Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
"ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්රශ්නය, සෑම කෙනෙකුම සිතා සිටින දේ නොවිය හැක. එය, ණය බර, දූෂණය, දේශපාලනඥයන් හෝ මත්ද්‍රව්‍ය නොවේ.
චීනය මිත්‍රයා ලෙසත්, ඇමෙරිකා එක්සත් ජනපදය සතුරා ලෙසත් සිතීම සැබවින්ම නිවැරදිද? ඇමෙරිකානු - චීන වෙළෙඳ යුද්ධයෙන් අප ඉගෙනගත යුතු පාඩම කුමක්ද? ආර්ථික ආශ්චර්යක් වෙනුවෙන්, අපේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ වෙළෙඳාම වෙනස් විය යුත්තේ කෙසේද?
බදු අනුපාත ඉහළ නැංවීම, රජයේ ආදායම් වර්ධනය කර නොමැති බව දත්ත මගින් පෙන්වා දී තිබේ. නමුත්, එය නිසැකවම ආර්ථිකය මන්දගාමී කර ඇත. ඒ වෙනුවට, රජය කළ යුත්තේ කුමක්ද?
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර හතර විය යුත්තේ මොනවාද?
විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇගයීමේදී අප ඉතා සරල වැරදි සිදු කරමින් සිටිනවාද? පෞද්ගලික අංශයේ සැබෑ වීරයන් කවුද? ඔවුන් ඔබ සාමාන්‍යයෙන් අසන, දකින අය නොවේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ වාසනාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම වෙනුවෙන්, ඉදිරි පස් වසර තුළදී, මීළඟ ජනාධිපතිවරයාට / රජයට කළ හැකි ප්‍රධාන කාර්යයන් 9ක් වේ."
මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුබ දිශාවකට හැරවීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කෙරෙන,
'A SIMPLE PLAN FOR SRI LANKA' කෘතියෙහි පසුවදනින් ඔබට පවසන දෙයයි. මෙම කෘතියෙහි රචකයා නමින් වරුණ එස්. සිංගප්පුලි ය. වර්ෂ 2014 දී ආයෝජන පර්යේෂණ ආයතන දෙකක් ආරම්භ කරන ඔහු, ආසියානු සේවාදායකයන්ට ආයෝජන පර්යේෂණ සහාය සේවා සැපයීමේ නිරත එම ආයතන හරහා, ආසියාව තුළ ආසියානු මූල්‍ය වෙළෙඳ පොළ කටයුතු ආවරණය කිරීමත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ සේවාදායකයන්ට ආයෝජන පර්යේෂණ සේවා සැපයීමත් සිදු කරමින් සිටියි.
පසුගිය වසර 15ක කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ශ්‍රී ලංකාවේ සමාගම් සහ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ විශ්ලේෂණයන්හි නියැලී ඇති ඔහු, මෙම කාලය තුළ ගෝලීය ආර්ථිකයන් සහ ගෝලීය සමාගම්ද අධ්‍යයනයට ලක්කර ඇත. වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකු ලෙස CFA ආයතනයේ සාමාජිකත්වය ලබා ඇති ඔහු, මොරටුව විශ්වවිද්‍යාලයෙහි පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. 'අද ව්‍යාපාරික පිටුව' තුළ මේ දිගහැරෙන කතාබහ, වරුණ එස්. සිංගප්පුලි විසින් රචිත, 'A SIMPLE PLAN FOR SRI LANKA' කෘතිය පිළිබඳවය. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සුබ දිශාවකට හැරවීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් පිළිබඳවය.
1.) ඔබ මෙවැනි කෘතියක් ලිවීමට පෙළඹුණේ ඇයි?
පසුගිය වසර 15කට වැඩි කාලයක් මගේ රැකියාව වුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ප්රමුඛ පෙළේ සමාගම් විශ්ලේෂණය කිරීමයි. ඊට අමතරව, ගෝලීය ආර්ථිකය සහ ගෝලීය සමාගම් පිළිබඳවත් මා අධ්‍යයනය කර තිබෙනවා. මේ කාලය තුළ මා ලැබූ දැනුම රටට ඵලදායී වනු ඇතැයි සිතමින්, මෙවැනි කෘතියක් රචනා කිරීමට මා පෙළඹුණා.
2.) ඔබේ කෘතියේ විශේෂත්වය කුමක්ද?
අපට බොහෝවිට අසන්නට, දකින්නට ලැබෙන්නේ විවේචන සහ වැරදි පෙන්වීම් පමණයි. සැලැස්මක් ඉදිරිපත්වීම බොහෝ වෙලාවට අඩුයි. "දුප්පත්කම අඩු කරනවා, රැකියා උත්පාදනය කරනවා, කාර්යක්ෂමතාව වැඩි කරනවා," වගේ දේවල් කියවුණත්, ඒවා සැලසුම් නොවෙයි. "ඒවා කරන්නේ කෙසේද, ඒවාට කොතරම් සම්පත් අවශ්‍යද, කොපමණ කාලයකින් කළ හැකිද," වගේ දේවල් කියැවීම බොහෝවිට අඩුයි. ප්‍රායෝගිකව ඉදිරි වසර පහක කාලය තුළ කිරීමට හැකි දේවල්, මේ කෘතිය තුළින් මා පෙන්වා දෙනවා. ලොකු කතාවකට වැඩිය, අපට කිරීමට හැකි දේවල්. මොකද අපට ඇති කාලය සීමිතයි. සම්පත් සීමිතයි. ඒවා සැලකිල්ලට ගනිමින්, මේ සැලසුම මා ඉදිරිපත් කළා.
3.) ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔබ දකින ප්‍රධානතම ප්රශ්නය කුමක්ද?
අපට දැන් තියෙන ප්රශ්නය ව්‍යාකූලයි. ඒ කියන්නේ ප්‍රශ්න ගොඩක්. ඒ නිසා, රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත් නැහැ. රෝග නිධානය සොයාගත යුතුයි. මේ කෘතිය තුළින් බොහෝදුරට මා උත්සාහ කරන්නේ එයයි.
අපේ ආර්ථික වර්ධන වේගය අඩු බැවින් වැඩි දෙනෙකුගේ ආදායම් ඉතා අඩු මට්ටමක පැවතීම, එනම් අඩු ආදායම් ලබන රටක් වීම අපට ඇති විශාලතම ප්රශ්නයයි. ආදායම වැඩිවේවි යැයි කියා කිසිම බලාපොරොත්තුවක් අපට නැහැ. ණය බර, දූෂණය, හොරකම, ජාතිවාදය හෝ මත්ද්‍රව්‍ය ආදී මේ සෑම ප්‍රශ්නයකටම හේතුවන මූලික ප්රශ්නය මෙයයි. මගේ කෘතියේ තර්කය ගොඩනැගෙන්නේ මේ තුළයි. එතැනදි, ප්රශ්නය ව්‍යාකූල වුණාට, පිළිතුර සරල විය යුතුයි. පසුගිය වසර 70ක් පුරා මේ සඳහා නිසි විසඳුමක් අපට සොයාගැනීමට නොහැකි වූයේත්, පිළිතුරද ව්‍යාකූල වූ නිසයි. ඒ නිසා පිළිතුර සරල කර ගැනීමට, මේ ප්රශ්නයේ මුලට යා යුතුයි කියන දේ මගේ කෘතිය තුළ පැවසීමට මා උත්සාහ කරනවා.
4.) ඔබ යෝජනා කරන සැලැස්මේ ආරම්භය කුමක්ද?
මේ වනවිට ශ්‍රී ලංකාවට ඇති ලොකුම වාසිය නම්, ලෝකයේ මහා බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය ශ්‍රී ලංකාව ගැන විශාල උද්යෝගයකින් පසුවීමයි. ඇතැම් අය මෙය තර්ජනයක් ලෙස අර්ථ ගැන්වීමට උත්සාහ කළත්, අපට ඇති වාසියද එයයි. ලෝක ඉතිහාසය අරන් බැලුවත්, ජපානය, දකුණු කොරියාව, තායිවානය ආදී සෑම රටකම දියුණුව සඳහා විශාලතම හේතුව වුණේ, භූ දේශපාලනික වාසි ප්‍රයෝජනයට ගැනීමයි. ඉතිං ඒ අවස්ථාව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවටත් උදාවී තිබෙනවා. එතනදි, මේ භූ දේශපාලනික වාසි තේරුම් නොගෙන කොතරම් ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළත් ඵලදායී වන්නේ නැහැ. එසේ කළ හැකිව තිබුණේ නම්, අද සෑම රටක්ම දියුණු වී තිබිය යුතුයි. ඒ නිසා මේ තත්ත්වය හරිහැටි අවබෝධ කරගනිමින් අපේ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට සිදුවන බව මා මේ කෘතියෙන් පෙන්වා දෙනවා.
5.) භූ දේශපාලනික වාසිය ශ්‍රී ලංකාව ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත යුත්තේ කෙසේද?
එතනදි, ඇමෙරිකාව සහ චීනය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුවන විශාල උද්යෝගයෙන් අප ප්‍රයෝජනය ගන්නේ කෙසේද කියන දේ මීළඟට බැලිය යුතුයි. අපේ ආදායම් ඉතා අඩු මට්ටමක පැවතීම හා එහි වැඩිවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් නැතිවීම අපට ඇති විශාලතම ප්රශ්නය බව මා කලින් සඳහන් කළා. ඒ අනුව, රටේ ජනතාවගේ ආදායම් වැඩිවීමට නම් රට පුරා කර්මාන්ත ශාලා බිහිවිය යුතුයි. ඒ වගේම, රැකියා උත්පාදනය විය යුතුයි. මේ සඳහා එක් පැත්තකින් අපට තාක්ෂණය අවශ්‍යයි. අනෙක් පැත්තෙන් වෙළෙඳ පොළ අවශ්‍යයි. මේ අවශ්‍යතා දෙක ඉටුකර ගැනීමට මේ දැවැන්ත ආර්ථික බලවතුන් දෙදෙනා ප්‍රයෝජනයට ගැනීමට අප ඥානවන්ත විය යුතුයි.
අද ආර්ථික බලවතෙකුව සිටින චීනය මෙන්ම, වියට්නාමය පවා දියුණු වීමට ප්‍රධානතම හේතුව ඇමෙරිකානු වෙළෙඳ පොළයි. ඒ නිසා ඇමෙරිකානු වෙළෙඳ පොළ නතුකර ගැනීම සඳහා අප සංවාදයක් ඇරඹිය යුතුයි. නමුත්, අපේ කේවල් කිරීම සිදුවන්නේ, ඩොලර් මිලියන 400ක - 500ක ආධාරක් සඳහායි. මුදල් ඉල්ලා සිටීම වෙනුවට, අතීතයේදී ජපානය, දකුණු කොරියාව, තායිවානය ආදී රාජ්‍යයන් සිදුකළාක් මෙන් 'Most Favored Nation' කියන තත්ත්වයක් අපත් ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා කේවල් කළ යුතුයි. ඒ ආකාරයට ඉතා සහනදායී තීරු ගාස්තු යටතේ අපේ භාණ්ඩ සඳහා ඇමෙරිකානු වෙළෙඳ පොළ විවෘතකර ගත යුතු බව මා මේ කෘතියෙන් පෙන්වා දෙනවා.
අනෙක් පැත්තෙන්, අප චීනය පාවිච්චි කළ යුත්තේ තාක්ෂණය ලබාගැනීම සඳහායි. නමුත්, අද අප චීනයෙන් ඉල්ලා සිටින්නේ, "පාරක් හදා දෙන්න, රේල් පාරක් හදා දෙන්න, ගෙවල් 100ක් හදා දෙන්න, වාහන ටිකක් එවන්න" වගේ දේවල්. එවැනි ආධාර සඳහා අප චීනය පාවිච්චි නොකළ යුතුයි. ඒ වෙනුවට, අප චීනයෙන් තාක්ෂණය ඉල්ලා සිටීමට සංවාදයක් ගොඩනගා ගත යුතුයි. Huawei, Lenovo වැනි කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළට රැගෙන එන ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා කේවල් කළ යුතුයි.
මේ ආකාරයට, එක් පැත්තකින් තාක්ෂණයත්, අනෙක් පැත්තෙන් වෙළෙඳ පොළත් දිනාගත් විට කර්මාන්ත ශාලා ඉදිවෙලා, රැකියා උත්පාදනය වෙලා, ජනතාවගේ ආදායම් වැඩිවීම නිරායාසයෙන් සිදුවෙනවා. මෙය න්‍යායක් නොවෙයි. අතීතයේදී වෙනත් රටවල මෙය සිදුවුණා. එදා දකුණු කොරියාව, ජපානයෙන් තාක්ෂණය අරගෙන ඇමෙරිකානු වෙළෙඳ පොළට ගියා. ශ්‍රී ලංකාවත් කළ යුත්තේ මෙය බව මා මෙම කෘතියෙන් පසක් කරනවා.
මෙතෙක් කලක් අප කළේ ඔවුන් දෙන දෙයක් අරගෙන, ඔවුන්ට ඕන දේ ලබාදුන් එකයි. අපට ලබාදෙන දේ තීරණය කළේ අප නොවෙයි. ඔවුන් තමයි, එය තීරණය කළේ. මෙය වෙනස් කළ යුතුයි. භූ දේශපාලනික වාසිය උපයෝගී කරගෙන, මුල් අවුරුදු දෙකේදී ශ්‍රී ලංකාව තුළ වෙනසක් කිරීමට අප උත්සාහ කළ යුතුයි. උදාහරණයක් ලෙස දැනට වසරකට වැඩි කාලයක් ඇමෙරිකාව හා චීනය අතර ඇතිවී තිබෙන වෙළෙඳ සංවාදය ඔබ සලකා බැලුවොත්, එවැනි සාකච්ඡාවක් අප කිසිදු රාජ්‍යයක් සමග සිදුකරන්නේ නැහැ නේද? ඒ නිසා දෙන දෙයක් ලබාගෙන ඔහේ නොසිට, අප කළ යුත්තේ එවැනි සංවාදයක් ඇතිකර ගැනීමයි.
6.) ගතානුගතිකවම ඇමෙරිකාව දෙස සැකයෙන් බලන අපට මෙය කළ හැකිද?
සිරියාව, ලිබියාව, ඉරාකය වගේ රටවල්වලට ඇමෙරිකාවෙන් සිදුවූ දේ ගැන අප බොහෝ වෙලාවට කතා කරනවා. නමුත්, එහි අනෙක් පැත්ත, මා කලින් සඳහන් කළාක් මෙන් ජපානය, වියට්නාමය, තායිවානය වෙත ඇමෙරිකානු වෙළෙඳ පොළ විවෘත වීමෙන් ඔවුන් දියුණු වූ ආකාරය අප කතා කරන්නේ නැහැ. අදටත් ශ්‍රී ලංකාවට ලොකුම වෙළෙඳ අතිරික්තයක් ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එය ඇ.ඩො.බිලියන 2.5ක විතර ප්‍රමාණයක්. අනෙක් රටවල් ගත්තොත්, චීනය, ඉන්දියාව ආදී රටවල පවතින්නේ, ඇ.ඩො.බිලියන 4ක විතර වෙළෙඳ හිඟයක්. එසේ ඉලක්කම් බැලුවත්, වෙළෙඳ පොළ බැලුවත් අපට වර්ධනය වීමට හැකි විශාල ඉඩකඩක් ඇමෙරිකානු වෙළෙඳ පොළ තුළ තිබෙනවා. එබැවින්, මේ කාරණා දෙස අප බොහොම ප්‍රායෝගිකව බැලිය යුතුයි. එක පැත්තක් පමණක් නොබලා, ලෝක ඉතිහාසයේ සෑම පැත්තක්ම දැනගෙන, වඩාත් පුළුල්ව සිතා බලා ප්‍රතිපත්ති සෑදීම කළ යුතුයි.
7.) ඔබ යෝජනා කරන විදෙස් ප්‍රතිපත්තිය හා ඉන් ඔබ්බට රජයට කළ හැකි දේ මොනවාද?
මා කියා සිටි සැලසුම ක්‍රියාත්මක වීමට නම්, රජයටත් විශාල දෙයක් කිරීමට සිදුවෙනවා. ඒ රජයේ අයවැය ප්‍රතිපත්තිය හරහායි. එනම්, රජයේ මැදිහත්වීමෙන් අපේ ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාල, පුහුණු ආයතන ඇතිකළ යුතුයි. කලින් සඳහන් කළ ආකාරයට, කර්මාන්ත ශාලා බිහිවීමට, විදෙස් වෙළෙඳ පොළ විවෘත වීමට නම් අපට හොඳ ශ්‍රම බලකායක් අවශ්‍යයි. චීනය ශ්‍රී ලංකාවේ ඇති කරන කර්මාන්ත ශාලාවකට අවශ්‍ය සුදුසුකම් සහිත ශ්‍රමිකයන් අපේ ශ්‍රම බලකාය තුළ නැත්නම්, ඔවුන් අපේ රට තුළ ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම, අපේ භාණ්ඩවල නියමිත ප්‍රමිතියක් නැත්නම් ඒ භාණ්ඩ ලබාගැනීමට ඇමෙරිකාව කැමති වන්නේ නැහැ. එසේ සුදුසු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයයි. ඒ සඳහා පුහුණු ආයතන, විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි. ඊට අමතරව, මේ සමාගම්වලට බදු සහන හා අනෙකුත් යටිතල පහසුකම්ද රජය විසින් ලබාදිය යුතුයි. ඒවා කඩිනමින් ඉටු කිරීමට අපට හැකි වුණොත්, ඒ රාජ්‍යයන්ටත් අප ගැන විශ්වාසයක් ඇති වන බව මේ කෘතිය තුළ මා පෙන්වා දෙනවා.
8.) අප සෑමදාම අයවැය හිඟයක. ඔබේ සැලැස්ම අනුව ඒ හිඟය තවදුරටත් වැඩිවෙනවා නේද?
විශ්වවිද්‍යාල, යටිතල පහසුකම් ආදිය රජයේ අයවැය හරහා සිදුකරන විට ලොකු වියදමක් දැරීමට සිදුවීම සත්‍යයක්. එහිදී, අනිවාර්යයෙන් අයවැය හිඟය වැඩිවෙනවා. මා මුලින් සඳහන් කළාක් මෙන්, මෙය ප්‍රායෝගික සැලැස්මක්. මේ තුළින් සෑම නිර්ණායකයක්ම හොඳ වෙනවා යැයි මා කියන්නේ නැහැ. ඒ නිසා අප මුලින්ම කළ යුත්තේ රැකියා නංවමින්, ආදායම් වැඩි කරමින්, වර්ධන වේගය ඉහළ දැමීමයි. මෙය ප්‍රායෝගික සැලැස්මක් නිසා, අයවැය හිඟය වැනි නිර්ණායකයක් තරමක් නරක පැත්තට ගියත්, එය විශාල ප්‍රශ්නයක් නොවෙයි. මොකද, අපේ විශාලම ප්රශ්නය ආර්ථික වර්ධන වේගය අඩුවීම සහ ආදායම් පහළ යාමයි. ජංගම ගිණුමේ විදේශ අංශයේ ඇති හිඟය අනෙක් විශාලතම ප්රශ්නයයි. අයවැය හිඟයටත් වඩා බරපතළ ප්රශ්නය මෙයයි.
9.) ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ විදේශීය අංශය මෙතරම් වදගත් වන්නේ ඇයි?
අප නිතරම ණය බර ගැන කතා කළත්, මේ ණය බරෙහි අපට විශාලතම ප්රශ්නය ඇත්තේ විදේශ ණයවලයි. මොකද, මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් හා සියලු අපනයන ආදායම්වලට වඩා ඇ.ඩො.බිලියන 2ක් - 3ක් පමණ අපේ ආනයන වියදම වැඩියි. මේ හිඟය විදේශ ණය විදියට අපට ලබාගැනීමට සිදුවෙනවා. ඒ නිසා තමයි, අපේ විදේශ ණය විශාල ලෙස වැඩිවන්නේ. මේ විදේශ විනිමය ගැන අපට කිසිම පාලනයක් නැහැ. ඒවා අච්චු ගැසීමට අපට හැකියාවක් නැහැ.
මුලින් සඳහන් කළ ආකාරයට කර්මාන්ත ශාලා බිහිකරමින්, විදේශ වෙළෙඳ පොළට විවෘත වෙමින් අපේ අපනයන වැඩිකිරීම මීට පිළිතුරයි. ඒ තුළින් අපනයනවල විශාල වර්ධනයක් සමග ජංගම ගිණුමේ හිඟය නැතිකර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ ඔස්සේ විදේශ ණය වැඩිවීම අඩුකර ගැනීමට අපට හැකි බව මේ කෘතිය තුළින් මා ගෙනහැර දක්වනවා.
10.) අයවැය හිඟය පියවාගෙන ණය උගුලෙන් මිදී ඉදිරියට යන්නේ කෙසේද?
මීට කෙටි කාලීන පිළිතුරු නැහැ. මා කලින් සඳහන් කළ ආකාරයට අයවැය හිඟය තවදුරටත් පිරිහීමට ඉඩදිය යුතුයි. ඒ වගේම, රුපියල් ණය වැඩිවීමට ඉඩදෙන්නට අපට සිදුවෙනවා. අපේ උත්සාහය පවතින්නේ, ආදායම් වැඩිකර, වර්ධන වේගය නංවා, විදේශ ණය ගැනීම අඩුකර ගැනීමටයි. මේ ආකාරයට, ආදායම් වැඩිවී, වර්ධන වේගය ඉහළ නැංවෙමින්, ආර්ථිකය දියුණු වනවිට, ක්‍රමිකව රජයේ ආදායමත් වැඩි වෙනවා. එවිට, වසර 5කින් පසුව තවදුරටත් ඉදිරියට යෑමේදී, ලොකු වර්ධන වේගයක් සමග ක්‍රමයෙන් අයවැය හිඟය වගේම, රුපියල් ණය ප්‍රමාණයත් අඩුකර ගැනීමට අවකාශය අපට විවර වෙනවා. අද ප්රශ්නය තවත් උග්‍රවී ඇත්තේ මේ තත්ත්වය අද හෙටම හදන්නට යෑමෙනුයි.
11.) කෙටි කාලීනව අයවැය හිඟය පියවා ගැනීම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද?
2009 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේදී බොහෝ සංවර්ධිත රාජ්‍යයන් Quantitative Easing (QE) වැඩසටහන දියත් කළා. ඒ රටවල මහ බැංකුවලින් මුදල් ලබාදීම තමයි, එතනදි සිදුවුණේ. එවැනි දෙයක් ශ්‍රී ලංකාවේදීත් මුල් අවුරුදු දෙකේදී කළ යුතුයි. මොකද, මුල් අවුරුදු දෙකේදී ශ්‍රී ලංකාව තුළ කෙටි කාලීනව අයවැය හිඟය පියවා ගැනීමට ඇති එකම පිළියම එයයි. එනම්, ඇමෙරිකානු හා චීන වෙළෙඳ පොළ සමග අපේ සාකච්ඡාව, අපේ කේවල් කිරීම සිදුවන විට, රටේ ආර්ථිකය වෙත අවශ්‍ය තල්ලුව ලබාදීම රට ඇතුළෙන්ම, අපේ මහ බැංකුවෙන්ම සිදුවිය යුතුයි. මේ යාන්ත්රණයට අවශ්‍ය, මුල් තල්ලුව ලබාදීමට සිදුවන්නේ එලෙසයි. මෙය අප පමණක් අත්හදා බලන දෙයක් නොවෙයි. මේ සම්බන්ධ බොහෝ නිදර්ශන ලෝක ආර්ථිකයේ පවතිනවා.
12.) මින් ඔබ යෝජනා කරන සංවර්ධනය කළ යුතු කර්මාන්ත ක්ෂේත්‍ර මොනවාද?
යළිත් මා කියන්නේ, අපට ඇති සම්පත් සීමිතයි, කාලය සීමිතයි. ඒ නිසා හැමදේම ලොකුවට සංවර්ධනය කළ නොහැකියි. මේ කෘතියෙන්, සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර 4ක් ගැන මා කතා කරනවා. මෙහි මුලින්ම ගැනෙන්නේ, තාක්ෂණික හා කුඩා කර්මාන්තයි. අප චීනයෙන් තාක්ෂණය ලබාගෙන, ඇමෙරිකාවෙන් වෙළෙඳ පොළ සොයාගත යුත්තේ මේ සඳහායි. මේ වෙනුවෙන් රජයත්, යටිතල පහසුකම් හා පුහුණු ශ්‍රමය ඇති කිරීමට දායක විය යුතුයි. මේ නිසා ඇඟලුම් වැනි රැකියාවලින් ඔබ්බට, වැඩි ආදායම් උත්පාදනය වන රැකියා බිහිවේවි. අනෙක් ක්ෂේත්රය ලෙස ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම අනුවම අපේ සංචාරක කර්මාන්තයට තව විශාල තල්ලුවක් ලබාදිය යුතුයි. එයින් අප තවමත් ලබාගන්නේ ඇ.ඩො.බිලියන 4.5ක් වගේ ප්‍රමාණයක්. එය ඇ.ඩො.බිලියන 15ක් දක්වා ඉදිරියට ගත හැකියි. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව අනෙක් ක්ෂේත්රය ලෙස වරාය ආශ්රිත කාර්මාන්තවලටත් විශාල අවස්ථාක් පවතිනවා. රජයේ යොමුවීමෙන් විශාල සංවර්ධනයක් සිදුකළ යුතු ක්ෂේත්රයක් ලෙස මෙය දැක්විය යුතුයි. මූලික වශයෙන් රැකියා බිහිවීමට, ආදායම් ඉහළ යාමට හා විදේශ විනිමය ඉපයීමට අප විසින් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර ලෙස මේ කෘතිය තුළින් මා පෙන්වා දෙන්නේ, මෙකී කර්මාන්තයි.
13.) ජනතාවගේ සහ දේශපාලනඥයන්ගේ කාර්යභාරය ලෙස ඔබ යෝජනා කරන්නේ කුමක්ද?
ජනතාව බොහෝවිට රජයෙන් ඉල්ලා සිටින්නේ, "භාණ්ඩවල මිල අඩු කරන්න, පඩි වැඩි කරන්න" වගේ කාරණාවනුයි. එතනදි, දේශපාලනඥයනුත් බොහෝවිට යොමුවෙන්නේ මේ දේ කරන්නයි. ඒවා කෙටි කාලීනයි. ඒවා පාලනය කළ නොහැකියි. ඊට වඩා අපේ ජනතාව ඉල්ලා සිටිය යුත්තේ, "ඔබලාගේ සැලසුම් මොනවාද? ඊළඟ අවුරුදු කිහිපය තුළ මේ මේ අංශවලින් කවර තත්ත්වයකට ළඟාවිය හැකිද?" ආදී දේවලුයි. දේශපාලනඥයනුත් ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කරමින්, "ඔබලාට හෙට අනින්දා පඩි වැඩි වන්නේ නැහැ. අප දියත් කරන්නේ විදේශ ආයෝජන තුළින් කර්මාන්ත ශාලා බිහිකර, ආදායම් වැඩිවන ක්‍රමවේදයක්" යැයි ජනතාවට අවංකව පොරොන්දු විය යුතුයි. මේ දෙපාර්ශ්වයම මීට වඩා බුද්ධිමත්ම, කල්පනාවෙන් වැඩකළ යුතුයි.
14.) සමස්තයක් ලෙස ඔබ මෙහි දක්වා ඇති සැලසුම් ප්‍රායෝගිකද?
මේ සැලසුම පහසු දෙයක් නොවෙයි. මෙය අමාරුයි. නමුත්, මේ සෑම දෙයක්ම ප්‍රායෝගිකයි. මේ සඳහා භූ දේශපාලනික වාසිය අප ප්‍රයෝජනයට ගත යුතුයි. අද සිදුවන ඇමෙරිකානු - චීන වෙළෙඳ සාකච්ඡාව වැනි සාකච්ඡා අපත් ඇතිකර ගත යුතුයි. ජපානය, දකුණු කොරියාව වගේ රටවල අද ඇමෙරිකානු හමුදා කඳවුරු පවා තිබෙනවා. නමුත්, අපේ රටෙත් ඇමෙරිකානු කඳවුරක් තියෙන්න ඕනෙ කියන දේ මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් යම් වටිනාකමක් ඇති දෙයක් අපට ලබාදෙනවා නම්, යම් වටිනාකමක් ඇති දෙයක් ඔවුන්ට ලබාදෙන්නට අපටත් සිදුවෙනවා. මෙය ඉතා බුද්ධිමත්ව, කල්පනාකාරීව, සූක්ෂවම අප කළ යුතුයි. ලෝක ආර්ථිකයේ මෙවැනි දේ පිළිබඳ නිදසුන් පවතින නිසා, මෙය අපට අපහසු දෙයක් නොවෙයි.
ඒ වගේම, අයවැය හිඟය වැඩිවීමට ඉඩදිය යුතුයි කියා මා කියා සිටියා. එයද, ප්‍රායෝගිකයි. උදාහරණයක් ලෙස වියට්නාමයේ පැවතියේ අයවැය හිඟයක්. නමුත්, ඔවුන් ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. පෞද්ගලික ක්ෂේත්රයේ වුණත්, Facebook, Amazon වගේ සමාගම් මුල් අවුරුදුවල මෙහෙයුම් සිදුකළේ පාඩුවටයි. නමුත්, ඔවුන්ගේ ආදායම් ඉතාමත් වේගයෙන් වර්ධනය වුණා. මොකද, ආයෝජකයන් ඔවුන් සමග දිගටම රැඳී සිටියා. පාඩු ලබනවා කියන දේ නොවෙයි, ඔවුන් වර්ධනය වෙනවා කියන දේ නිසා ආයෝජකයන් ඔවුන් සමග රැඳුණා. අද ශ්‍රී ලංකාවට ආයෝජකයන් නැහැයි කියා කියන්නේ, අපේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් අඩු නිසයි. මෙවැනි අඩු වර්ධන වේගයකට ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අයවැය හිඟය පියවීමට වඩා වර්ධන වේගය වැඩිකර ගැනීමට අප කටයුතු කළ යුතුයි. අනෙක් අතට, අයවැය හිඟය පියවා ගැනීමට මහ බැංකුවේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ සඳහා 2009 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේදී ලෝකයේ මහ බැංකු සිදුකළා වැනි මැදිහත්වීමක් අවශ්‍යයයි. මේ කෘතිය තුළින් මා පෙන්වාදෙන බොහෝ දේ කලින් සිදුවී ඇති දේ නිසා මේවා කරන්නට පුළුවන්.
15.) ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති වෙත මෙම කෘතියෙන් යෝජිත කාර්ය භාරයන් 9 කුමක්ද?
අවුරුදු පහක කාලයක් තුළ, අපේ තියෙන සම්පත් අනුව කිරීමට හැකි දේ තමයි, මම මේ කෘතියෙන් යෝජනා කරන්නේ. ප්රශ්නය බොහෝ ව්‍යාකූල වුණත්, පිළිතුර බොහෝ සරල විය යුතුයි කියා මා මුලින්ම කියා සිටියේ මේ නිසයි. මෙතනදි, සිදුකළ යුතු කාර්යයන් 9ක් මා ඉදිරිපත් කරනවා. මේ දේවල් සියල්ලම පළමු අවුරුදු 5 තුළ කිරීමට නොහැකි වුණත්, ඉන් 80%ක් - 90%ක් හෝ ඉටුකළොත් ශ්‍රී ලංකාව තුළ විශාල වෙනසක් සිදුවේවි. සියලු දෙනාට දැනෙන වෙනසක් සිදුවේවි. මෙයින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න විසඳුනේ නැතත්, ඒ සෑම ප්‍රශ්නයක්ම විසඳෙන මාවතකට පිවිසෙන්නට හැකිවේවි. මේ කෘතිය පිළිබඳ මූලික අවබෝධයක් ඔබ තුළ දැන් පවතින බව මා විශ්වාස කරනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වාසනාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම වෙනුවෙන්, ඉදිරි පස් වසර තුළදී, මීළඟ ජනාධිපතිවරයාට/රජයට කළ හැකි ප්‍රධාන කාර්යයන් නවය (9) ගැන දැනගැනීමට 'A SIMPLE PLAN FOR SRI LANKA' කෘතිය කියවන්න කියා මා ඔබට ආරාධනා කර සිටිනවා.
මේ දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පැවැත්වෙන '2019 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ', විජිත යාපා ප්‍රකාශන මන්දිරයෙන් 'A SIMPLE PLAN FOR SRI LANKA' පිටපතක් ඔබටත් වෙන්කරවා ගැනීමට පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd