ව්‍යවසාය සංවර්ධනය වේගවත් කිරීමට CSE හා කොමර්ෂල් බැංකුව එක්වෙයි
ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ප්‍රාග්ධන සම්පාදනය පහසු කිරීම සහ උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව පුළුල් කරගැනීම අරමුණු කරගනිමින් කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සහ කොමර්ෂල් බැංකුව පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම ගිවිසුම ඇති කරනු ලැබ ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ පුළුල් ආයතනික වර්ධන පරිසර පද්ධතිය සඳහා සහයෝගී වේදිකාවක් සැපයීම මඟින් අවස්ථා පුළුල් කරගැනීමේ අන්‍යෝන්‍ය පිළිගැනීම මතය. තවද, මූල්‍ය සාක්ෂරතාව සහ සහභාගීත්වය ඉහළ නැංවීමේ හවුල් කැපවීමද මෙයට ඇතුළත් වේ. එකිනෙකා සමඟ අත්වැල් බැඳගැනීම හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ වඩාත් සමීප කරවීම මෙම ආයතනවල අපේක්ෂාවයි. එවැනි සමාගම්වලින් ලැබෙන වැඩිදුර සහභාගීත්වය වෙළෙඳපොළ පුළුල් කිරීමටත්, ආයෝජන විකල්ප විවිධාංගීකරණය කිරීමටත්, දිගුකාලීන ආර්ථික වර්ධනයට දායක වීමටත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වෙනත් මුලපිරීම් අතර, සුදුසුකම්ලත් ව්‍යාපාර හඳුනාගැනීම සහ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා ක්‍රමවත් නාලිකාවක් නිර්මාණය කිරීම, සහයෝගය ලබාදීම පිණිස පොරොන්දු වූ සමාගම් හඳුනාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකාර ජාලය සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ වේදිකා භාවිත කිරීම, වැඩමුළු සහ සම්මන්ත්රණ පැවැත්වීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාග්ධන රැස්කිරීමේ ක්‍රමවේද හා නියාමන අවශ්‍යතා පිළිබඳව අපේක්ෂිත නිකුත්කරුවන්ට (Issuers) මඟපෙන්වීම යන අංශ මෙම හවුල්කාරිත්වය යටතේ සිදු කිරීමට නියමිතය.
සහභාගී වන සමාගම් සඳහා වන සහයෝගය කොමර්ෂල් බැංකුවේ ආයෝජන බැංකු ඒකකය (Investment Banking Unit) හරහා පුළුල් කරනු ලබන අතර, එයට ප්‍රාග්ධන රැස්කිරීමේ විකල්ප, නියාමන අවශ්‍යතා සහ අපේක්ෂිත නිකුත්කරුවන් සඳහා වන සූදානම් වීමේ තක්සේරු (Readiness Assessments) වැනි ක්ෂේත්‍ර ඇතුළත් වේ. කොළඹ කොටස් වෙළඳපොළට සිය සාම්ප්‍රදායික කොටස්වලින් ඔබ්බට යාමට හැකි වන පරිදි වැඩමුළු, සම්මන්ත්රණ සහ පුද්ගල කේන්ද්‍රීයව පවත්වන සැසි (One-on-one sessions) ඇතුළු ඒකාබද්ධ සම්බන්ධීකරණ මුලපිරීම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම මඟින් අඩිතාලම දමනු ලැබේ. එමඟින් ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ අන්තර්ගතභාවය සහ විවිධත්වය වැඩිදියුණු කරමින්, අඩු පහසුකම් සහිත ප්‍රදේශ සහ ක්ෂේත්‍ර වෙත ගැඹුරටම පිවිසීමට අවස්ථාව සැලසේ.
තනි පුද්ගල ලැයිස්තුගත කිරීම්වලින් ඔබ්බට ගොස්, මෙම හවුල්කාරිත්වය මඟින් ජාතික මූල්‍ය පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ පුළුල් අභිප්‍රාය පිළිබිඹු වේ. ආයතන දෙකෙහි පුළුල් ජාලය සහ විශේෂඥ දැනුම ඒකාබද්ධ කිරීම මඟින් ව්‍යාපාර සඳහා පැහැදිලි මාර්ග නිර්මාණය කිරීමටත්, දැනුවත් ආයෝජන සංස්කෘතියක් දිරිගැන්වීමටත්, දිවයින පුරා පුළුල් පරාසයක පවතින දේශීය ව්‍යවසායන්ට වර්ධනය වීමේ අවස්ථා හිමි වන බව තහවුරු කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

