ලංකා කෝපි සංගමයේ සිව්වැනි වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි
ලංකා කෝපි සංගමයේ (LCA) සිව්වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීය.
2021 වසරේදී පිහිටුවන ලද LCA, ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නව මානයකට ඔසවා තැබීමට කටයුතු කරන සියලුම පාර්ශ්වකරුවන්ගේ සාමූහික අවශ්‍යතා නියෝජනය කරන්නකි. එහි ප්‍රධාන මුලපිරීම් අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් සහ ඔස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන පහසුකමේ (MDF) අඛණ්ඩ සහයෝගය සහ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා කෝපි උත්සවයද වේ.
ශ්‍රී ලංකාවේ කෝපි වසර 200ක් සමරන මෙම වසරේ උත්සවය මහනුවර නගර මධ්‍යයේ පැවැත්වූ අතර, ඒ සඳහා අමුත්තන් 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය විය. සමාගම් 30කට වැඩි ප්‍රමාණයක් කෝපි ප්‍රදර්ශනයේදී තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ අතර, කැපී පෙනෙන ගොවීන්, සැකසුම්කරුවන්, අපනයනකරුවන් සහ කැෆේ ක්‍රියාකරුවන් ඇගයීම සඳහා සම්මාන උළෙලක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය. අනෙකුත් කැපී පෙනෙන අවස්ථා අතර පාසල් චිත්‍ර තරඟයක් සහ 200 වන සංවත්සර කෝපි මුද්දරයක් නිල වශයෙන් එළිදැක්වීමද ඇතුළත් විය.
කෝපි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස, LCA විසින් "ආසියාවේ කෝපි ආර්යාව" ලෙස හඳුන්වනු ලබන සුනාලිනී මෙනන් මහත්මියට, පසු අස්වනු පිළිවෙත් සහ තත්ත්ව ඇගයීම පිළිබඳ පූර්ණ දින ප්‍රායෝගික පුහුණු සැසියක් පැවැත්වීමට ආරාධනා කරන ලදී. ශ්‍රී ලංකාවේ කෝපි වටිනාකම් දාමය තුළ වර්ධනය වන වෘත්තීයභාවය පිළිබිඹු කරමින් මෙම ප්‍රායෝගික වැඩමුළුවට සමාගම් 20කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
වාර්ෂික මහා සභා රැස්වීමේදී, අඛණ්ඩව වාර දෙකක් සේවය කළ සහ සංගමයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කොළඹ කෝපි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් සමරරත්න මහතාගෙන් පසුව, LCA හි නව සභාපතිවරයා ලෙස හෙලන්ටා කොෆී ඇන්ඩ් සිලෝන් ඉන්ටර්නැෂනල් හි ආදිකර්තෘ සහ කළමනාකාර අධ්යක්ෂ තරංග මුරමුදලි මහතා තේරී පත් විය.
අලුතින් පත් කරන ලද විධායක කමිටුවට උප සභාපති ලෙස එම්. අයි. ඉසාඩීන් මහතා (ඇල්පිටිය ප්ලාන්ටේෂන්), ලේකම් ලෙස අෂේන් පෙරේරා මහතා (ටෙම්පල් ග්‍රවුන්ඩ්ස් කොෆී) සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස ෂෙල්ටන් තේනුවර මහතා (ට්‍රී ඔෆ් ලයිෆ්), බිනේෂ් පනන්වල මහතා (කහවත්ත ප්ලාන්ටේෂන්), අසිත ද කොස්තා මහතා (තදුල රියල්ටි සහ එකෝ වෙන්චර්ස්) සහ උෂාන් දිසානායක මහතා (GKUC ස්පයිසි පෝට්) ඇතුළත් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

