කලාපයේ පළමු වැනි සහ විශාලතම අතථ්‍ය ආයෝජන සංසදය ලෙස 'ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021' ජුනි මස 07දා ආරම්භ වී අද (09දා) අවසන් වීමට නියමිතය.
ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව දින තුනක් පුරා පැවැත්වෙන මෙම අතථ්‍ය සංසදය සංවිධානය කරයි. මෙමගින් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ අවස්ථා ලොව පුරා සිටින ආයෝජකයන්ට මෙන්ම, පුළුල් පරාසයක විහිදෙන කර්මාන්ත අංශ සහ ආයතනයන් වෙත පෙන්නුම් කරමින් මේ වනවිට සාර්ථකව පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
ඊයේ (08දා) දහවල් වනවිට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත. විවිධ කේෂ්ත්රයන්ට අයත් ආයෝජකයන් 1,883කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2,784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුල කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇත.
ආසියාවේ අතථ්‍ය ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව 'ශ්‍රී ලංකා ආයෝජන සංසදය 2021' බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. මෙවැනි සමුළුවක් තුළින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්රහනයන් අත් කර ගැනීමට අපේක්ෂා කරන බවද මොහොට්ටාල මහතා පවසයි.