වත්මන් රජය යටතේ විදෙස් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව කලාපයේ වඩාත්ම හිතකර රටක් සේම, නව ආයෝජකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සපිරි රටක් බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේය.
එමෙන්ම, සේද මාවතේ උපාය මාර්ගික වෙළෙඳ මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාව අනාගතයේදී ආයොජකයන්ට වඩාත් ඵලදායී රට බවට පත්වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ලොව විශාලතම ආයෝජන හා වෙළෙඳ ප්‍රදර්ශනය ලෙස සැලකෙන චීනයේ කුන්මින්ග් වෙළෙඳ හා ආයෝජන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දේශනය පැවැත්වූ නියෝජ්‍ය අමාත්‍ය මෙම අදහස් පළ කළේය. මෙම ප්‍රදර්ශනය පසුගිය 12දා ආරම්භ විය.
දකුණු සහ අග්නිදිග ආසියානු රටවල වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය අරමුණු කොටගෙන මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වන අතර, ලොව පුරා රටවල වෙළෙඳ කුටි 3,348ක් මීට ඉදිරිපත් කර තිබුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද වෙළඳ කුටි 100ට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබේ. එහිදී, මෙරට විවිධ නිෂ්පාදන ක්ෂේත්රයන්හි නියෝජනයක් මේ අතරට එක් වී ඇත.
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසගේ ප්‍රධානත්වය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා උසුලා ඇති අතර, චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතාද මේ අවස්ථාවට එක්ව තිබේ.