යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම අතරට අපේ කිතුල් මැදීමත්
ශ්‍රී ලංකාවේ කිතුල් කැපීමේ පුරාණ දේශීය තාක්ෂණයක් වන කිතුල් මැදීම යුනෙස්කෝවේ අස්පෘශ්‍ය (ස්පර්ශයට ගෝචර නොවන) සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ විසිවන සැසිවාරයේදී නිවේදනය කරන ලද මෙය, යුනෙස්කෝව විසින් ශ්‍රී ලංකාවෙන් අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවේ තුන්වන අංගය සනිටුහන් කළ අවස්ථාවයි.
කිතුල් මැදීම යනු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13ක දක්නට ලැබෙන කිතුල් ගසෙන් වෑහෙන සාරය නිස්සාරණය කිරීමේ පුරාණ දේශීය ක්රමවේදයකි. මෙම සාරය නැවුම් පානයක් ලෙස පරිභෝජනය කරන අතරම, කිතුල් පැණි හෝ හකුරු ලෙසත්, කිතුල් රා වැනි සාම්ප්‍රදායික මධ්‍යසාර පාන වර්ග සහ රසකැවිලි සහ විනාකිරි නිශ්පාදනයටද භාවිත කරයි. ඖෂධීය වටිනාකමක්ද ඇති මෙම නිෂ්පාදන, දිවයිනේ බහුතර ජනතාව පරිභෝජනය කරයි.
කිතුල් මැදීමේදී ඒ ඒ පළාත්වලට ආවේණික දෙවිවරුන්ට සම්බන්ධ වෘක්ෂ වන්දනා ආකාර ඇතුළුව දිගුකාලීන විශ්වාසයන් තහවුරු කරන අතර, ග්‍රාමීය ජීවනෝපායන් සඳහා මෙම විශ්වාසයන් අත්‍යවශ්‍ය වේ. ජීවමාන උරුමයක් ලෙස, කිතුල් මැදීම වාර්ගික සමගියට අත්‍යවශ්‍ය වන අතර, සංස්කෘතික අනන්‍යතාවය සහ වටිනාකම් හැඩගස්වන අතර, සොබාදහම සමඟ එකමුතුකම සහ ගැඹුරු අධ්‍යාත්මික සම්බන්ධතාවක්ද පිළිබිඹු කරන බව යුනෙස්කෝව පවසයි.
අස්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ (20.COM) විසිවන සැසිවාරය 2025 දෙසැම්බර් 8 වන සඳුදා සිට 13 වන සෙනසුරාදා දක්වා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත් විණි. පරම්පරා ගණනාවක් පුරා ප්‍රජාවන් විසින් සම්ප්‍රේෂණය කරන ලද ජීවමාන උරුමයන් ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝව 2003 දී අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ සම්මුතිය සම්මත කළේය. අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය නොහොත් ජීවමාන උරුමයට වාචික සම්ප්‍රදායන් සහ භාෂා, රංගන කලාවන්, චාරිත්‍ර වාරිත්‍ර සහ උත්සව වැනි සමාජ භාවිතයන්, සාම්ප්‍රදායික ශිල්පීය හැකියාවන් සහ සොබාදහම සහ විශ්වය පිළිබඳ දැනුම ඇතුළත් වේ.
2003 සම්මුතිය ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාම සඳහා, යුනෙස්කෝව සාමාජික රටවල සහ සංස්කෘතික ආයතනවල වාර්ෂික රැස්වීමක් කැඳවයි. නාමයෝජනා සහ අනෙකුත් කාර්යයන් සමාලෝචනය කිරීමෙන් අන්තර් රාජ්‍ය කමිටුව සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරයි. ජීවමාන උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වසර 17 ක නියැලීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව 2008 දී සම්මුතිය අනුමත කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
