භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ විගණනයන් ඇතුළු වෝහාරික විගණනයන් 5ක අවසන් වාර්තාවල කරුණු නීතිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම සලකා බැලීමෙන් අනතුරුව, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට පටහැනි නොවනු ඇතැයි සැලකෙන, මහජන දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ හැකි කොටස් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීමටත් නීතිපතිවරයා එකඟත්වය පළ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12දා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"2015 පෙබරවාරි 01දා සිට 2016 මාර්තු 31දා දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරනලද නිර්දේශයන්ද, අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණුද සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගේද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට සැලසුම් යොදන ලදී.
මෙම විගණන කටයුතු සිදුකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරාගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විදේශීය සාමාජිකයන්ගෙන් සමන්විත විය. මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිවරයාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.
අදාළ විගණන සේවාවන් ප්‍රසම්පාදනය කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් 2019 ජනවාරි මස 14දා මහ බැංකුව විසින් නිකුත් කරනලද නිවේදනයේද සඳහන් පරිදි, මෙම ක්‍රියාවලිය පහත සඳහන් පරිදි විගණනයන් 5කින් සමන්විත විය. එම විගණනයන්හි විෂය පථය සකස් කිරීමේදී විගණකාධිපතිවරයාගේ හා නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකරන ලදී.
1. 2002 ජනවාරි 01දා සිට 2015 පෙබරවාරි 28දා දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරනලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම.
2. 2002 ජනවාරි 01දා සිට 2015 පෙබරවාරි 28දා දක්වා කාලය ඇතුළත නිකුත් කරනලද / ගනුදෙනු කරනලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු.
3. 1998 ජනවාරි 01දා සිට 2017 දෙසැම්බර් 31දා දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නොකළ කොටස්වල කරනලද ගනුදෙනු.
4. 2015 පෙබරවාරි 01දා සිට 2016 මාර්තු මස 31දා දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරනලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම.
5. තෝරාගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01දා සිට 2017 දෙසැම්බර් 31දා දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී / බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් කරනලද අධීක්ෂණ හා නියාමන කාර්යභාරය පිළිබඳව.
මෙම විගණනයන් සියල්ල 2019 ඔක්තෝබර් මස මැද වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වූ නමුත්, 2019 අප්‍රේල් මස ඇති වූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන්ද, විගණනයන් සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමේදී මුහුණ පෑ අභියෝග හේතුවෙන්ද, (ඇතැම් තොරතුරු බාහිර ආයතනයන් වෙතින් ලබාගැනීමට සිදුවිය.) එම විගණනයන් අවසන් කිරීමට අමතර කාලයක් ලබාදීමට සිදුවිය.
මේ වනවිට විගණනයන් 5ම අවසන් කර ඇති අතර, විගණන කණ්ඩායම් විසින් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙම විගණන වාර්තාවල ඇති සොයාගැනීම්වල ස්වභාවය සලකා බලා මෙම වාර්තා අදාළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීමද, විශේෂයෙන්ම ඒවා ප්‍රසිද්ධ කළ යුතුද යන්න පිළිබඳව මුදල් මණ්ඩලය විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.
ඒ අනුව, ඉහත කී විගණන වාර්තා, එහි ඇමුණුම් සහ අනෙකුත් ඉදිරිපත් කර ඇති දෑහි අඩංගු කරුණු, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර් සම්බන්ධයෙන් සාක්ෂි ලෙස යොදාගැනීමට ප්‍රවණතාවක් ඇතැයි සලකන නිසා එම වාර්තා ලබාගැනීමට ව්‍යවස්ථාපිත අධිකාරියක් ඇති පාර්ශ්වයන්ට පමණක් ලබාදීමටද, එසේ ලබාදීමේදී අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට අගතිගාමී නොවීමට වගබලා ගැනීම සඳහා විගණන වාර්තා ලබාගන්නා පාර්ශ්වයන් ඒවායේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවය රැකගත යුතු බවටද අවධාරණය කළ යුතු බවටත් නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව, අදාළ විගණන වාර්තාවල කරුණු නීතිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම සලකා බැලීමෙන් අනතුරුව, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට පටහැනි නොවනු ඇතැයි සැලකෙන, මහජන දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ හැකි කොටස් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීමටත් නීතිපතිවරයා එකඟත්වය පළ කර ඇත.
ඒ අනුව, ඉහත සඳහන් වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකරනු ලබන බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ."