ලෝක වෙළෙඳ පොළේ ගෑස් සැපයුම අඩුවීම නිසා ගෑස් ආනයනයේ සුළු ප්‍රමාදයක් පවතින බවත්, තව දින දෙකකින් පමණ මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම පාහේ නිරාකරණය වන බවත් ලාෆ් ගෑස් අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්රම මහතා පවසා සිටියේය.
වෙළෙඳ පොළෙහි ගෑස් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් %අද^ කළ විමසුමකදී හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්ද එදිරිවික්රම මහතා,
"පහුගිය මාස එකහමාර දෙකක කාලය තුළ ලෝක වෙළෙඳ පොළේ ගෑස් සැපයුම අඩුවී තිබෙනවා. සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදු සංකීර්ණය ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමත්, මැදපෙරදිග කලාපයට අවට මුහුදේ නෞකා ගමනාගමනය සීමාවීමත් නිසා ගෑස් සැපයුම 40%කින් පමණ අඩුවුණා. අනෙක් අතින් ගෑස් සඳහා පවතින ඉල්ලුම අඛණ්ඩව පැවතුණා.
දැනට ගෑස් ආනයනයේ සුළු ප්‍රමාදයක් සිදුව තිබෙනවා. මෙය පොදු කාරණයක්. අප ආනයනය කරන ගෑස් මේ වනවිට එමින් පවතිනවා. තව දින දෙකකින් පමණ මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ නිරාකරණය වෙනවා. ඊළඟ මාස හතරටම අපි අවශ්‍ය ප්‍රමාණයට ගෑස් ඇණවුම් කර ඇති නිසා ඉන් පසුව කිසිදු ප්‍රශ්නයක් අති වන්නේ නැහැ" යැයි පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මුදිත පීරිස් මහතාගෙන් %අද^ කළ විමසීමේදී හෙතෙම මෙසේ අදහස් පළ කළේය.
"අපේ ගෑස් තොග වශයෙන් සාමාන්‍ය පරිදි වෙළෙඳ පොළට නිකුත් වෙනවා. අද (22දා) දිනයේදීත් 75,000කට වැඩි සිලින්ඩර් ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කෙරුණා. කෙසේ වෙතත්, වෙළෙඳ පොළේ යම් ඉල්ලුමේ වැඩිවීමක් පවතින බව අපට දැනගන්නට ලැබෙනවා. එනමුත්, දැනට තිබෙන තත්ත්වය අනුව අපේ තොග සාමාන්‍ය පරිදි වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරන බැවින් අපේ සැපයුමේ ප්‍රශ්නයක් නැහැ. ගෑස් අලෙවි සැල්වලින් සාමාන්‍ය පරිදි ගෑස් ලබාගැනීමට පුළුවන්." යැයි පවසා සිටියේය.