ලන්දේසීන් රැගෙනෙ ගිය තුවක්කු දෙකක් යළි ශ්‍රී ලංකාවට භාරදීමක්
එවකට ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවෙන් අත්පත් කරගෙන තිබූ මෙරටට අනන්‍ය 'මහ තුවක්කු' ලෙස හැඳින්වූ පවුරු තුවක්කු (Wall Guns හෙවත් Rampartguns) දෙකක් ශ්‍රී ලංකාවට යළි භාර දීමට නෙදර්ලන්තය පියවර ගෙන තිබේ.
ඇම්ස්ටර්ඩෑම් හි Rijksmuseum කෞතුකාගාර එකතුවේ තිබී එලෙස යළි භාරදීම සිදුවන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලාංකේය විශේෂඥයන් සමග සමීප සහයෝගයෙන් යුතුව රයික්ස්මියුසියම් කෞතුකාගාරය විසින් මෙම තුවක්කුවල මූලාරම්භය පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම යළි භාර දීම සිදු කෙරුණු බවද පවසයි. නෙදර්ලන්තයේ යටත් විජිත එකතු කිරීම් පිළිබඳ කමිටුවේ උපදෙස් ලබා ගැනීමෙන් පසු, නෙදර්ලන්ත සංස්කෘතික අමාත්‍ය රියෑන් ලෙට්ෂර්ට් මහත්මිය විසින් මෙම තුවක්කු ශ්‍රී ලංකාවට යළි භාර දීමට තීරණය කර ඇත.
18 වන සියවසේදී අත්පත් කරගෙන නෙදර්ලන්තයට ගෙන යන ලද මෙම තුවක්කුවල මූලාරම්භය, 2023 වසරේදී යළි භාර දෙන ලද තුවක්කු දෙකෙහි මූලාරම්භයට සමාන වේ. සිදු කරන ලද පර්යේෂණ මගින් මේවා ශ්‍රී ලංකාවට ආවේණික සාම්ප්‍රදායික 'මහ තුවක්කු' ලෙස හඳුනාගෙන තිබේ. බොහෝ දුරට මෙම තුවක්කු 1765 වසරේදී ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම (Dutch Indies Company) සහ මහනුවර රාජධානිය අතර ඇති වූ සන්නද්ධ ගැටුමකදී අත්පත් කරගන්නට ඇතැයි සැලකේ. එක් තුවක්කුවක එය මහනුවර රජුට සම්බන්ධ බව දැක්වෙන අක්ෂර සටහන්ද දක්නට ලැබේ.
මෙම තුවක්කු යළි භාර දීම පිළිබඳ විස්තර, විදේශගතව ඇති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලබා ගැනීමේ ශ්‍රී ලංකා කමිටුව සහ නෙදර්ලන්තයේ යටත් විජිත එකතු කිරීම් පිළිබඳ කමිටුව අතර සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරෙනු ඇත.
“Still among us” නමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී තානාපති වීබේ ඩි බෝයර් මහතා විසින් මෙම පවුරු තුවක්කු යළි භාර දීම පිළිබඳව ඊයේ (26දා) නිවේදනය කරන ලදී. එම එළිදැක්වීමේ උත්සවයේදී, අදාළ කෘතිය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත උත්සවාකාරයෙන් පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින උරුමයන් පිළිබඳව නැවුම් දැක්මක් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම සමරනු ලබන මෙම කෘතියට ශ්‍රී ලාංකේය විද්වතුන් 11 දෙනෙකුගේ සහ ලන්දේසි විද්වතුන් 11 දෙනෙකුගේ ලිපි ඇතුළත් වන බවද නෙදර්ලන්ත තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
