වැට් බදු අඩු කිරීමෙන් රජයේ බදු ආදායම් අහිමි වනවා යැයි කියන අය, 2018 වසරේදී රුපියල අවප්‍රමාණය වීමෙන් පමණක් රජයේ ණය තොගය රු.බිලියන 1,063කින් වැඩිකර ගත් පිරිසක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
වැට් බද්ද 8%ක් දක්වා අඩු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාව හරහා වසරකට රජයේ බදු ආදායමට රු.බිලියන 350ක්ද, උපයන විට ගෙවන බදු කප්පාදුවෙන් වසරකට රු.බිලියන 62ක්ද අහිමි වන බවට මුදල් අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකදී හිටපු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"වැට් බද්ද 8%ක් දක්වා අඩු කිරීමට ගෝඨාභය මහතා කළ යෝජනාව නිසා රටේ ආර්ථිකයට වසරකට රු.බිලියන 350ක් අහිමි වෙනවා යැයි කියන අයගෙන් අප ඇසිය යුතු ප්රශ්නය වන්නේ, 2018 වසරේ රුපියල අවප්‍රමාණය වීමෙන් පමණක් මධ්‍යම රජයේ ණය තොගය රු.බිලියන 1,063කින් වැඩි කළේ කවුරුන්ද යන්නයි.
ඒ වගේම, අගමැතිවරයා වසර මුලදී කියා සිටියේ මේ වසරේදී ඇ.ඩො.බිලියන 5ක මුදලක් ණය හැටියට ආපසු ගෙවීමට ඇති බවයි. එය ගෙවෙන්නේ කොහොමද? ඇ.ඩො.බිලියන 5 වෙනුවෙන් ආණ්ඩුව මහ බැංකුවට රුපියල් ලබාදිය යුතුයි. එවිට ඒ අගයට සමානව ඩොලර් ලබාගන්න පුළුවන්. අපේ කාලයේ තිබුණා නම්, රු.131 බැගින් ඩොලර් ගන්න තිබුණා. නමුත් දැන්, ඒ ඇ.ඩො.බිලියන 5 ගන්න වෙන්නෙ, රු.181කට ඩොලර් අරගෙනයි. එනම්, ඩොලර් එකකට රු.50ක් වැඩියෙන් ගෙවන්න වෙලා. ඒ කියන්නෙ, වත්මන් ආණ්ඩුව මේ ඇ.ඩො.බිලියන 5 වෙනුවෙන්, රු.බිලියන 250ක් වැඩි කරගෙන තිබෙනවා.
මේ විදියට, 2018 වසරේ රුපියල අවප්‍රමාණය වීමෙන් පමණක් මධ්‍යම රජයේ ණය තොගය රු.බිලියන 1,063කින් වැඩිකර ගත්, ගෙවිය යුතු ඇ.ඩො.බිලියන 5 වෙනුවෙන් රු.බිලියන 250ක් වැඩිකර ගත් අයෙක් තමයි, වැට් බද්ද අඩු කිරීමේ යෝජනාව ගැන උජාරුවට ප්‍රශ්න කරන්නෙ? ඔවුන්ට මේ ගැන කිසිම අවබෝධයක් නැති බව තමයි, පේන්නෙ. රු.බිලියන 350ක් අහිමිවීම කළමනාකරණය කරන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරන අය, මේ අහිමි කරපු රු.බිලියන 1,300 කොහොමද කළමනාකරණය කරන්නෙ කියල පැහැදිලි කළ යුතුයි. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම අයෙකුට මේ දේ තේරුම් ගන්න පුළුවන්.
ඇත්තටම, අපේ ගණන් කළමනාකරණය කරගන්න පුළුවන් අගයන්. ඔවුන්ගේ ගණන් තමයි, කළමනාකරණය කරගන්න බැරි. ඒ වගේම, පොලී අනුපාතය අඩුකර ගැනීමට අප කටයුතු කරනවා. මෙහිදී, හොඳම ගනුදෙනුකරුවන්ට ලැබෙන පොලී අනුපාතයට (Prime Lending Rate - AWPR) අනුව තමයි, අනෙක් සෑම ගනුදෙනුකරුවෙකුටම ලැබෙන පොලී අනුපාතය ගණනය වන්නේ. අපේ කාලයේ එය පැවතියේ 6.2%ක අගයකයි. අද ඒ අගය 12%යි. ඒ කියන්නෙ, මේ 12% පොලී අනුපාතයට සාපේක්ෂව අනෙකුත් සියලුම පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේක ජනතාවට වගේම, ආණ්ඩුවේ පොලී ගෙවීම්වලටත් බලපෑම් කර තිබෙනවා. පොලී අනුපාතයේ වෙනස හේතුවෙන් රජයේ පොලී ගෙවීම් 60%කින් පමණ වැඩිවී තිබෙනවා.
ණය ගෙවීම් සඳහා 2014 වසරේ පොලී ගෙව්වේ රු.බිලියන 400යි. 2015 දී බැඳුම්කර වංචාව සිදුකර, එය රු.බිලියන 500 දක්වා වැඩිකර ගත්තා. 2016 දී 600 දක්වා වැඩිකර ගත්තා. 2017 දී 700 දක්වා වැඩිකර ගත්තා. 2018 දී එය 800 දක්වා වැඩිකර ගත්තා. මේ අවුරුද්ද අන්තිම වෙද්දි රු.බිලියන 1,000කට ළඟාවේවි. පොලී අනුපාතයේ ඇති විෂමතාව මෙවැනි තත්ත්වයකට හේතුවයි. ඔවුන්ගේ දුර්වල පරිපාලනය ඒ විෂමතාව ඇතිකර තිබෙනවා. ඒ වගේම, රුපියල විනාශ කරගත්තා. ඒවායේ විපාක තමයි, අපේ ජනතාව අද විඳින්නේ. මේවා නිවැරදිව කළමනාකරණය කරගත්තොත් මිනිස්සුන්ට දරාගන්න බැරි බදු ගහන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කාලයේ ව්‍යාපාරයක් කරන්න බොහොම පහසුයි කියල ජනතාව කිව්වෙ ඒ නිසයි. අද ජනතාවට එවැනි පහසු වටපිටාවක් නැහැ.
ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති නිසා ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට යයි කියල මේ අය කිව්වත්, ඇත්තටම දැන් මේ ආර්ථිකය තියෙන්නෙම දැඩි සත්කාර ඒකකයේ බව සිහිපත් කළ යුතුයි. අද ආර්ථිකයේ වර්ධන වේගය 1.6%යි. මේ මොහොතේ සමස්ත ආසියාවේම අඩුම වර්ධන වේගය කිව්වොත් නිවැරදියි. මේ අභියෝග ජයගැනීම සඳහා අප නිවැරදි සැලසුම් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නමැති රෝගියාට ප්‍රතිකාර කර, රෝගියා යම් තැනකට ගැනීමට කටයුතු කළ යුතුයි. ඉන් පසුව, ඕනෑම කරණමක් ගැසීමට හැකි ලෙස, මේ රෝගියා සුවපත් කිරීමට අපට පුළුවන්. මේ සඳහා ඔබ බුද්ධිමත්ව තීරණයක් ගතයුතු කාලයක් එළැඹ ඇති බව අවසාන වශයෙන් සිහිපත් කරන්න කැමතියි." යනුවෙන් පවසා සිටියේය.