ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති ෆවුරේ එසොසිම්නා නසින්ග්බේ මහතා ඊයේ (11දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිවරයා ඉතා සුහදශීලීව පිළිගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකර තිබේ.
ජනාධිපතිවරායා මෙහිදී ටෝගෝ ජනපතිට කියා ඇත්තේ, ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රැකුලක් බවයි.
ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට හෙට දිනයේදී තමා එක්වන බව මෙහිදී පවසා ඇති ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහිදී ආරාධනා කරන බවත්, විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් සඳහන් කර තිබේ.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග, රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.