රටින් යනවද ඉන්නවද කියා බුද්ධිමතුන් සිතිය යුතුයි
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (04) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 246 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්හ.
"මෙම උපාධි ලබා ගන්නා පිරිස මේ රටේ සංවර්ධනයට දායක වනවා ද නැද්ද කියා තමන්ම තීරණය කළ යුතුයි. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශ ගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම ආර්ථික තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් තරගකාරී ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතුයි.
ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළයුතුයි. එමගින් වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියා සමග ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අප විශ්වාස කරනවා. එසේම ඉදිරි වසර 5 තුළදී ලෝකයේ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. ඇතැම් සංවර්ධිත රටවල ආර්ථික අර්බුද නිර්මාණය විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී අද පෙනී යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් විය හැකියි. එම නිසා උපාධිධාරී ඔබ නිවැරදි තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා."
popular news
-
Anton Friday, 06 October 2023 04:15 AM
ජ්ධිනාපතිතුමනි, රටේ නිතිය, දුෂණය, හොරා කෑම, වැරදි තීරණ ගැනීම අවම කරන්න. ඒ සඳහා උත්සාහවත් කරන බවවත් අපට නොපෙනේ. මේ සියල්ල ෆෝන් කෝල් එකකින් කල හැකි දේවල්. දැනටත් අපි රැට ගොඩනගන්න හොර බොරු නැතිව වැඩ කරන අය.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

