2019 අප්‍රේල් මස ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින්, මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.7%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා ඇති කිරීමත්, තරගකාරීත්වය ඉහළ නැංවීමත්, ශ්‍රී ලංකාවේ සර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයට අනුබලය දීමත් අරමුණු කරගත් ව්‍යුහාත්මක සහ ආයතිනක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මිය අවධාරණය කරයි.
වත්මන් නව රජයේ ප්‍රධානීන් හමුවීම සහ එහි ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල්ධාරී කණ්ඩායමක් 2020 ජනවාරි 29දා සිට පෙබරවාරි 07දා දක්වා කාලය තුළ කොළඹට පැමිණ, සිය සංචාරය අවසානයේදී එම දූත මණ්ඩල ප්‍රධානී ගොරෙති මහත්මිය විසින් මෙම ප්‍රකාශය සිදුකරන ලදී. සාමාජික රටක සංචාරය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන මූලික නිරීක්ෂණ මෙසේ ඉදිරිපත් කෙරෙන අතර, එම අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ අදහස් වන බවත්, එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන්ම පිළිබිඹු නොවන බවත් පෙන්වා දෙයි. එමෙන්ම මෙම දූත මෙහෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් නොවන බවද ඔවුන් අවධාරණය කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය;
"මෑතකාලීන ආර්ථික ප්රවණතා සහ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව ජා.මූ.අරමුදලේ (IMF) නිලධාරී කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඵලදායී සාකච්ඡාවන් පැවැත්වුණා. රටේ ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ප්රතිමූල්යන අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, විචක්ෂණශීලී මුදල් පතිපත්තිය සහ ජාත්‍යන්තර සංචිත ගොඩනැංවීම සඳහා වන තිරසාර ප්රයත්නයන් අවශ්‍ය වෙනවා. රටේ වර්ධන විභවතාවය සහ සාර්ව සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ තීරණාත්මක වෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ ත්‍රස්තවාදී ප්රහාරයන්ගෙන් අනතුරුව ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා. 2019 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.6%ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. නිෂ්පාදන අංශයේ සිදු වූ ශක්තිමත් වර්ධනය සහ වසරේ දෙවැනි භාගයේදී සංචාරක හා ඒ ආශ්රිත සේවාවන් යථාතත්ත්වයට පත්වීම මේ සඳහා හේතු වුණා. නිතර නිතර යාවත්කාලීන වන දර්ශක තවදුරටත් වැඩිදියුණු වූ අතර, සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත්වනු ඇතැයිද, නව කොරෝනා වෛරසය මගින් සංචාරක පැමිණීම් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලබෑමක් සිදු නොවනු ඇතැයිද යන උපකල්පනය මත 2020 වසරේදී ආර්ථික වර්ධනය 3.7%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කයට අනුව උද්ධමනය 4.5%ක පමණ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. 2019 වසරේදී ආනයන වියදම සැලකිය යුතු ලෙස පහළ වැටීමෙන් අනතුරුව, 2020 වසරේදී ජංගම ගිණුමේ හිඟය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 3%කට ආසන්න වන පරිදි පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මූලික දත්ත මගින් පෙන්නුම් කෙරෙන පරිදි, දුර්වල ආදායම් කාර්යසාධනය සහ වියදම් එහි ඇස්තමේන්තු ඉක්මවා යාම හේතුවෙන් විස්තීරණ ණය පහසුකම යටතේ ඉලක්කයක් වූ ප්‍රාථමික ශේෂයේ අතිරික්තය 2019 වසරේදී සැලකිය යුතු ප්‍රමාණයකින් මගහැරී ඇති අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 0.3%ක හිඟයක් ලෙස වාර්තා වෙනවා. සංචාරය අතරතුරදී බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡාවලට අනුව වර්තමාන ප්‍රතිපත්ති යටතේ, අලුතින් ක්‍රියාත්මක කරනලද බදු අඩු කිරීම් සහ නිදහස් කිරීම්, දේශීය වශයෙන් පවත්නා හිඟ මුදල් පියවීම සහ 2019 වර්ෂයෙන් ඉදිරියට ගෙනඑන ලද ප්‍රාග්ධන වියදම් වැඩිවීම හේතුවෙන් 2020 වසරේ ප්‍රාථමික ශේෂයේ හිඟය ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1.9%ක් දක්වා පුළුල් විය හැකියි. ණය තිරසාරභාවය සඳහා ඇතිවිය හැකි අවදානම් සහ මැදිකාලීනව පවතින විශාල ප්‍රතිමූල්‍යයන අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය කඩිනම් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වනු ඇති. තීරණාත්මක සමාජ හා ආයෝජන අවශ්‍යතා සඳහා අවකාශය සලසා ගන්නා අතරතුර රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ආදායම් එක්රැස් කිරීම ශක්තිමත් කිරීමට පියවර ගැනීම ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණයක් අඩුකර ගැනීමට උපකාරී විය හැකියි. රාජ්‍ය මූල්‍ය නීති ශක්තිමත් කිරීම සඳහා අදාළ නීති සම්පාදන කඩිනම් කිරීම තුළින් ප්‍රතිපත්ති මනාව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීම, විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීම සහ මැදිකාලීනව තිරසාරභාවය පවත්වාගෙන යෑම තහවුරු වනු ඇති.
ශ්‍රී ලංකා මහ බැංකුව විචක්ෂණශීලී හා දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කළ යුතු අතර, ක්‍රමිකව දියුණු වන සාර්ව ආර්ථික තත්ත්වයන්ට අනුකූල වන පරිදි වෙනස් කිරීමට සූදානම්ව සිටිය යුතුයි. ජනාධිපතිවරණයෙන් පසුව සහ බදු පහත හෙළීමක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව වෙළෙඳ පොළ පීඩනය හමුවේ විස්තීරණ ණය පහසුකම තුළින් සහාය දක්වන වැඩසටහන යටතේ 2019 වසරේ දෙසැම්බර් අවසානය සඳහා වූ ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඉලක්කය ළඟාකර ගත නොහැකි වූ අතර, එම පරතරය එ.ජ.ඩො.මිලියන 100ක් පමණ වුණා. කෙසේ වුවත්, එතැන් සිට වෙළෙඳ පොළ තත්ත්වයන් ස්ථාවර වුණා. නම්‍යශීලී විනිමය අනුපාතිකයක් යටතේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂා කිරීම සඳහා සංචිත ආරක්ෂණ නැවත ගොඩනැගීම සඳහා උත්සාහ ගැනීම අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික ප්රශස්ත භාවිතයන්ට අනුකූලව නව මහ බැංකු පනත අනුමත කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය සහ පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය අත්කර ගැනීමට සහායවීම සඳහා තීරණාත්මක පියවරක් වෙනවා.
විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ යම් අවදානම් සහගත තත්ත්වයන් වරින්වර පැවතුණද, සමස්තයක් වශයෙන් මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවතිනවා. මූල්‍ය අතරමැදි කටයුතුවල අනපේක්ෂිත වෙනස්වීම් සහ අකාර්යක්ෂමතාවන් වළක්වා ගනු වස් ණය අනුපාතිකයන් මත පනවා ඇති උපරිම සීමාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ලබාදී ඇති ණය ආපසු ගෙවීමේ සහනයන් ආදී පියවරයන් තාවකාලික විය යුතුයි. තැන්පතු ලබාගන්නා මූල්‍ය ආයතන හා සම්බන්ධ නියාමනය, අධීක්ෂණය සහ නිරාකරණ රාමු ශක්තිමත් කිරීම හා අනුකූල කිරීමේ අරමුණින් බැංකු පනත නවීකරණය කිරීම මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්‍යතාවයන් මුළුමනින්ම ප්‍රයෝජනයට ගැනීමටත්, සමාජ සහභාගීත්වය වැඩි දියුණු කිරීමටත්, වර්ධනය ඉහළ නංවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමග බලධාරීන් ඉදිරියට යා යුතුයි. රජය සතු වාණිජ ව්‍යවසායන් ශක්තිමත් වාණිජ පදනමක් මත ක්‍රියාත්මක වීමට ඉඩ සලසමින් ඒවායෙහි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වන රජයේ සැලසුම්, දූත කණ්ඩායමේ පිළිගැනීමට ලක්වුණා. විශේෂයෙන්ම බලශක්ති අංශයේ පාලනය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා වූ පැහැදිලි කැපවීමක් සහ දූෂණය මැඬපැවැත්වීම සඳහා වූ නව ප්රයත්නයන් තුළින් මෙම සැලසුම සඳහා සහාය ලැබිය යුතුයි. ව්‍යාපාරික වාතාවරණය වැඩිදියුණු කිරීම, වෙළෙඳාම සඳහා ඇති විවෘතභාවය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම ඇතුළුව තිරසාර යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා දැඩි ප්රයත්නයන් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව, ඉහළ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය, සමාජ ආරක්ෂණය වැඩිදියුණු කිරීම සහ අධ්‍යාපනය හා කුසලතා සඳහා තවදුරටත් ආයෝජනය කිරීම තුළින් වාසි ලබා ගනු ඇති."
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ මෙම දූත පිරිස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී.එන්. වීරසිංහ යන මහත්වරුන් මෙන්ම, වෙනත් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර ආයතනයන්හි නියෝජිතයන්ද හමුවී තිබුණි.