන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් AAA ශ්‍රේණිගත කර ඇත. තිරසාර ආර්ථික සංවර්ධනය පෝෂණය කරන සහ කලාපීය සම්බන්ධතාවය වැඩි දියුණු කරන යටිතල පහසුකම් සහ අනෙකුත් නිෂ්පාදන අංශවල ප්රාග්ධනය බලමුලු ගැන්වීමට සහ ආයෝජනය කිරීමට AIIB හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.